තරු සහ කඳුළ...! | දිනමිණ

තරු සහ කඳුළ...!

 

පලබර දෙල් ගස රුසිරු ළඳකටත් වඩා සෝභමානය

“පැහුණම ගෙඩියක් දෙකක් යවන්න ඕන අම්මට...” යි මා කියන්නේ සහල් ගරන අතරතුර දෙල් ගස දෙස බලමිනි.

“ඇයි අම්මා ‍හැමදේම කිරිඅම්මාට යවන්නෙ?” බඩපිස්සා අසන්නේ කුකුසින් දෙනෙත හකුලා ගනිමිනි.

“කිරිඅම්මලානේ චූටියෝ මේ ගහකොළ හැදුවෙ වැඩුවේ. ඉතිං හැදූ වැඩූ උදවියට පංගුව අරින්නම ඕන නේ....” සිව්වැන්නා හිස සලයි.

“දෙල් ගෙඩිය දැක්කාම කිරිඅම්මට සතුටු හිතෙනවනෙ. නේද අම්මේ?”

“නැතුව... අමාරුවෙන් වතුර ඇදලා ලොකු කරගත්ත ගහක ගෙඩියක් දකිනකොට සතුටුයි තමා...” නිවුන්නු විමසිලිමත් බැල්මෙන් බලති.

“ඇයි අම්මා හැම තිස්සෙම අනුන්ව සතුටු කරවන්න හදන්නෙ...? හුඟක් කට්ටිය හදන්නෙ තව කෙනෙක්ට රිද්දන්නනේ...”

දොළොස් වියැති දරුවන්ගේ නිරීක්ෂණයන් පිළිබඳව මවිත වෙමින් වුව මම හිනැහුනෙමි.

“ජීවත්වෙලා ඉන්න ටික කාලෙදි ඇයි අපි තව කෙනෙක්ව රිද්දන්නෙ? පුළුවන්කමක් තියෙනව නම් වචනයකින් හරි කෙනෙක්ව සතුටු කරවන එකෙන් අපිටත් දැනෙන්නෙ සතුටක්නෙ...”

හිංසනය මුල් බැසගත් සමාජයක මේ නොදරුවන්ට මගේ කතාව වැටහෙනු ඇද්ද? වැටහුණද ඔවුන්ගේ හදවත් තුළ එය කිඳා බසිනු ඇත්ද නැත්ද යන වග මම නොදන්නෙමි.

“අපි ඉස්කෝලෙ වැඩ ටික කරමු” යි මා කීවේ සහල් ළිප තැබීමෙන් පසුවය.

දිග මේසයේ වාඩිවූ අපට සිංහල අභ්‍යාසයේ අඩක්වත් හමාර කරන්නට ඉඩක් නෙලැබිණ.

“අයියෝ... අපරාදෙ... අපරාදෙ... අනේ වෙච්ච දේ...” යි හඬාගෙන දිව ආ මද්දු දකිත්ම අපි පුදුමයෙන් ගල් ගැහුනෙමු. කිසිවක් අසන්නටවත් ඉඩක් නොලැබිණ. ඔහු හඹා ආවේ ඔහුගේ පියා ය.

“මං කිව්ව නේද අයියගෙ බයික් එක පදින්න එපා කියලා... ඇහුවද ඔය මං කියපු දේ...?” යි අසමින් ඔහු මද්දුට පහර දෙන්නට පටන් ගත්තේය. නිවුන් පුතුන් පුටු උඩ නඟින ආකාරය නෙතඟින් දුටු මම වහා තාත්තාත් පුත්තා අතරට පැන්නෙමි.

“මොකද මේ? මොකද වෙලා තියෙන්නෙ?” යි මම කෑගසා ඇසුවෙමි.

“මේකා රතුමහත්තයාගෙ බයික් එක ඇරං ගිහිං.. හප්පගෙන ඇවිත් තියෙන්නෙ.. බයික් එක ගන්න දෙයක් නෑ... ඒ යකඩ ගොඩ වගේද මූට දෙයක් වුණානං... දවසකට කොල්ලො කී දෙනෙක් මැරෙනවද බයික්වල ගිහින් හැප්පිලා... ජීවිතේ ආපහු ගන්ඩ පුළුවන්ද මොන ජගතෙකුටවත්...? කෝටියක් වියදම් කරලවත්...?”

දරුවන්ගේ පියා කෝපයෙන් ද, ශෝකයෙන් ද බැණ වදිමින් නොනවත්වා පහරදෙයි.

ලේ වැගිරෙන තුවාලත් එක්ක පහර කන කොලුවා ගලවා ගන්නට මම අපමණ වෙහෙසක් දැරුවෙමි.

“අනේ ගහන්ඩ එපා. මේ ළමයට තුවාලයි. මේ ළමයව ඉස්පිරිතාලෙ ගෙනියන්න ඕන” මගේ විලාප හඬ තවම විවර දොර ජනෙල තුළින් පිටතට ගලා ගියාට සැක නැති. අනුෂ්ක මල්ලිත් මනෝහර මල්ලිත් දිව විත් යක්ෂාවේෂ වූ මිනිසා අල්ලා ගත්තේය. ඔවුන් ‍වදෙන් පොරෙන් ඔහු පිටතට කැටිව ගියේය.

