එක්සත් ජාතීන්ගේ ඊළඟ මහලේකම් | දිනමිණ

එක්සත් ජාතීන්ගේ ඊළඟ මහලේකම්

පළමු වතාවට කතක් පුටුවට?

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පිළිගත් ප්‍රඥප්තීන්ට හා සම්මුතීන්ට අනුව ගැහැනු, පිරිමි හෝ අන් කවර භේදයක් පිළිගැනෙන්නේ නැතිවුව සංවිධානයේ දශක 7ක ඉතිහාසයේ කාන්තාවක එම ධුරය හොබවා නැත. එසේ වී ඇත්තේ ලෝක ජනගහනයෙන් 51%ක් කාන්තාවන් වන පසුබිමකය. එහෙයින් වෙනත් ඇසකින් එහි කාර්යභාරය, මෙහෙවර, අභියෝග ‍දෙස බලන්නට ඉන් අවස්ථාවක් උදාවේ.

අමෙරිකා ජනාධිපතිවරණ සටන උණුසුම් වෙමින් තිබියදී තවත් මහපුටුවක් සඳහා වන තරගය ද පැවැත්වෙමින් තිබේ. ඒ එක්සත් ජාතීන්ගේ ‍සංවිධානයේ මහලේකම් තරගයයි. බැන් කී මූන් මේ වසර අග වනවිට ධුරයෙන් සමුගැනීමට නියමිතය. ඒ ඔහුට ධුරය දැරිය හැකි පස්අවුරුදු කාලසීමා දෙක නිමාවට පත්වන බැවිනි. ඒ අනුව ජගත් සංවිධානයේ කාර්යභාරය පෙරට ගෙනයාම සඳහා නව මහලේකම්වරයකු‍ හෝ වරියක් තෝරාගත යුතුය.එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පිළිගනු ලැබූ විධිවිධාන ප්‍රකාරව සාමාජික රටවල් 193ක් අතරින් නව මහලේකම් ධුරයට නාමයෝජනා කැඳවන අතර සාමාන්‍යයෙන් ඒ ඒ භූගෝලීය කලාප නියෝජනය වන පරිදි එම තනතුරට තෝරා ගැනීම සිදුකරයි. එසේ බලනවිට ඊළඟ මහලේකම්වරයා පත්විය යුත්තේ නැ‍ඟෙනහිර යුරෝපයෙන් බවට මත පළවී ඇත. වත්මන් මහලේකම් මූන් පත්වූයේ ආසියානු කලාපයෙනි. ඔහු ඊට පෙර දකුණුකොරියා විදේශ අමාත්‍ය ධුරය හෙබවීය. මහලේකම් ධුරය සඳහා තෝරාගැනීම එක්සත් ජාතීන්ගේ යාන්ත්‍රණයට අයත් අභ්‍යන්තර ක්‍රියාවලියකි. ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකයන්ගේ ඡන්දය ඒ සඳහා ප්‍රකාශවන අතර නිශේධ බලය සහිත නිත්‍ය සාමාජිකයන් පස්දෙනා වන අමෙරිකාව, බ්‍රිතාන්‍ය, ප්‍රංශය, රුසියාව සහ චීනය එහිදී තීරණාත්මකය. මහලේකම් තෝරා ගැනීමේදී පස්දෙනාම එකම මතයකට පැමිණීම සාමාන්‍ය සම්ප්‍රදායයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වසර 70ක ඉතිහාසයේ මහලේකම්වරු 8 දෙනකු පත්වී ඇත. මෙතෙක් මෙහිදී අනුගමනය කළ සම්ප්‍රදායෙන් තරමක් බැහැර වෙමින් වැඩි විනිවිදභාවයකින් යුතුව මෙය සිදුවිය යුතුය යන අදහසට මෙවර එළැඹී තිබේ. ඒ අනුව තම දැක්ම නායකත්වය, අන්තර්ජාතික අපරාධ අධිකරණය (ICC) එක්සත් ජාතීන්ගේ අනාගත වැඩපිළිවෙළ දේශගුණ විපර්යාස ප්‍රතිසංස්කරණ ආදී මාතෘකා ඔස්සේ අපේක්ෂකයන්ගෙන් ප්‍රශ්න කිරීමට මාධ්‍යකරුවන්, සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයන් වැනි පිරිස්වලට ඉකුත් අප්‍රේල් මාසයේදී මෙන්ම මේ මාසයේදී ද සිදුවිය. සිරියාවේ සිවිල් යුද්ධය, දකුණු ‍සුඩානයේ එක්සත් ජාතීන්ගේ මැදිහත්වීම් වැනි කාරණා ගැන ද එහිදී ඔවුන්ට අදහස් දැක්වීමට සිදුවිය. මෙවැනි අවස්ථාවක් ලබාදීම මඟින් එක්සත් ජාතීන්ගේ මහලේකම් ධුරය වැනි භාරදුර කාර්යයක් ඉටුකිරීමට එම අපේක්ෂකයන් සතු හැකියාව හා සුදුසුකම් පිළිබඳ යම් නිගමනයන්ට එළැඹීමට හැකිවේ. මේ වනවිට මහලේකම් ධුරය සඳහා අපේක්ෂක - අපේක්ෂිකාවන් 12 දෙනකු ඉදිරිපත්වී සිටින අතර ඉන් 10දෙනකුම පසුගියදා රූපවාහිනී මඟින් විකාශය වූ එම විවාදමය වැඩසටහනට එක්වූහ.

