යහපාලන නාම පුවරුවට මුවා වී වැරැදි කිරීමට කිසිවකුට ඉඩ තබන්නේ නැහැ | දිනමිණ

යහපාලන නාම පුවරුවට මුවා වී වැරැදි කිරීමට කිසිවකුට ඉඩ තබන්නේ නැහැ

නිරුෂි විමලවීර
ඡායාරූප සුදත් මලවීර

 

ශ්‍රී ලංකාවේ සංවර්ධන අභියෝග සම්මන්ත්‍රණයට එක් වෙමින් ජනපති මෛත්‍රී කියයි

යහපාලන නාම පුවරුවට මුවා වී වැරැදි කිරීමට දේශපාලනඥයන්ට හෝ රාජ්‍ය නිලධාරීන්ට කිසිඳු ඉඩක් නොතබන බවත් සියලුදෙනා තම හෘද සාක්ෂියට අනුව කටයුතු නොකළහොත් ජනතාව යහපාලන ආණ්ඩුව කෙරෙහි තැබූ විශ්වාසය බිඳ වැටෙනු ඇති බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.

රජයේ නිලධාරීන් සහ දේශපාලනඥයන් එෆ්. සී. අයි. ඩී (මූල්‍ය අපරාධ කොට්ඨාසය) භීතිකාවෙන් පෙළෙන බවත් රට ගොඩනඟන වැඩපිළිවෙළ හමුවේ එවන් භීතිකා සිත්වලින් දුරු කළ යුතු බව ද එමඟින් රාජ්‍ය අංශය යම් ආකාරයකට අඩපණ වීමේ හැකියාවක් ඇතැයි ද ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපතිවරයා එසේ සඳහන් කළේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී පසුගිය දා (22) සවස පැවති ශ්‍රී ලංකාවේ සංවර්ධන අභියෝග පිළිබඳ විශේෂ සම්මන්ත්‍රණයට එක් වෙමිනි.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ ද සඳහන් කළේය.

වසර 2015 ජනවාරි 8 මැතිවරණ ප්‍රකාශයෙන් යහපාලන සංකල්පය ඉදිරිපත් කළා. එය අපේ ආණ්ඩුවට හෝ අපේ රටට අලුත් දෙයක් නොවෙයි. අපේ අසල්වැසි භාරතයේ ලිච්ඡවි රජ දරුවන්ගෙත් අශෝක අධිරාජයාගේ සිට අපේ එක් එක් රාජධානි පාලන සමයන් වලදීත් යහපාලන සංකල්පය ක්‍රියාත්මක වූ ආකාරය ඉතිහාස පොත පතේ සඳහන් වෙනවා.

යහපාලන සංකල්ප පිළිබඳ බොහෝ දෙනාට අවබෝධයක් තිබුණ ද ඊට රටේ හැඩ ගැසීමක් නොතිබුණ නිසා අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ යහපාලන සංකල්පයට ප්‍රමුඛත්වයක් දී ඉදිරිපත් කළා.

රජයේ සේවකයන් ලෙසත් ආයතන ප්‍රධානීන් ලෙසත් ඔබ මේ අවස්ථාවට එක්ව තිබෙනවා. එහෙත් ඔබ නියෝජනය කරන්නේ ලක්ෂ 13ක් ඉක්මවා යන සමස්ත රාජ්‍ය සේවයේ නායකත්වය සහ නියෝජනත්වයයි.