“මේ ළමයව ඉස්පිරිතාලෙ ගෙනියන්නෝනෑ...” යි මම බෙරිහන් දුන්නෙමි.

“මං කියන දේ අහන්නැති එකා ඉස්පිරිතාලෙ ගෙනියන්නෑ මං නං...”

හැමදාමත් මෙන් ජීවිතයේ දුෂ්කරතාවයන් අබිමුව මම හුදෙකලා වීමි. ගෘහ මූලිකයාගේ සහාය නොලැබෙන බව ඒකාන්ත‍ය. මහා සවියක් වූ දුරකථනය ද විසන්ධි කර ඇත්තේ ය. වැඩිම වාර ගණනාවක් දුරකථනය විසන්ධි වූ ලේඛිකාව ලෙස මා ගිනස් වාර්තාවක් තබන බව කියමින් යෙහෙළියක සමඟ හිනැහුණේ පෙර දිනයේය. පැය විසිහතරක් ඉක්ම යාමටත් පෙර මම කඳුලු පිරි දෙනෙතින් ඇමතුමක් ලබාගත නොහැකි දුරකතනය දෙස බලා හිඳිමි.

“මං දැං මේ ළමයව ඉස්පිරිතාලෙ ගෙනියන්නෙ කොහොමද?” නිවුන්නු ජංගම දුරකථනයක් දිගු කළෝය.

“මේකෙන් කෝල් එකක් අරං ත්‍රීවිල් එකක් ගෙන්න ගමු”

එයින් ඇමතුමක් ලබාගැනීම පහසු නොවීය. මිදුලට දිව යාමෙන් නොනැවතී අඹ ගසට ද නගින්නට සිදු විය.

“සිග්නල් නෑ...”

බි‍ඳෙන හඬත් කුරු කුරු ඝෝෂාවත් අරබයා කොල්ලෝ පුන පුනා කීවේ “සිග්නල් නෑ” යන්නය. අතෙහි මිට මොළවාගත ‍හැකි ඒ නවීන සන්නිවේදන උපකරණය බිම දමා ගැසීමෙන් වැළකී සිටින්නට මට මහත් වෙහෙසක් දරන්නට සිදුවිය.

අන්තිමේදී ත්‍රීවිල් රියට නඟින්නට සූදානම් වෙත්ම බණ්ඩා මාමා කතා කළේය.

“මේ ළමයි දෙන්නෙකුත් එල්ලගෙන තුවාලකාරයෙකුත් අරගෙන දුවට මේ රෑ ඉස්පිරිතා‍ල ගානෙ යන්ඩ බෑ. දුව ඉන්ඩ. මං මද්දුව නවත්තලා එන්නං...” අම්මා තාත්තා අහිමි අනාථයකු මෙන් මගේ මද්දු රෝහල කරා ගියේ ය. මගේ හද හඬා වැටිණ.

“ඔයාලා දෙන්නට ගෙදර ඉන්න බැරි ඇයි මං ඉස්පිරිතාලෙ ගිහිං එනකම්?”

මම නිවුන් පුතුන්ට දොස් පැවරුවෙමි.

“අපිට බයයි අම්මා... ලොකු අයියා ට්‍රැක්ටරේ හදන්ඩ ගිහින්... පොඩි අයියා සමන් බාප්පා එක්ක පානදුර ගිහිං.... තාත්තා මෝල පැත්තෙ. අපි දෙන්නා විතරක් කොහොමද ගෙදර තනියම ඉන්නෙ...?”

“මොන තනියක්ද...? ඔයාලා දෙන්නෙක්නෙ... එක්කෙනෙක් නෙමෙයිනෙ...” එක් බඳු රූ සොබාවෙන් යුත් කොල්ලෝ මගේ ඇ‍ඟේ දැවටුණේ සුසුම් හෙලමිනි.

“මටත් යන්නයි තිබ්බේ.... අනේ මං වගේ අම්මා කෙනෙක්. මගේ දරුවා ඇක්සිඩන්ට් වෙලත් පිට කෙනෙක් එක්ක යැව්වනේ මං ඉස්පිරිතාලෙ...”

මා කොඳුළේ නිවුන් පුතුන්ගේ සිත් කැළඹේදැයි තැකීමක් නොකරමය.

සිමෙන්ති පඩිය මත හිඳගත් අපි එකම ගුලියක් ලෙසින් එකට තුරුළුව මද්දු රෝහල් ගතකොට බණ්ඩා මාමා ආපසු එන තෙක් බලා සිටියෙමු. තරු පිරි අහසත්, සිහිල් මඳනලත් අප සනහාලන්නට වෑයම් කළද මගේ දෑස පිරුණ කඳුල දෙකම්මුල් ඔස්සේ රූ රා හැලිණ.

ශාන්ති දිසානායක

[email protected]


නව අදහස දක්වන්න