වළදමන්නට තැත් කළ ව්‍යාපෘතියක මල් පීදීම | දිනමිණ


 

වළදමන්නට තැත් කළ ව්‍යාපෘතියක මල් පීදීම

නිරුෂි විමලවීර

 

මොරගහකන්ද-කළු ගඟ නිධන් වස්තු තැන්පත් කිරීම

නොපෙනෙන ඉමකින් මුහුදු බලා ගිය කළු ගං කොමළිය අද වෙනත් ගමනකට සූදානම්ව සිටින්නීය. ඇය දැන් සැදී පැහැදී සිටින්නේ හිරු රැසින් විඩාපත්වූ මහ පොළව සිසිල් ජලයෙන් සනසන්නටය. මේ ගමන් මගේ සුවිශේෂ පරිච්ඡේදයක් සනිටුහන් කරමින් වේල්ලේ නිධන්වස්තු තැන්පත් කිරීම අද(25) දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සුරතින් සිදු කෙරෙන්නේ සියලු දෙනාගේ ආශිර්වාද මධ්‍යයේය.

කෘෂි සංවර්ධනයේ දැවැන්ත මඟ දැක්මක් ඇතිව ආරම්භ කෙරුණු මොරගහකන්ද ව්‍යාපෘතිය මෙරට වාරි ඉතිහාසයේ දැවැන්තයකුගේ ආගමනයක් ලෙස සටහන් තැබිය හැකිය. මෙය වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කෘෂිකර්ම සහ මහවැලි සංවර්ධන ඇමැතිවරයාව සිටියදී ගොඩනැගුණ සංකල්පයකි. එය මේ වන විට යථාර්ථයක් බවට පත් වෙමින් තිබේ. අතීතයේ සිටම කෘෂිකර්මාන්තයේ මහා ගැටලුවක් වු ජල ප්‍රශ්නයට විසඳුමක් ලෙස ඇරඹු වාරි කර්මාන්තයේ එක් කඩඉමක් ලෙස මහවැලි සංවර්ධන සැලැස්ම හැඳින්විය හැකිය. ඒ අතරින්ද වැඩිම ජල ධාරාවක් දරා සිටීමේ ශක්තිය මොරගහ කන්ද ජලාශයට උරුම වි තිබේ.

කෙතරම් විශාල බිම් පෙදෙසක් වසා පැතිර යන්නේදැයි කිව හොත් එය හෙක්ටයාර් 81, 422ක් අස්වැද්දීමට තරම් ජලය සැපයීමේ හැකියාව ඇත.

අනුරාධපුර, පොළොන්නරුව, මාතලේ‍්, ත්‍රිකුණාමල සහ වවුනියාව යන දිස්ත්‍රික්කයන් ආවරණය වන පරිදි ජලය සැපයීමේ ක්‍රියාවේ නියුතු මොරගහ කන්ද ජලාශය ස්වයංපෝෂිත කෘෂිකර්මාන්තයක් කරා රට ගෙන යැමේ පෙරගමන්කරුවෙකු ලෙස හැඳින්වුවද වරදක් නොවේ. අද ගොවිබිම් වල ධාන්‍ය, එළවළු පළතුරු වඟා කරන ගොවියා හෙට තම ගොවි බිම් ගොයමෙන් පිරිණූ කෙත්වතු බවට පරිවර්තනය කිරීමේ සහිනය මල්පල ගැන්වීමේ දිනය වැඩි ඈතක නොවේ.

ජලය ඉල්ලා හැඬු ගොවියාගේ කඳුළු කතාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සිතට ඇතුළු වුයේ කුඩා අවධියේ සිටමය. එදා දියබිඳක් වෙනුවෙන් ඇරඹුණු සටන මාරාන්තික ගැටුමක් දක්වා ඇදි ගිය අවස්ථාද එතුමාගේ මතකයේ තැන්පත්ව තිබුණි. අසරණ ගොවි ජනතාව වෙනුවෙන් කිසියම් කාර්ය භාරයක් ඉටු කළ යුතුයැයි නැඟුණ අරමුණ මතකයේ තැන්පත්වි තිබුණේ එතුමාටද නොදැනුවත්වමය.