අපේ ආණ්ඩුව පවත්වාගෙන යෑමේ දී ඇතිව තිබෙන ගැටලු මීට පෙර පැවති ආණ්ඩු තුළ ද මම දැක තිබෙනවා. මේ රටේ රාජ්‍ය සේවයේ පහළම තැන සිට මෙතනට පැමිණි කෙනෙක් ලෙස හතළිස් පස් වසරකට වැඩි කාලයක් රාජ්‍ය සේවයේ විවිධ ක්ෂේත්‍රවල විවිධ තනතුරු දැරූ කෙනකු ලෙස සෑම කෙනකුගේම සිතුම් පැතුම් අදහස් ප්‍රශ්න මම මැනවින් දන්නවා. රාජ්‍ය සේවයේ කටයුතු කරන විට තීන්දු ගැනීමේ දී ප්‍රශ්න පැන නැ‍ඟී තිබෙනවා. කාර්යක්ෂමතාව පිළිබඳ ප්‍රශ්න තිබෙනවා. අපේ රාජ්‍ය සේවයේ ඵලදායීතාවය පිළිබඳ මහ බැංකු අධිපතිවරයාගේ කතාවේ දී සඳහන් කළා. රාජ්‍ය සේවයේ ඵලදායීතාවය පිළිබඳ අපි සිටින්නේ සතුටු විය හැකි තැනක නොවෙයි. එය ඔබ අප කවුරුත් දන්නා කරුණක්. එය මේ රජයේ පමණක් නොව පසුගිය දශක කිහිපයේ රාජ්‍ය පාලනය තුළ තිබූ තත්ත්වයක්. ඒ නිසා රාජ්‍ය සේවයේ ඵලදායීතාවය සියයට පනහකට වඩා වැඩි මට්ටමකට ගෙන ඒමට කටයුතු කළ යුතුයි.

මේ අභියෝගය ජය ගැනීමට අපි යන ගමන් ම‍ඟේ දී සියලු ජනතාවගේ තිබිය යුතු ශිෂ්ටත්වය සහ විනය පිළිබඳ ප්‍රශ්නය රටේ ජනතාවගේ ප්‍රධාන සේවකයා ලෙස මම දකිනවා. දේශපාලනඥයන්, රාජ්‍ය නිලධාරීන්, සමස්ත පුරවැසියන් අද තිබෙන තත්ත්වයෙන් රට ගොඩ නැ‍ඟීමට එක්විය යුතුයි.

ජනාධිපතිවරයා ලෙස මම වැරැදි කරනවා නම් එම වැරැද්ද බරපතළ එකක් ද එය සුළු වරදක් දැයි යන්න වැදගත් නැහැ. මම වැරැදි කරනවා නම් අමාත්‍ය මණ්ඩලය වැරැදි කරන විට ඔවුන්ට ඇඟිල්ල දික් කිරීමේ හැකියාවක් මට නැහැ. මම හෝ මගේ අමාත්‍ය මණ්ඩලය සිතා මතා සැලසුම් සහගත අයුරින් වැරැදි කරනවා නම් රාජ්‍ය නිලධාරීන්ගේ වරදක දී අපිට ඔවුන්ට ඇඟිල්ල දිගු කරන්න බැහැ. දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරීන් සිය විනය, හික්මීම අමතක කර වැරැදි කරනවානම් පොදු ජනතාව තුළින් සිදුවන වැරැදිවලට කතා කරන්න බැහැ.

වත්මන් ආණ්ඩුවේත් මීට පෙරාතුව පැවති ආණ්ඩුවලත් රාජ්‍ය සේවයේ සහ විධායක, මාණ්ඩලික නිලධාරීන්ට රාජ්‍ය සේවයේ ප්‍රශ්නවලට විසඳුම් ලබා ගැනීමේ දී තමන්ගේ පෞද්ගලික ආරක්ෂාව පිළිබඳ ගැටලුවලට මුහුණ දීමට ඔවුනට සිදු වුණා. රාජ්‍ය නිලධාරීන් නොව රාජ්‍ය සේවකයන්ට වෘත්තීය සමිති තුළින් සටන් කිරීමේ හැකියාව තිබෙනවා. උපවාස, පෙළපාළි, සත්‍යග්‍රහ, ආයතන ප්‍රධානීන්ට දැනුම්දීම්, දේශපාලනඥයන්ට දැනුම්දීම් ආදිය ඒ අතර ප්‍රධානයි. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයේ ඒ අයිතීන් සහ වරප්‍රසාද රාජ්‍ය සේවකයා සතුව තිබෙනවා.

එහෙත් විධායක සහ මාණ්ඩලික නිලධාරීන්ට තමන්ගේ දුක් ගැනවිලි ඉදිරිපත් කරන්න දුක්ගන්නා රාළ කෙනකුගේ අඩුවක් මම දකිනවා. මේ වසර එක හමාරක කාලය තුළත් රාජ්‍ය සේවයේ නිලධාරීන් මා හමුවී ඔවුන්ට පැන නැ‍ඟී ඇති ප්‍රශ්න පිළිබඳ කතා කර තිබෙනවා.