රහස්‍ය ඡන්දයෙන් මීළඟ මහලේකම් ධුරයට සුදුස්සා තෝරාගැනීමේ ක්‍රියාවලිය ආරක්ෂක මණ්ඩලය මේ වනවිට අරඹා තිබේ. එසේ තෝරාගන්නා නම් මහා මණ්ඩලයට ඉදිරිපත් කෙරෙනු ඇති අතර ලබන ඔක්තෝබරයේදී නව මහලේකම්වරයා හෝ වරිය කවුරුන්දැයි ප්‍රකාශයට පත් කෙරෙනු ඇත. ආරක්ෂක මණ්ඩල ඡන්ද විමසීමේ ප්‍රතිඵල ප්‍රසිද්ධියට පත් කෙරෙන්නේ නැත.

මෙවර මහලේකම් ධුරය සඳහා තෝරාගැනීමේ ක්‍රියාවලිය තුළ අවධානයට ලක්ව ඇත්තේ එම ධුරය කාන්තාවකට හිමිවේද යන්නය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පිළිගත් ප්‍රඥප්තීන්ට හා සම්මුතීන්ට අනුව ගැහැනු, පිරිමි හෝ අන් කවර භේදයක් පිළිගැනෙන්නේ නැතිවුව සංවිධානයේ දශක 7ක ඉතිහාසයේ කාන්තාවක එම ධුරය හොබවා නැත. එසේ වී ඇත්තේ ලෝක ජනගහනයෙන් 51%ක් කාන්තාවන් වන පසුබිමකය. එහෙයින් වෙනත් ඇසකින් එහි කාර්යභාරය, මෙහෙවර, අභියෝග ‍දෙස බලන්නට ඉන් අවස්ථාවක් උදාවේ. ඒ අනුව කාන්තාවක මහලේකම් ධුරයට පත්කරගැනීම සඳහා ඒ වෙනුවෙන් ක්‍රියාකිරීමේ හා හඬනැඟීමේ ව්‍යාපාර ගණනාවක්ම දැනටමත් ක්‍රියාත්මකය. එකී මතවාදයට යම් ප්‍රබල පිටුබලයක් දැනටමත් ලැබී ඇත. ඒ මේ වනවිට තරගයේ සිටින අපේක්ෂකයන්ගෙන් හරි අඩක්ම කාන්තාවන් බැවිනි. වසර 70ක් තිස්සේ එක්සත් ජාතීන්ගේ මහපුටුව හෙබවීමට තරම් සුදුසුකම් හා හැකියාව ඇති කාන්තාවක හමුනොවුණේ මන්ද යන ප්‍රශ්නයට පිළිතුරු සපයාගැනීම දුෂ්කර වුවද මෙවර ඊට සුදුසුකම් සපුරා ඇති කාන්තාවන් කිහිප දෙනකුම කරළියට පැමිණ සිටී. ඒ අතර, එක්සත් ජාතීන්ගේ යාන්ත්‍රණය තුළ කටයුතු කරන හා කළ චරිත කිහිපයක් ද සිටිති. ඔවුන් නම් යුනෙස්කෝ අධ්‍යක්ෂ ජනරාල් බල්ගේරියානු ජාතික ඉරිනා බොකෝවා, එ. ජා. සංවර්ධන වැඩසටහනේ ප්‍රධානී හිටපු නවසීලන්ත අගමැතිනි හෙලන් ක්ලාක්, බැන්කීමූන්ගේ කාර්යමණ්ඩල ප්‍රධානී සුසානා මාර්කෝරා සහ එ. ජා. දේශගුණික කමිටුවේ හිටපු ප්‍රධානී කොස්ටාරිකාවේ ක්‍රිස්ටියානා නිගරෙස් ය. සෙසු අපේක්ෂිකාවන් වන්නේ ක්‍රොයේෂියාවේ හිටපු විදේශ ඇමැතිනී වෙස්නා පුසික් සහ මෝල්දෝවා හි හිටපු විදේශ ඇමැතිනී නතාලියා හෙර්මන්ය.

