නව ව්‍යවස්ථාවේ තහනම් වචනය | දිනමිණ

නව ව්‍යවස්ථාවේ තහනම් වචනය

 

යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ ගෝනි බිල්ලන් මැවීම මේ දිනවල මාධ්‍යයේ ප්‍රධාන කාර්යයක් බවට පත්ව තිබේ. ආගම, බලතල බෙදීම සහ ලිංගිකත්වය සම්බන්ධයෙන් ඉදිරිපත්වී ඇති විවිධ යෝජනා මහජන අදහස් විමසීමේ කමිටුව විසින් සංග්‍රහ කරනු ලැබ තිබීම මේ කලබැගෑනියට හේතුවයි.

මේවායින් ‘ආගම සම්බන්ධ චෝදනාවලට මේ වනවිට පිළිතුරු ලැබී තිබේ. අපගේ අවධානය යොමුවන්නේ ආගමට ද වඩා ගිනි ගන්නාසුලු මාතෘකාවක් වන ලිංගිකත්වය පිළිබඳව ය. මේ මාතෘකා එළිපිට සාකච්ඡා කිරීමට බොහෝ අය මැලිවෙති. ඊට හේතුව අන්‍යයන්ගේ සැකයට, ද්වේශයට කොන් කිරීමට හෝ සමච්චලයට ලක්වෙයි යන භීතියයි.

නාරි මෛථුන, සමලිංගික, ද්විලිංගික., පාරලිංගික, අන්තර්ලිංගික හා අසාමාන්‍ය කණ්ඩායමට පුළුල් පරාසයක අනන්‍යතා හා ආශාවන් අයත් වන බව යෝජනාවලියෙහි දැක්වේ. මේ ප්‍රජාවේ මානව හිමිකම් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් රජයේ නෛතික වගකීම, මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය (UDHR) මත පදනම් වූ ජාත්‍යන්තර මානව හිමිකම් නීතියේත්, පසුව එකඟවූ ජාත්‍යන්තර මානව හිමිකම් සම්මුතිවලත් පැහැදිලිව දක්වා තිබීම කමිටුවේ නිරීක්ෂණයට ලක්වේ. එහි මෙසේ සඳහන් වෙයි.

“ජීවිතයට ඇති අයිතිය, පුද්ගලයන්ගේ හා පෞද්ගලිකත්වයේ ආරක්ෂාව, වධ දීමෙන්, අත්තනෝමතික අත්අඩංගුවට ගැනීමෙන් හා රඳවා ගැනීමෙන් නිදහස් වීමේ අයිතිය. වෙනස් ලෙස සැලකීමෙන් නිදහස් වීමේ අයිතිය හා ප්‍රකාශනයේ, සමිති සැදීමේ හා සාමකාමීව රැස්වීමේ අයිතිය ඇතුළු ජාත්‍යන්තර මානව හිමිකම් නීතියෙන් දක්වා ඇති ආකාරයට ලිංගිකතාව. ලිංගික නැඹුරුව හා ලිංගික අනන්‍යතාව කුමක් වුවත් සියලුම පුද්ගලයන්ට සමාන ආරක්ෂාව ලබාදීම රජයේ වගකීම බව පිළිගත යුතු ය.

මේ ප්‍රජාව වෙනුවෙන් කරුණු දැක්වූ අය පෙන්වා දෙන්නේ ඔවුන් ඉල්ලා සිටින්නේ විශේෂ ආරක්ෂාවක් නොව නීතිය යටතේ ආරක්ෂාව පිළිබඳ සමාන අයිතියක් හා වෙනස් ලෙස නොසැලකීමේ අයිතිය බවයි.” (28 ඡේදය) අපේ රටේ විශේෂ ලිංගික අනන්‍යතා ඇති අය පිළිබඳව සමාජ ආකල්ප සහ නීතිය ක්‍රියාත්මක වීම අනුව පෙනී යනුයේ පසුගාමී කුහක දෘෂ්ටිවාදයකි. යල් පැන ගිය නීතියකි.

මෙවැනි පුද්ගලයන් ප්‍රසිද්ධියේ පොලිසියේ අඩන්තේට්ටම්වලට ලක්වන අයුරු අපි දැක ඇත්තෙමු. එමෙන්ම ඔහු හෝ ඇය දේශපාලන, කලාව හෝ වෙනත් පිළිගත් ක්ෂේත්‍රයක නමක් ඇති පුද්ගලයකු වූ විට චරිත ඝාතනයට මුහුණ දෙනු ද පෙනේ. මේ පිළිබඳව වාමාංශික පක්ෂවල ආකල්පය ද පැහැදිලි නැත.