දේශපාලනඥයන්ගෙන් මරණීය තර්ජන එන අවස්ථාවන් අපි අසා තිබෙනවා. සෑම රජයන් යටතේම එවන් සිදුවීම් සිදුවීම රහසක් නොවෙයි. මරණීය තර්ජනයෙන් මෙන්ම පැමිණෙන තර්ජන ගර්ජනවලින් තමාගේ පුටුව ආරක්ෂා කර ගන්නේ කෙසේදැයි කල්පනා කර අවසානයේ එම කාර්යය සිදු කර දෙනවා. එවන් අවස්ථා වාර්තා වෙනවා.

රාජ්‍ය සේවයේ සියලු ප්‍රධානීන්ගේ සිට සේවකයා දක්වා සාධාරණ ලෙස රාජකාරි කිරීමේ දී එයට එල්ලවන බලපෑම් හේතුවෙන් රට සංවර්ධනය කරා යන ගමනට බාධාවක් වෙනවා. දේශපාලනඥයා, රාජ්‍ය නිලධාරියා ඇතුළු සියලු දෙනා නිදහස් බුද්ධිමත් මනසකින් වැඩකර තම යුතුකම් හා වගකීම් ඉටුකිරීමට පෙළගැසිය යුතුයි.

අගමැතිවරයා සහ ඇමැති මණ්ඩලය සමඟ සාකච්ඡා කර රාජ්‍ය නිලධාරීන්ට ඇති වන බලපෑම්, ප්‍රශ්න, දුක්ගැනවිලි සම්බන්ධයෙන් අපක්ෂපාතීව මධ්‍යස්ථව කටයුතු කිරීමට ආයතනික ව්‍යූහයක් සැකසීමට මම බලාපොරොත්තු වෙනවා. යම් කාර්යයක සාර්ථකත්වයට හේතුව නිලධාරීන්ට වැඩ කිරීමේ දී නිදහස ලබා දීමයි.

මම බලයේ එල්බගෙන සිටින පුද්ගලයෙක් නොවෙයි. කීමට අවශ්‍ය දේ මම පසුව කියන කෙනකු ද නෙවෙයි. යහපාලන නාම පුවරු එක්ක කවුරු හරි වැරැදි කරනවා නම් ඒ වැරැද්දට දඬුවම් දීමට මම පසුබට වන්නේ නැහැ. යහපාලනය කියමින් කවුරුන් හෝ අයහපත් පාලනයක් ගෙන යනවා නම් එයට මගෙන් ඉඩක් නැහැ. රටේ ජනතාව අපි කෙරෙහි තැබූ බලාපොරොත්තු සුන් වූ විට ජනතාව ගන්නා තීන්දුව පිළිබඳ ඔබ අප සැමට යම් අවබෝධයක් තිබෙනවා.

අපේ අපනයන ආදායම සම්බන්ධයෙන් තිබෙන තත්ත්වය මහ බැංකු අධිපතිවරයා සඳහන් කළා. දේශීය කර්මාන්ත කඩා වැටීම එයට ප්‍රධාන හේතුවක්. කෘෂි කර්මාන්තයේ ඇති අඩුපාඩු පිළිබඳත් රටේ සහල් අතිරික්තයක් පිළිබඳත් කුමාරස්වාමි මහතාගේ කතාවේ දී සඳහන් කළා. 2014 වසරේ පාන් පිටි මෙට්‍රික් ටොන් දශ ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් රටේ ජනතාව පරිභෝජනය කර තිබෙනවා. එම මෙට්‍රික් ටොන් ප්‍රමාණය අඩක් දක්වා අඩු කර ගැනීමට හැකි නම් සහල් අතිරික්තයක් ඇති නොවන බව මගේ විශ්වාසයයි.