එය යථාර්ථයක් ලෙස ක්‍රියාවට නැංවිමට බොහෝ කාලයක් ගත විය. එහෙත් තමාට ඒ සඳහා තින්දුවක් ගත හැකි මුල්ම අවස්ථාවේදීම එය ක්‍රියාවට නැංවීමට ක්‍රියා කළේය. මෛත්‍රීපාල සිරිසේන මහතා කෘෂිකර්ම ඇමැතිවරයා ලෙස පත්වීමත් සමඟ තම අතීත අරමුණු මුදුන් පමුණුවාගැනීමේ මෙහෙවර දියත් කළේය. වසර 2007දී ඇරඹුණු මේ ගමන විඩාපත් මිනිසුන් ගහකොළ සහ සතා සිව්පාවන් දියෙන් සනසා නිවා ලන්නට සමත්ය.

නකල්ස් කඳු වැටියෙන් ආරම්භ වී දිගු ගමන් මඟක් පසු කරන කළු ගංඟා මුල් කරගෙන සිදු කරන සංවර්ධන ව්‍යාපෘතිය කෙරේ එතුමාගේ සිත ඇදී ගියේය. ඒ වනවිටද මහවැලි සංවර්ධන ව්‍යාපෘතියේ දැවැන්තම ජල යෝජනා ක්‍රමය ලෙස කළු ගඟ ව්‍යාපෘතිය යෝජනාවී තිබුණි. එය කෘෂිකර්මාන්තය මූලික කර ගත් ව්‍යාපෘතියක් හේතුවෙන් ඒ පිළිබඳ අවධානය යොමු වී නොතිබුණි.

ජේ. ආර්. ජයවර්ධන හිටපු ජනාධිපතිවරයාගේ විවෘත ආර්ථික ප්‍රතිපත්තිය හමුවේ මහවැලි සංවර්ධනයේදී වඩා ජල විදුලිය ප්‍රධාන කරගත් සංවර්ධන ව්‍යාපෘති කෙරේ අවධානය යොමු වී තිබුණි. එහෙයින් කඩිනම් මහවැලි ව්‍යාපෘතිය යටතේ පංච මහා ජලාශ ඉදි කිරීමට යුහුසුළුව කටයුතු කළඳ එහි අවසන් ජලාශය වූ මොරගහ කන්ද ජලාශය ඉදිකිරීමේ කටයුතු නවතා දැමීය. ඒ සඳහා රුපියල් කෝටි 700ක පමණ දැවැන්ත මුදලක් වැය වීමද ප්‍රධාන ගැටලුවක් බවට පත්ව තිබුණි.

2007 වසරේ ජනවාරි 08 වෙනිදා තම අතීත මතකයද කෘෂිකර්ම සංවර්ධනයේ විශාල ඉලක්කයක්ද එක්තැන් කරමින් මොරගහ කන්ද - කළුගඟ ව්‍යාපෘතිය වැඩ ආරම්භ කළේය. එම ව්‍යාපෘතිය කෘෂිකර්මාන්තයෙන් මහත් දියුණුවක් කරා ගෙන යෑමට මඟ එළිවීමේ මඟ පමණක් නොව ජනතාවගේ අවධානය ඔහු වෙත යොමුවීම සිදු වුයේ නොසිතූ ආකාරටය. සමාරම්භක උළෙල වෙනුවෙන් රජරට විශාල ජනතාවක් එක් රොක් වී සිටියහ.

මහත් අභිමානයෙන් ඇරුඹුණු ආරම්භක උළෙලේ ප්‍රීතිය රැදී තිබුණේ දින දෙකක් වැනි කෙටි කාලයකි. මොරගහ කන්ද ව්‍යාපෘතියෙන් ඔහු ජනප්‍රිය චරිතක් බවට පත් වෙතැයි භිතියට පත් රාජපක්ෂ ආණ්ඩුව ව්‍යාපෘතියට මුදල් සැපයීම අත්හිටුවා දැමුවා පමණක් නොව දින දෙකකදී මහවැලි අමාත්‍යාංශය මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් වෙනස් කිරීමට කටයුතු කළේය. එතැනින් නොනැවතුණ රාජපක්ෂ ආණ්ඩුව මෛත්‍රීපාල සිරිසේන මහතාට ලැබිය යුතු වරප්‍රසාද කප්පාදු කිරීමට පවා කටයුතු කළේය.