මහලේකම් ධුරය සඳහා යෝජනා වී ඇති අපේක්ෂකයන් වන්නේ මොන්ටිනීග්‍රෝ විදේශ ඇමැති ඉගෝර් ලුක්සින්, හිටපු ස්ලෝවියානා ජනාධිපති ඩැනිලෝ ටර්ක්, සරණාගතයන් පිළිබඳ එ. ජා. හිටපු මහකොමසාරිස් අන්තෝනියෝ ගිටරෙස් (ඔහු පෘතුගාලයේ හිටපු අගමැතිවරයා ද වේ) හිටපු සර්බියානු විදේශ අමාත්‍ය වක් ජෙරමික්, හිටපු මැසිඩෝනියානු විදේශ අමාත්‍ය ස්රග්ජැන් කෙරිම් සහ ස්ලොවැක් විදේශ අමාත්‍ය විරොස්ලාව් ලැජැක් ය. ඔවුන් අතරින් කෙරිම් සහ ලජැක් රූපවාහිනී විවාදයට සහභාගි වූයේ නැත. මේ වනවිට හිටපු ඔස්ට්‍රේලියානු අගමැති කෙවින් රඩ්ගේ සහ ජර්මන් චාන්සලර්වරියගේ නම ද අපේක්ෂකයන් අතරට එක්වන බව පෙනෙන්නට තිබේ.

දැනටමත් එක්සත් ජාතීන්ගේ යාන්ත්‍රණයේ විවිධ නිලතල හොබවන අය තරගයේ ඉදිරිපෙළට පැමිණීමේ වැඩි විභවයක් ඇති බව ඇතැම් විශ්ලේෂකයන්ගේ අදහසය. ඒ, එම කාර්යභාරය පිළිබඳ ඔවුන්ට දැනුම හා අත්දැකීම් ඇති නිසාය. එහෙත් ඒ පළපුරුද්ද හා අද්දැකීම් පමණක් ප්‍රමාණවත් නොවන්නේ වසර ගණනාවක් තිස්සේ එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ ප්‍රතිසංස්කරණ සිදුවිය යුතු බවට බලවත් මතයක් ගොඩනැ‍ඟෙමින් ඇති බැවිනි. තීරණ ගැනීමේදී මීට වැඩි නියෝජනයක්, විනිවිදභාවයක් තිබිය යුතුවා මෙන්ම වැඩි සක්‍රීය භාවයක් ද අවැසි බව එම සංවාදයේ දී මතුව ඇති කාරණයකි. එවැනි පසුබිමක සියල්ල ඔහේ සිදුවීමට ඉඩදී බලා සිටින මහලේකම්වරයකු හෝ වරියක අවශ්‍ය නැති බව මැදහත් විචාරකයන්ගේ අදහසය. අවශ්‍යව ඇත්තේ ශක්තිමත් නායකයෙකි. එ. ජා. පරමාර්ථ හා ප්‍රඥප්තියට අනුකූලව නව මාවතක් පාදාගතහැකි අයෙකි. වෙනසක් සිදුකළ හැකි නායකත්වයක් ඊට අවශ්‍ය කර තිබේ.