ජවිපෙ මන්ත්‍රීවරයකු වන වෛද්‍ය නලින් ද ජයතිස්ස වරක් සම්මුඛ සාකච්ඡාවකදී කියා තිබුණේ විශේෂ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට විරුද්ධ වන බව ය. ජවිපෙන් කැඩී ගිය කණ්ඩායමක් නියෝජනය කරන ජා.නි.පෙ. නායකත්වය නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් දැනටම නගා ඇති චෝදනාව වන්නේ එය බුද්ධාගමට තැන නැති කරන, රට බෙදන හා සමලිංගිකයන්ට තැන දෙන ව්‍යවස්ථාවක් වන බව ය. මෙබඳු ගෝත්‍රික චින්තනයක් ජනප්‍රිය බුද්ධාගම්කාරයන්ගේ චින්තනය සමඟ කදිමට පෑහෙන අයුරු වටහා ගැනීම අමාරු නැත.

එහෙත් වත්මන වනවිට ලෝකයේ ශිෂ්ට සම්පන්න රාජ්‍යයන්ගේ පිළිගැනීම වන්නේ වෙනස් ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන්ගේ අයිතිවාසිකම් නොපිළිගැනීම මූලික, සිවිල්, දේශපාලන, සමාජීය හා ආර්ථික අයිතිවාසිකම් අහිමිකිරීමක් බව ය. මේ ප්‍රජාවන් වෙනස්කොට සැලකීමට බලපාන නීති අහෝසි කළ යුතු බව මෙහි එක් නිර්දේශයකි.

පුද්ගලිකත්වයට ඇති අයිතිය අහිමි කිරීම, අසාධාරණ ලෙස සේවයෙන් පහ කිරීම, සමාජ ආරක්ෂාව අහිමිවීම, අධ්‍යාපන අයිතිය අහිමිවීම යනාදී තත්ත්වයන් මෙහිදී සැලකිල්ලට ගෙන ඇත.

මේ නිසා සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තිය සමඟ පූර්ණ අනුකූලත්වය සඳහා දණ්ඩ නීති සංග්‍රහයේ 363, 365 (අ) වගන්ති ඉවත් කිරීමට හෝ සංශෝධනය කිරීමට ද, මෙබඳු පුද්ගලයන්ට නඩු පැවරීමට යොදා ගන්නා පාදඩ ආඥා පනත සංශෝධනය කිරීමට ද ශ්‍රී ලංකාව ද අත්සන් කර ඇති මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයට එකඟ වන පරිදි මානව හිමිකම් කොමිසමේ බලතල පුළුල් කළයුතු බවට ද කමිටුව යෝජනා කරයි.

කෙසේ වෙතත් මේ සියල්ල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටුව විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවේ යෝජනා පමණි. එම යෝජනා කමිටු සාමාජිකයන්ගේ නොවන බව ද, කමිටුවට අදහස් දැක්වූ විවිධ පාර්ශ්වවල ඒවා බව ද සිතිය යුතුය. මෙහි අවසාන වගකීම පැවරෙන්නේ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් ලෙස කටයුතු කිරීමට නියමිත පාර්ලිමේන්තුවට ය.

බලය ලබාගැනීම සඳහා ආගම, ජාතිය, කුලය, ප්‍රාදේශික අනන්‍යතාව සහ පන්ති මට්ටම යනාදී බොහෝ කරුණු වාසියට ‍යොදාගන්නා මහජන නියෝජිතයන් සැලකිය යුතු පිරිසක් නියෝජනය කරන ව්‍යවස්ථාදායකය මේ කරුණු සම්බන්ධයෙන් කුමන ස්ථාවරයකට පැමිණේ ද යන්න කුතුහලය වඩන සිදුවීමකි.

ලිංගිකමය වශයෙන් ඇති වෙනස්කම් ඉවසීමේ හා තේරුම්ගැනීමේ ශික්ෂණයක් නොමැති පුද්ගලයකුට භාෂාමය හා සංස්කෘතිකමය වශයෙන් ඇති විවිධත්වය ඉවසීමේ හා තේරුම් ගැනීමේ හැකියාවක් ඇතැයි සිතිය නොහැක. ඒ වනාහි අසීරුවෙන් වගා කරගත යුතු ශික්ෂණයකි. විවිධත්වය තේරුම් ගැනීම හා පිළිගැනීම යනු දියුණු සංස්කෘතික මිනිසකු නිර්මාණය කර ගැනීමේ ශික්ෂණ මාර්ගයකි.

එබඳු ශික්ෂණයක් සඳහා බුදුදහම කදිම ප්‍රවේශයක් වන බව මහා පරිනිබ්බාන සූත්‍ර‍ෙය් අම්බපාලී, චුන්ද සූකර හා බුදුන් සම්බන්ධ සිදුවීම්වලින් වුව ද පැහැදිලි වේ.

තිඹිරියාගම බණ්ඩාර

[email protected]


නව අදහස දක්වන්න