දින දෙකකින් සිදු වන කැබිනට් මණ්ඩල ෙවනස පිළිබඳ විස්තර අතීත මහ ලේකම්වරයා වූ මෛත්‍රීපාල සිරිසේන මහතාටද ලැබුණි. එහිදී ඇමැතිවරුන්ගේ විෂය පිළිබඳ සුළු සංශෝධනයන්ද එතුමා අතින් සිදු විය. මෛත්‍රීපාල සිරිසේන මහතා තමාට ලැබී ඇති අමාත්‍යාංශය පිළිබඳවද විමසා බැලුවේය. එතුමාට හිමිව තිබුණේ කෘෂිකර්ම සහ ගොවිජන සේවා අමාත්‍යාංශයයි. කෘෂිකර්ම අමාත්‍යාංශය මහවැලි අමාත්‍යාංශය ඇතුළත් දැයි මහින්ද රාජපක්ෂ මහතාගෙන් විමසීය. එයට පිළිතුරු දුන්නේ බැසිල් රාජපක්ෂය.

මහවැලිය ඕකට අයත් නැහැ. අලුත් අමාත්‍යාංශයක් හදා චමල් අයියට ඒක දිලා තිබෙන්නේ යැයි බැසිල් රාජපක්ෂ මහතා පිළිවඳන් දුන්නේය. එහෙම වුණොත් මගේ ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යන්නේ කොහොමද මුල්ගල තබා පැය විසිහතරක් ගෙවුණා පමණයි. මිනිස්සු ඉදිරියේ මම අසරණ වෙනවා යැයි මෛත්‍රිපාල සිරිසේන මහතා ආයාචනාත්මක ස්වරයෙන් කීය.ඔන්න ඕක මෛත්‍රීට දිලා දානවා යැයි මහින්ද රාජපක්ෂ මහතා බැසිල් රාජපක්ෂ මහතා දෙස බලමින් කීවේය.

ඒ නියෝගය අනුව මහවැලි අමාත්‍යාංශය කෘෂිකර්ම අමාත්‍යාංශයට ගැසට් පත්‍රය යටතේ ඇතුළත් වුවද එම ව්‍යාපෘති සංවර්ධනය සඳහා කිසිඳු මුදලක් ලබා නොදෙන්නට රාජපක්ෂවරු කටයුතු කළහ. එසේම මොරගහ කන්ද ව්‍යාපෘතියේ කිසිදු සංවර්ධන කටයුත්තක් සිදු නොකිරීමට වගබලාගත්හ. එම අතීත කතාවේ අඳුරු පැතිකඩක් ඒ අයුරින් සටහන් තබද්දී නැවත පණ ලබන ව්‍යාපෘතිය ගොවි ජනයා වෙත සෙත සලසන වේගවත් ගමනකට අවතීර්ණ වී තිබේ.

තිහේ දශකයේ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මහවැලිගඟ උතුරට හැරවීම කතිකාව මන්ත්‍රීවරු අතර ප්‍රකටව තිබුණි. එහෙත් එය යථාර්ථයක් කර ගැනීමට නොහැකි විය. මාතර එස්. ඒ. වික්‍රමසිංහ මහතා මහවැලි ගඟ උතුරට හැරවීම පිළිබඳ නිරන්තරයෙන් කතිකාවට ලක් කළ දේශපාලඥයෙක් විය.

එහෙත් එය යථාර්ථයක් බවට පත් කර ගැනීම පහසු නොවීය. පසුව බලයට පත්වූ එස්.ඩබ්ලිව් ආර්.ඩී බණ්ඩාරනායක මහතාගේ 1956 රජය යටතේ මේ පිළිබද සොයා බැලීමට අමෙරිකාවට බාර දුන්නේය. අමෙරිකාවේ ඉංජිනේරුවරු 1958 සිදු කළ සක්‍යතා අධ්‍යනය අනුව 1965-1970 පොල්ගොල්ල ආරම්භ කිරීමට ඩඩ්ලි සේනානානයක මහතා කටයුතු කළේය.මහවැලි විෂයභාර ප්‍රථම ඇමැති සී.පී ද සිල්වා මේ දැවැන්ත ව්‍යාපෘතිය සනිටුහන් කළේ 1969 වසරේ ප්‍රථම පියවර පොල්ගොල්ල වේල්ල ආරම්භ කිරීමත් සමඟය.එමඟින් මහවැලි ගගේ දියවර උතුරුට හැරවීමේ භාරදුර කර්තව්‍ය ආරම්භ කළේය.