අපිට තිබෙන ඉලක්ක ගත කාර්යයන් ඉටු කිරීමේ දී එෆ්. සී. අයි. ඩී භීතිකාව පිළිබඳ කතාබහට ලක්ව තිබෙනවා. නිලධාරීන් පමණක් නොව ඇතැම් ඇමැතිවරුනුත් මෙය පාවිච්චි කරනවා. සමහර අංශවල තීන්දු ගැනීමේ දී එෆ්. සී. අයි. ඩී පසුබට වීම සහ අකාර්යක්ෂම භාවයත් ඉලක්ක කරමින් කටයුතු කරනවා. මේවා කළහොත් අපිට එෆ්. සී. අයි. ඩී යන්න වෙතැයි කියනවා. එෆ්. සී. අයි. ඩී භීතිකාව අපි අපේ හිත්වලින් ඉවත් කර ගත යුතුයි. එෆ්. සී. අයි. ඩී යක් අපේ රටේ නිර්මාණය වුණේ ඇයි දැයි යන්න ඔබ දන්නා කරුණක්. රටේ සිදුවන වංචා දූෂණ අවම කිරීම සඳහා අවශ්‍ය නව ආයතන පිහිටුවීමත්, අල්ලස් හා දූෂණ කොමිසම ශක්තිමත් කිරීමත්, රාජ්‍ය සේවයේ සියලු දෙනාට කොන්ද කෙළින් තබාගෙන වැඩ කිරීමට ස්වාධීන කොම්සන් සභා ඇති කිරීමටත් මගේ මැතිවරණ ප්‍රකාශනයේ අන්තර්ගත වුණා. ඒ කරුණු ඉටු කර 19 වැනි සංශෝධනයෙන් ස්වාධීන කොමිසන් සභා ස්ථාපිත කළා.

ස්වාධීන කොමිසන් සභාවලත් තවම ඔවුන් අත්දැකීමක ඉන්නේ. තවම ඔවුන් ඉන්නේ අලුත් ප්‍රවේශයක බව කිව යුතුයි. භෞතික සම්පත්, මානව සම්පත්වල අඩු පාඩු තිබෙනවා. කොමිසන් සභාවල කෙරෙන කාර්යයන්වල සීමාව පිළිබඳත් ප්‍රශ්න තිබෙනවා. ස්වාධීන කොමිසන් සභාවල සීමාව කොපමණදැයි යන්න කොමිසන් සභා වැඩ කිරීමේ දී ගැටලු මතුවීමට හේතුවයි. ආයතන වගකීම බලතල හා කාර්ය පටිපාටිය සම්බන්ධයෙන් ආයතනික වශයෙන් ක්‍රියාත්මක තත්ත්වයක් නැහැ. පාර්ලිමේන්තුවත්, ව්‍යවස්ථාදායක සභාවත් සමඟ සාකච්ඡා කර ස්වාධීන කොමිසන් සභාවල කාර්ය පටිපාටිය, සීමාව තීන්දු කිරීමටත් එම කටයුතු කාර්යක්ෂම කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමටත් අපි බලාපොරොත්තු වෙනවා.

මෙවැනි ආයතන ඇති වුණේ රට තුළ එදා තිබුණු අයහපත් තත්ත්වයත් නිසයි. කෙසේ හෝ මේවා දැන් අවසන් කළ යුතුයි. එෆ්. සී. අයි. ඩී යන්න වෙතැයි කියා දේශපාලනඥයොත් කියනවා නම් ඔවුන් තුළත් ලැජ්ජාවක් බියක් ඇති වෙලා තිබෙනවා. එය රටකට අවශ්‍යයි. බය සහ ලැජ්ජාව නැත්නම් මිනිසෙක් හැසිරෙන්නේ සතෙක් වගෙයි. අපිට එෆ්. සී. අයි. ඩී යන්න වෙතැයි නිලධාරී කියනවා නම් දූෂණය, වංචාව, හොරකම පිළිබඳ බියක් ඇතිව තිබෙනවා.

