මුල්ලේ සර් | දිනමිණ

මුල්ලේ සර්

 

මා නිවසට පැමිණි පසු දරුවන්ගේ අධ්‍යාපන වැඩ කටයුතු හාරා අවුස්සා අඩුපාඩු සොයා බැලීම පුරුද්දක් කොටගෙන තිබු නමුත් එය මා වැන්නියකට මානසික පීඩාවක් ගෙන දෙන්නකි.

උදේ අටේ සිට රාජකාරියේ නියුතුව සවස පහට මහමඟට වැටී සෙනඟ තෙරපෙන බස් රථයක නැඟී වාහන තදබදය අස්සේ බැටකමින් කාලය නිකරුණේ වැය කොට නිවසට පැමිණෙන මවට හෝ පියාට තිබිය යුත්තේ සැනසිලිදායක නිදහස් මනසින් දරුවන්ගේ ආ ගිය තොරතුරු මෙන්ම ආදරය, කරුණාව බෙදා ගැනීම පමණකි. එහෙත් ගුරුවරු දරුවන්ට උගන්වා ඇත්ද යන්න සොයා බැලීම ද දැන් මවුපියන්ගේ දෛනික වැඩසටහනේ කොටසක් වී ඇත.

වෙනදා මෙන්ම මා එනතුරු මඟ බලා සිටි පුංචි පුතු මා ගෙන ගොඩවෙනවාත් සමඟ දිගු කතාවකට මුල පිරුවේ ය.

“අම්මේ අම්මේ අද අපේ මැඩම් උගන්වපු දේවල් සේරම හොඳට තේරුණා. ජලය පාඩමේදී බෝතල්වලට වතුර දාලා ලිටර් මිලිලීටර් වෙන වෙනම මැනලා පෙන්නුවා. සාරංග අතින් පන්තියේ වතුර හැලුණා. ඒත් මැඩම් වෙනදා වගේ බැණ්නෙත් නෑ. ආ..පුතේ ඕක වේලිලා යයි කියලා ආදරෙන් කිව්වා. වචන හරඹ කියලා මුර්ධජ, සඤ්ඤක අකුරු කියාදෙන සෙල්ලමකුත් කළා. අම්මේ, අම්මේ, අපේ කණ්ඩායම තමයි ඒකෙන් දිනුවේ.

මැඩම් දිනපු කණ්ඩායමට පැන්සල් දුන්නා. පැරදුණු කණ්ඩායමට කිව්වා ඔයාලා පැරදුණේ නෑ. ලකුණු අඩුවුණා විතරයි. හෙට ඔයාලා ලකුණු වැඩියෙන් ගන්න උත්සාහ කරන්න .. කියලා. එයාලාටත් මකන කෑල්ල ගානේ දුන්නා. අද අපි චිත්‍ර ඇන්දා ජලය ගැන කාට හරි දන්න සිංදු කතන්දර කියන්න කිව්වා. මාත් කවියක් කියන්න ඉස්සරහාට ගියා. එතකොටම බෙල් එක ගැහුවා. මැඩම් මගේ ඔළුව අතගාලා බොහොම හොඳයි ඉදිරිපත් වුණ එක ඔයාගේ කවිය හෙට කියන්න කියලා කිව්වා.

ඒක නෙවෙයි අම්මේ, අද මැඩම් ගාව වෙනදා තියෙන කෝටුව තිබුණෙත් නෑ. අපිට සෙල්ලම් කරන්නත් දුන්නා. කෑම කන වෙලාවේ මැඩම් කොහෙවත් ගියේ නෑ. හැමෝගෙම කෑම පෙට්ටි බැලුවා. කාවින්ධ්‍යා කෑම කෑවේ නෑ ඔළුව රිදෙනවා කියලා. මැඩම් එයාට කෑම එකත් කැව්වා.

අම්මේ, හවස්වරුවේ දසමහා යෝධයෝ ගැන පුංචි කතන්දරයකුත් කියා දුන්නා.“

පුංචි පුතා මට හූ මිටි තබන්නවත් ඉඩ නොතබා කියාගෙන කියාගෙන ගියේ ය. අනේ දෙයියනේ මොන තරම් වාසනාවක්ද? කියා මගේ සිතට නැඟුණා පමණි.

“ මුල්ලේ සර් හෙටත් ආවොත් හොඳයි අම්මේ.....“

“ඒ කියන්නේ අද ඉගැන්නුවේ වෙනදා මැඩම් නෙවෙයිද ...?" වික්ෂිප්තව මම ඇසුවෙමි.

“අපේ මැඩම් තමයි අම්මේ. මැඩම් උගන්වන හැටි උදේ ඉඳන් හවස් වනතුරුම බලන්න පන්තියේ මුල්ලේ සර් කෙනෙක් ඉඳගෙන මොනවාදෝ කොළ වගයක ලිව්වා....“

 

අමායා උඩුවැරැල්ල 

නව අදහස දක්වන්න