අභියෝගය ඇත්තේ එතැනය. එ. ජා. සංවිධානය යනු ලොව රටවල් 193කට පොදු වේදිකාව බවට විවාදයක් නැතත් එම සෑම රටකටම එක්සත්ජාතීන් සමානව සළකන්නේ ද යන ප්‍රශ්නය එහි භාවිතාව ඇසුරින්ම මතුවී ඇත. අමෙරිකාව ප්‍රමුඛ බලවත් රටවල් අතළොස්සක් එය තමන්ට රිසි ලෙස හැසිරවීමට දරන ප්‍රයත්නය මෑත දශක කිහිපයේදී බෙහෙවින් වාද විවාදවලට ලක්විය. මේ රටවල් එ. ජා. අරමුදල් සම්පාදනයේදී දක්වන දායකත්වය වැනි කරුණු ඊට බලපෑම් කිරීමට උපකරණ ලෙස භාවිත කරන බවක් පෙනෙන්නට ඇත. කොටින්ම මහලේකම් ධුරයට තෝරා ගැනීමේදී හා මහලේකම්වරයාගේ ධුර කාලය වරක් ද දෙවරක් ද යන්න තීරණය කිරීමේදී පවා ඔවුන් බලපෑම් එල්ල කර ඇති බවට මෑත ඉතිහාසය සාක්ෂි දරයි.

වත්මන් මහලේකම් බැන් කී මූන් දකුණු කොරියාවෙන් පත්වූයේ අමෙරිකාවේ බලවත් සහයෝගයක් ද ඇතිවය. දකුණු කොරියාවේ අමෙරිකානු යුද කඳවුරු ක්‍රියාත්මක වන පසුබිමක එවැනි පත්කිරීමක් කොපමණ යුක්තිසහගත ද යන ප්‍රශ්නය ඒ දිනවල මතුවිය. එහෙත් උපද්‍රවයකින් තොරව සිය ධුර කාල දෙකම සම්පූර්ණ කිරීමට වත්මන් මහලේකම්වරයා සමත්ව සිටී.

හිටපු මහලේකම් බුත්‍රෝස් බුත්‍රෝස් ඝාලි සම්බන්ධයෙන් කාරණය මීට වෙනස් ය. එ. ජා. යාන්ත්‍රණය තුළ සිදුවිය යුතු ප්‍රතිසංස්කරණ ගැන ප්‍රගතිශිලීව අදහස් දැක්වූ සහ එය බලවත් රටවල ග්‍රහණයෙන් මිදිය යුතු බව පැවසූ අයකු ලෙස ප්‍රකට බූ‍ත්‍රෝස් බූත්‍රෝස් ඝාලි මහලේකම්වරයාගේ ධුර කාලය පස් අවුරුදු කාලසීමාවකට සීමා විය. ඔහුට දෙවැනි වාරයක් ලබා නොදීම පිටුපස සිටියේ කවුරුන්ද යන්න රහසක් නොවේ. එකී අතීතය හා වර්තමානය එලෙසින්ම අනාගතයට ද අදාළ ය. තවමත් ලොවටම පොදු මේ පුළුල් වේදිකාව බලවතුන්ගේ ග්‍රහණයෙන් මුදාගැනීමට ලැබී නැත. ඊට එක්සත් ජාතීන‍්ගේ යාන්ත්‍රණය තුළින්ම නැඹුරුවක් ඇතිවිය යුතුය. වෙනස ඇතුළතින්ම සිදුවනතාක් එක්සත් ජාතීන්ගේ උතුම් පරමාර්ථ හා අරමුණු සාධනය කරගැනීම ද දුෂ්කර වනු ඇත.

මහලේකම් තෝරා ගැනීමේ ක්‍රියාවලිය සියලු සාමාජික රටවල අභිලාෂයන් පිළිබිඹුවන පරිදි ඉටුවන්නේ ද යන ප්‍රශ්නය පැනනැඟී ඇත. සැත්තෑවිය සපිරූ එක්සත් ජාතීන්ගේ සංවිධානය නව ප්‍රතිසංස්කරණ හරහා තිරිහන් කිරීමේ අභියෝගය මීළගට පත්වන මහලේකම්වරයාට පැවරෙනු ඇත. කාන්තාවක නව මහලේකම්වරිය වශයෙන් පත්වීම අයුක්තිසහගත නැතත් කේන්ද්‍රීයව මතුවියයුතු කාරණය වන්නේ මීළඟ මහලේකම්ට එක්සත් ජාතීන්ගේ සංවිධානය එහි පරමාර්ථ හා ප්‍රඥප්තීන්ට අනුව මෙහෙයවිය හැකි ද යන්නයි. ඊට පිළිතුරු ‘ඔව්’ නම් ඒ; මහලේකම්වරයකුට ද මහලේකම්වරියකට ද යන්න ගැටලුවක් විය යුතු නැත.


නව අදහස දක්වන්න