ලග්ගල සංවර්ධිත නගරයක් කිරීම ඇතුළු යෝධ වැඩපිළිවෙළක් මේ වටා ඒකරාශී වී තිබේ. නව නිවාස ඉදිකර අනෙකුත් භෞතික සම්පත් ලබා දීමේ පොදු පහසුකම් දියුණු කිරීම මේ වැඩපිළිවෙළට අයත්ය.

මොරගහකන්ද ව්‍යාපෘතියේ වැඩ අවසන් වී දියවර මුදා හැරීමත් සමඟ කෘෂිකර්මාන්තයේ දැවැන්ත සංවර්ධනයක් පමණක් නොව එහි ගොවි ජනතාවගේ ජන ජීවිතයද ඉහළ නැංවීම සඳහා විශාල සංවර්ධන වැඩපිළිවෙළක් මේ වන විටද ක්‍රියාවට නංවා ඇත.

වසර 2018 දී නිමා කිරිමට බලාපොරොත්තු වන මොරගහ කන්ද- කළුගඟ ව්‍යාපෘතිය ග්‍රාම නිලධාරී කොට්ඨාස විසි තුනක් ආවරණය වන පරිදි පවුල් 3, 500ක් පමණ පදිංචි කිරීමට අපේක්ෂා වී තිබේ. මෙම ව්‍යාපෘතියෙන් නිවාස අහිමිවෙන ජනතාවට වන්දි ලබා දීම ආදිය මේවන විට සිදු කර ගෙන යන අතර ව්‍යාපෘතියට සමගාමීව පරිසර සංරක්ෂණය සඳහා වන රෝපා වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමද මෙහි විශේෂත්වයක් ලෙස හැඳින්විය හැකියි.

මේ වන විට ව්‍යාපෘතිය සමඟ සම්බන්ධ ඇළ මාර්ග පනහක සංවර්ධන කටයුතු සියයට 75කින් නිමා කර ඇත්තේ මෙම වැඩපිළිවෙළ කඩිනම් කිරීමට අත්වාරුවක් ලෙසය. මූලික ඉලක්කය කෘෂිකර්මාන්තය වුවද විදුලිබල උත්පාදනය මත්ස්‍ය කර්මාන්තය, රැකියා උත්පාදනය ආදී ජන සෙත සලසන අතුරු කර්මාන්ත ගණනාවක්ද මේ සමඟ බිහි වී තිබේ. මෛත්‍රිපාල සිරිසේන මහතා 2015 වසරේ ජනාවරි 08 ජනාධිපති ධූරයේ දිවුරම් දීමත් සමඟ මොරගහ කන්ද - කළුගහ ව්‍යාපෘතියේ කටයුතු නැවත ආරම්භ කෙරුණි.

ශ්‍රී ලංකාව කුඩා භූමි ප්‍රමාණයකට සීමා වූ රටක් වුවද ඉතා ඉහළ භූවිෂමතාවකට හිමිකම් දක්වන රටකි. එක් පෙදෙසක ජලය අතිරික්තයක් වුවද තවත් ප්‍ර දේශයක් උග්‍ර ජල හිඟයකට මුහුණ දීම පුදුම සහගතය. ස්වභාව දහමේ අපූර්ව නිර්මාණය හඳුනාගත් අතීත රජ දරුවන් වැව් අමුණූ ඉදිකර රට සහලින් ස්ව්‍යං පෝෂිත කළහ. මෙම ව්‍යාපෘතියද එම අතීත මතකයට තවත් එක් පුරුකක් වන්නේය.

 

 

නව අදහස දක්වන්න