ඒ සමාජය වෙනස් කිරීමේ අවශ්‍යතාව තිබෙනවා. ඒ සඳහා අපි ස්වාධීන කොමිසන් සභා ඇති කළා. නීතිය සම්බන්ධයෙන් එෆ්. සී. අයි. ඩී වැනි ආයතන ස්ථාපිත කළා. ඒ පිළිබඳ රටට නව සංකල්පයක් ලබා දුන්නා. මේ යහපාලන ආණ්ඩුව කියා උපහාසාත්මක අන්දමින් කතා කරන අවස්ථා තිබෙනවා. රටේ කුමක් හෝ සිදු වූ විට මේ යහපාලන ආණ්ඩුව ඔහොම තමයි කියනවා. නමුත් මේ යහපාලන සංකල්පය, එසේම සංහිඳියා සංකල්පය අවතක්සේරු කර රට ගොඩනඟන්න හැකියාවක් නැහැ.

ආණ්ඩුව මෛත්‍රීපාල සිරිසේනගේ ද රනිල් වික්‍රමසිංහගේ ද එසේ නැත්නම් තවත් කෙනකුගේ ද යන්න ඇතැමෙක් මතු කරන ප්‍රශ්නයක්. මහ බැංකු අධිපතිවරයා ඉදිරිපත් කළ දේශනයේ දී සඳහන් කළ කරුණු සැලකීමේ දී හෙට දවසේ උපදින දරුවන් සඳහා සමෘද්ධිමත් රටක් විනයගරුක රටක් සෑදීමට අපි සැම වගකීමෙන් කටයුතු කරනවා ද යන්න මා ඔබේ හෘද සාක්ෂියෙන් අසනවා.

එය මගේ හෝ ඇමැති මණ්ඩලයේ පරම්පරාව පිළිබඳ ප්‍රශ්නයක් නොවෙයි. එය ඔබේ අනාගත පරම්පරාව පිළිබඳ ප්‍රශ්නයක් පමණක් නොවෙයි. එය මේ රටේ සමස්ත ජාතියේ අනාගතය සඳහා රටේ ආර්ථිකය ගොඩනඟන විනයගරුක ශිෂ්ඨ සමාජයක් ජාතියට උරුම කිරීමට අපි සැම එකට එක්ව වැඩ කළ යුතුයි.

ඒ නිසා දේශපාලනඥයන් එක පැත්තකිනුත් තවත් පැත්තකින් රාජ්‍ය නිලධාරීන් ද අනෙක් පැත්තෙන් රටේ පුරවැසියන් සිටින ත්‍රිකෝණයක් ලෙස නොව අපි සියලු දෙනා එක්ව මහජනතාව වෙනුවෙන් වගකීමෙන් එම යුතුකම් ඉටු කළ යුතුයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා-

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ පාලනය යටතේ අපි ජාතික ආණ්ඩුවක් බිහි කර තිබෙනවා. මේ රටේ ප්‍රථම වරට ප්‍රධාන පක්ෂ දෙක එකට එක්ව අවුරුදු පහක ගමනක් යන්න ආරම්භ කර තිබෙනවා. දැනට ආරම්භ කර තිබෙන සංවර්ධන වැඩසටහන් ජනාධිපතිවරයාට අයත් අමාත්‍යාංශවලත් සෙසු අමාත්‍යාංශවලත් ඇතිව තිබෙන ප්‍රගතිය පිළිබඳ සාකච්ඡා කිරීමට මේ සම්මන්ත්‍රණය කැඳවා තිබෙනවා.

වත්මන් ආණ්ඩුවට වසරක් ගතවන අවස්ථාවේ මේ සම්මන්ත්‍රණය ඉතා වැදගත්. අපේ පාලනය බිම් මට්ටමට මෙමඟින් යනවා. අමාත්‍යාංශ භාර ලේකම්වරු, දිස්ත්‍රික් ලේකම්වරු සහ නගර සභා භාර ලේකම්වරු පමණක් මම 1978 පළමුවරට පාර්ලිමේන්තුවට තේරී පත් වූ අවස්ථාවේ රටේ තිබුණා. 13 වැනි ව්‍යවස්ථාවෙන් අපි පළාත් සභා ඇති කළා. 1992 ප්‍රාදේශීය ලේකම්වරු ඇති කළා. දැන් තට්ටු පහක් තිබෙනවා. සංවර්ධන වැඩ කරන්නේ කෙසේදැයි යන ප්‍රශ්නය අපි හමුවේ තිබෙනවා.

