සූප්පු කරන්නට ටොෆියක් | දිනමිණ

සූප්පු කරන්නට ටොෆියක්

 

කාලෙන් කාලෙට සූප්පු කරන්නට එක එක විදිහේ ටො‍ෆි අඹ ගහ යටට ලැබෙනවා. මේ පාර ලැබුණේ එහෙව් භයානක වර්ගයේ ටොෆියක්. හපල ගිලිනවටත් වඩා සූප්පු කර කර සිටින්නට වඩාත් සිත්දෙන එම ටොෆිය අඹ ගහ යටට ලැබුණේ අඹ ගහට උතුරින් විස්ස විජ්ජාලෙකින්. විස්ස විජ්ජාලෙ කියන්නේ ඉතිං බොහෝම දැන උගත්තු සැරිසන පිං බිමක් වන හින්දාම බොහොම ගරු සර ඇතිව ටොෆිය පිළිගන්නට අඹ ගහ යට පුංචලා පැංචිලා සැදී පැහැදී සිටියා.

“අපේ කොල්ලන්ට අපේ නැටුමක් එහේ නටන්න බැරි ඇයි?” හැමෝම පාහේ අහන්නේ එහෙමයි. උතුරු විස්ස විජ්ජාලෙ නැටුමක් නටන්න ගිහින් කොලු පුංචලා පැංචිලා ටිකක් වලියකට සෙට්වෙලා. කීපදෙනෙක් රෝහල් ගතවෙලා.

“දකුණේත් එහෙම වුණා නේද? තවත් පුංචෙක් තවත් කාරණයක් මතක් කළා. දකුණු විස්ස විජ්ජාලෙකත් වළක නාට්ටියක් පෙන්නන්න ගිහින් කොලු පුංචලා පැංචිලා සෙට් එකක් නාට්ටි කණ්ඩායමට ගහලා. නාට්ටිය අතරමඟ නැවතිලා.”

“ඒත් ඉතිං දකුණ කියන්නේ අපේ අපේම අයනේ. ඕව නම් මොනවද?” තවත් සමහර පුංචලා කියනවා.

“උතුරෙ නම් ඉතිං අපේ අයට ගැහුවේ වෙන අයනේ. ඒ හින්දා ඒ ගැන වැඩි අවධානයක් යොමු කරන්න ඕන” ඒ පුංචලාම ආයෙම කියනවා.

“දැන් ඉතිං ඔහෙලා උතුරට වෙන්වෙන්න දෙන්නෙත් නෑ. එකතුවෙලා ඉන්න කොට ගැටුමක් ඇති වුණාම එහේ අයත් අපේ කියලා පිළිගන්නේත් නෑ” සාධාරණ යයි කිව හැකි ප්‍රශ්නයක් මතු කළේ සුදු පුංචා.

මේ දවස්වල හැමෝගෙම පාහේ අවධානය, සාකච්ඡාව, සෙල්ලම මේ සංසිද්ධියම තමයි. මේ වගේ අලකලංචියක් සිද්ධවෙන තුරු ඇඟිලි ගැන ගැන සිටින ලොකු පුංචා, වංශපුංචා, ගප්පි පුංචා ආදී පුංචලා රොත්තගේම ඉහේ මල් පිපුණා. වහ වහා මාධ්‍ය හමු කැඳෙව්වා. මාධ්‍ය නිවේදන ලීවා. “අපේ කාලෙ නම් ඔහොම නෑ.” කියලාත් අන්තිමට ලීවා. ‘කොහොම හරි සිද්ධියට සම්බන්ධ උතුරු විස්ස විජ්ජාලෙ සිසු පුංචා පොලීසියට බාරවෙලා.

එතනින් උසාවියට ඉදිරිපත් කරලා ඇපත් ලැබුණා. ඒත් සමහර දකුණේ විස්ස විජ්ජාලවල සිසු පුංචලා පැංචිලා නීති කඩලා, වැරදි ගොඩ ගහලා උසාවියට දැම්මම නම් ඔහොම ඇප ලැබෙන්නේ නෑ. ඒ කොලු - කෙළි පුංචලා පැංචිලා ටික ටික දවසකට කූඩු කරනවාමයි.’ ඒකාබද්ධ වන්දිභට්ට පක්ෂය එහෙම කියන්න ගත්තා. මේ අතර නායක පුංචා, පාලක සභාවේ පුංචලා පැංචිලා ටිකක් එකතු කරගෙන තව තවත් ගැටුම් ඇති නොවන විදිහට කටයුතු කිරීමේ වැදගත්කමත්, ඒ අනුව ගත යුතු ක්‍රියා මාර්ගත් සාකච්ඡා කළා.

“අඹ ගහ යට පාලක සභාවෙන් මේ ගැන නිවේදනයක් නිකුත් කරන්න දවස් 3ක් ගියා. එහෙම ගිහිල්ලත් එවපු නිවේදනයේ එහේ ඇත්තටම වුණේ මොකක්ද කියලා පැහැදිලිව කියලා නෑ. මේ සිද්ධිය ගැන උතුරේ අන්තවාදීන් ලියන්නෙත් බොරු. දකුණේ වගකිවයුත්තොත් ලියන්නේ බොරු. බලන් ගියාම හැමෝම කියන්නෙ බොරු” මාධ්‍ය පුංචකුගෙන් දැඩි විවේචනයක් එල්ල වුණා.

“ඔහෙලා ලේසියෙන් කළ හැකි ලිවීම කරන්නෙ. අපි අමාරුවෙන් කළ හැකි සංහිඳියාව ඇති කරන්න උත්සාහ කරනවා” පාලක සභාවේ වගකිව යුතු පුංචෙක් කීවේ එහෙමයි.

මේ විදිහට කතා බහ යද්දී වංශ පුංචයි, ගප්පි පුංචයි රහසේ හම්බවුණා. මේ රහස් හමුවේ අරමුණ වුණේ නිවී යන්න ළඟ බව ‍පෙනෙන විස්ස විජ්ජාල සිසු ගැටුමේ ගින්න තව දුරටත් අවුළුවන්නේ කො‍හොමද කියලා සාකච්ඡා කරන්නයි.

“විසෙන් විස නසී කියලා කියමනක් තියෙනවා. ඒ නිසා මේ ප්‍රහාරයට‍ විරුද්ධව අපි ප්‍රහාර දියත් කළ යුතුයි.” වංශ පුංචා කියනවා.

“වෛරයෙන් වෛරය නොසන්සිඳේ කියලා බුදුදහමේ කියවෙනවා. අපි මෙතනදී වගකීම් විරහිත වුණොත් අපට මිනිස්සුන්ගේ තරහට භාජනය වෙන්න වෙනවා.” එකම බෝට්ටුවේ වුණත් ගප්පි පුංචා එහෙම කියනවා. වංශ පුංචා, ගප්පි පුංචා දිහාට කිට්ටුවෙලා නැමෙනවා. ගප්පි පුංචාගේ සුදු සරමේ තියෙන තුත්තිරි ගස් ටික දකිනවා.

“කොයි පත්තිනි අම්මගෙ රෙද්දෙත් තුත්තිරි තියෙනවා. අපි ගිනි තියමු” වංශ පුංචා කියනවා. ලැජ්ජාවෙන් ඇඹරෙන ගප්පි පුංචා අන්තිමට එකඟවෙනවා.

හිච්චි බුවා

[email protected]

නව අදහස දක්වන්න