නීති ප්‍රශ්න පිළිබඳ නීතිපතිවරයා සඳහන් කරනු ඇතැයි මම විශ්වාස කරනවා. එසේම රටේ ආර්ථිකය පිළිබඳ මහ බැංකු අධිපතිවරයා සඳහන් කරනු ඇතැයිද මා අදහස් කරනවා.

අලුත් ව්‍යවස්ථාව සැකසීම පිළිබඳ බොහෝ දෙනා ප්‍රශ්න අසනවා. මෙමඟින් සිදු වෙන්නේ කුමක්දැයි අසනවා. ව්‍යවස්ථා වෙනසක් සඳහා ව්‍යවස්ථා දායක සභාවක් පිහිටුවීමට පාර්ලිමේන්තුවේ දී සියලු පක්ෂ එකඟත්වය ලබා දුන්නා. කවුරුත් විරුද්ධ වුණේ නැහැ. ඒ සඳහා මගේ ප්‍රධානත්වයෙන් මෙහෙයුම් කාරක සභාවක් පත් කර ගත්තා. අපි උපකාරක සභා හයක් පත් කර වැඩ කටයුතු කරගෙන යනවා.

මෙය ප්‍රසිද්ධියේ කළ හැක්කක් නොවෙයි. කාරක සභාවල සාකච්ඡා කරමින් කටයුතු කරනවා. මෙහි දී පක්ෂ අනුව පුද්ගලයන් අනුව බෙදීමක් සිදු වන්නේ නැහැ. අපි එකඟත්වයෙන් කටයුතු කරනවා. මෙහෙයුම් කාරක සභාවෙන් ප්‍රධාන පක්ෂ තුනක් කෙරේ අවධානය යොමු කර තිබෙනවා. ඡන්ද ක්‍රමය, බලය බෙදා හැරීම සහ විධායක බලතල අහෝසි කිරීම ආදී කරුණු ඇතුළත් ව්‍යවස්ථා සංශෝධනයකට රජය අවතීර්ණ වී සිටිනවා. තවත් උපකාරක සභා හයකට විෂයන් බෙදා තිබෙනවා.

රටේ මූල්‍ය පාලනය පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ගෙන ඒමේ යෝජනාවක් ඇතුළත් කිරීමට තීන්දු කර තිබෙනවා. රුපියල් බිලියන 1300ක් පාර්ලිමේන්තුවේ අනුමැතියෙන් තොරව පැවති ආණ්ඩුව ණයට ගෙන තිබෙනවා. නමුත් අපි ඒවා දැන් ගෙවන්න අවශ්‍යයි. ඒ මුදල්වලට සිදු වූයේ කුමක්දැයි සමහර අංශ දැනුවත් නැහැ. සමහර අංශවල ඊට අදාළ වාර්තා නැහැ. අපේ ජාතික ආදායම දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 13කට වඩා අඩුයි. නිදහස් අධ්‍යාපනය සඳහා වියදම් කරන මුදල සියයට 1.9කට අඩු වෙලා. අපිට අවස්ථාව ලැබී තිබෙනවා රටේ ආර්ථිකය නඟා සිටුවීමට.

වැටුප් වැඩි කිරීම, රැකියා ලක්ෂ දහයක් ඇති කිරීම, ග්‍රාමීය ආර්ථිකය නඟා සිටුවීම ආදී කරුණු තිබෙනවා. මේ රජය නීතියෙන් පිට කිසිවක් කරන්නේ නැහැ. ගිය ආණ්ඩු සමයේ නීතියෙන් පිට ක්‍රියා කළ අවස්ථා තිබුණා. එය රාජ්‍ය පාලනය තුළ දක්නට තිබෙනවා. ආදායම් එක් කළ හැක්කේ පාර්ලිමේන්තු අනුමැතිය යටතේයි. විසඳා ගැනීම පිළිබඳ නීතිපතිවරයා පැහැදිලිව ප්‍රකාශ කරන බව විශ්වාසයි.

අපි මැතිවරණ ක්‍රමය පිළිබඳ කතා කරනවා. අනුපාත ක්‍රමය වෙනුවට මිශ්‍ර ක්‍රමයකට යෑමට අපි කතා කරමින් සිටිනවා. එය එම්. එම්. පී ක්‍රමය ලෙස හැඳින්වෙනවා. එසේම මිශ්‍ර සහ කේවල ක්‍රමයකට යෑමට අපි උත්සාහ ගන්නවා. කේවල ක්‍රමයෙන් වැඩියෙන් ජයගන්නා පක්ෂයට අනුපාතයෙන් අඩුවෙන් මන්ත්‍රීවරු හිමි වෙනවා. එනම් 1978 ප්‍රතිඵලය අනුව මෙය ක්‍රියාත්මක කළා නම් අනුපාත අනුව වැඩිම මන්ත්‍රීවරු පිරිසක් එක් වෙන්නේ ශ්‍රීලනිප යෙනුයි. මෙය අපි සියලු දෙනා පිළිගෙන තිබෙනවා.

අපි ඔක්කොම එක්වී නව ක්‍රමයට අනුමැතිය දී තිබෙනවා. අපිට පාර්ලිමේන්තුවේ සංයුතිය 225ට වඩා වැඩි කිරීමට සිදු වෙනවා. එය 350කට කිසිසේත් යන්නේ නැහැ. 240ට අඩු හෝ වැඩි ඊට ඇතුළත් වෙනවා.

අනුපාත ක්‍රමය යටතේ සුළු පක්ෂවල ප්‍රතිශතය වැඩි කර ගැනීමට ඔවුන් උත්සාහ ගන්නවා. එසේම එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වැනි ප්‍රධාන පක්ෂයකට ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවීමේ ශක්තිය තිබිය යුතුයි. අපිට සුළු පක්ෂ සමඟ ආණ්ඩු සැකසීමට වෙනවා. ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවීමට එවන් අවස්ථා තිබිය යුතුයි.

බලය බෙදා හැරීමේ 76- 77 කමිටුවේ මම ද සාමාජිකයෙක්. සම්බන්දන් මහතා ද එවකට සිටි අයෙක්. අපි ඉන්දියන් ක්‍රමය, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු දෙස බලා තීන්දු ගත්තා.

ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා-

මේක සරල කාරණයක්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 50, 51, 52 රට සංවර්ධනය කිරීම සඳහා බැඳී සිටිනවා. රාජ්‍ය ආයතන සංග්‍රහය අනුව පිටු අංක 317, 318, 319 අනුව රාජ්‍ය සේවකයන් රාජකාරිවල නියුතු විය යුතුයි. රාජ්‍ය සේවකයන් සමඟ සමීපව කටයුතු කරන ඇමැතිවරයා ලෙස මම ප්‍රශ්න කිහිපයක් දකිනවා. රාජ්‍ය ආයතන සංග්‍රහය සහ ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව අනුව කටයුතු නොවන අවස්ථා අපි දැක තිබෙනවා. මේ කතා කරන විෂය භාර ඇමැතිවරයා ඇමැති ධුරය පත් කිරීමට ඡන්ද දායකයා බල සම්පන්න වී සිටිනවා. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව බල සම්පන්න වන්නේ විධායක ජනාධිපතිවරයා හෝ අග්‍රාමාත්‍යවරයා ප්‍රධාන කැබිනට් මණ්ඩලය හෝ සුප්ප්‍රිම් උසාවිය නොවෙයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බල සම්පන්න වන්නේ මහජන පරමාධිපත්‍යයයි.

මෙහි දී ශ්‍රී ලංකාවේ සංවර්ධන අභියෝග දේශනය ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ද පවතින නෛතික ව්‍යුහය තුළ සංවර්ධන අභියෝග ජය ගැනීමේ රාජ්‍ය නිලධාරියාගේ කාර්ය භාරය දේශනය නීතිපති ජයන්ත ජයසූරිය මහතා ද සිදු කළේය.

මහා සංඝරත්නය, මැති ඇමැතිවරු දිසා ලේකම්වරු, ප්‍රාදේශීය ලේකම්වරු, අමාත්‍යාංශ ලේකම්වරු, පොලිස්පති, ත්‍රිවිධ හමුදාපතිවරු ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

 


නව අදහස දක්වන්න