හාදු | දිනමිණ

හාදු

 

පුංචි දවස්වල රූප පෙට්ටියේ පිටරට කතන්දර පෙන්නන වෙලාවට රොබින් මැරියන්ට හාදුවක් දෙනකොට මං ඇස්පියාගන්න පුරුදුවෙලා හිටියා. එහෙම නැත්නම් අතෙන් ලාවට ඇස් දෙක වහගෙන අතේ ඇඟිලි අතරෙන් හාදුව දිහා බලන්න පුරුදුවෙලා හිටියා. ටයිටැනික් චිත්‍රපටය මාතර නිව්සිනමා හෝල් එකේ බලන කොට මට අවුරුදු දොළහයි. අම්මයි තාත්තයි මැද්දෙ ඉඳගෙන චිත්‍රපටය බලනකොට ජැක්, රෝස්ට හාදුවක් දෙන වෙලාවෙත් මං ඇස්දෙක පියාගත්තා. හැබැයි ළාවට ඇරුණු ඇහිපියන් අතරින් ලෝකෙ ආකර්ෂණීයම හාදුව දිහාබලන්න මං වගබලාගත්තා. මං ඉගෙන ගෙන තිබුණෙ එහෙමයි. හාදු අශීලාචාරයි.

මං ටික ටික උස යද්දි මට ලෝකෙ වෙනස් විදිහකට පේන්න පටන් ගත්තා. ආදර හාදු රොමෑන්තික විදිහට දකින්න මං පුරුදු වුණා. ගැහැනියක් සහ පිරිමියෙක් අතර ඇතිවෙන රොමෑන්තික බැඳීම ලෝකයේ ආකර්ෂණීයම බැඳීම කියලා මං විශ්වාස කළා. ඒත් මට වැරදිලා. මං හිතන්නෙ හාදු තාමත් අශීලාචාරයි.

පේරාදෙණිය සරසවිය කියන්නේ මගේ හීන ලයිස්තුවේ හිනිපෙත්තෙම තිබුණු ඒත් කවදාවත් හැබෑ නොවුණු හීනයක්. ඒත් පේරාදෙණිය සරසවියෙ එළිමහන් රංග පීඨය වුණු ‘වළ’ මට හුරුපුරුදු තැනක්. බිත්ති හතරකට කොටුවෙලා ඉස්සරහ සීට් එකක් රුපියල් දාහෙ කොළවලින් මිලට අරගෙන බලන නාට්‍යවලට වැඩියෙන් වළේ පෙන්නන නාට්‍ය සංස්කෘතික මිනිස්සුන්ට සමීප වෙන එක අරුමයක් නෙමෙයි. පේරාදෙණිය සරසවියෙ ‘වළ’ කියන්නෙ, සාක්කුවට නැතුව හදවතට කතාකරපු රඟ මඬලක්.

රොමෑන්තික හාදුවක් කියන්නේ දඬුවම් ලැබිය යුතු වරදක් කියලා ළඟදි මට මතක් කරලා දුන්නේ වළේ වේදිකාගත වෙච්ච කෞෂල්‍යා ප්‍රනාන්දුගේ ‘දුටුතැන අල්ලනු’ නාට්‍යය. නාට්‍යයේ තිබුණු සිපගැනීමේ දර්ශනය නාට්‍ය ජවනිකාවක් කියලා අමතක වුණු ප්‍රේක්ෂකයො බඩඉරිඟු වහලුවලින් නළු නිළියන්ට පහරදුන්නාලු. ඉදිරි අසුනක වැඩහුන් බෞද්ධ භික්ෂූන්වහන්සේ නමක් ‘මේක ශුද්ධ භූමියක්’ යයි උදාන වාක්‍යයක් පවසමින් අසුනෙන් නැඟී සිටියේලු. මම හිතන්නේ මේ සියල්ල එසේ සිදුවිය යුතු බවයි. සිදුවූ කිසිවක කිසිදු වරදක් නැති බවයි.

අපි ජීවත්වෙන්නෙ යතුරු සිදුරෙන් විශ්වගම්මානය දිහා බලන සමාජ ක්‍රමයක් ඇතුළෙ. ගැහැනු ළමයෙක් දිගකලිසමක් ඇන්දාම අශීලාචාර වෙන, සාරියක් ඇන්දාම ශීලාචාර වෙන සමාජ ක්‍රමයක, හාදුවක් අශීලාචාර වන බව දැනගැනීමට තරම් අප පරිණත විය යුතුයි. හැම මිනිත්තු අනූවකටම එක ගැහැනියක් දූෂණය වන වර්ග කිලෝමීටර් 65,525ක වපසරියක හාදුවක් කියන්නේ නොසිදුවිය හැක්කක්.

යහෙළි විසින් සංගක්කාරට ප්‍රසිද්ධියේ පිරිනමපු හාදුවෙන් අපේ සංස්කෘතියේ අඩකටත් වැඩියෙන් විනාශ වුණා. ඊටත් පස්සෙ සිල් බිඳගත්තු ගීතයක් තව හාදුවක් කරළියේ මැව්වා. මේ හැම දෙයින්ම විනාශ වුණේ ඉසුරුමුණි පෙම් යුවල ශිලා ප්‍රතිමාවක් කළ, සීගිරි ලලනාවන්ගෙන් විචිත්‍රවත් වුණු අපේ රටේ සංස්කෘතිය විත්තිය අපි අමතක කරන්න නරකයි.

මට හිතෙන්නේ මෙහෙමයි. අපි අසීමිතව යථාර්ථය සඟවනවා කියලයි. අපි ජීවත්වෙන දූපතේ මිනිස්සුන්ට ලිංගිකත්වය කියන්නේ අඳුරෙදි ඉපදෙන, අලෝකයේදී මියයන, රහසිගත, නොපවතින යමක් විතරයි. නමයෙ පන්තියෙදි ‘උදා වූ යෞවනය’ කියලා පොතක් දුන්නට සෞඛ්‍ය පාඩමේ ගුරුතුමී කවදාවත් ඒ පාඩම් ඉගැන්නුවේ නෑ. උසස් පෙළට ජීව විද්‍යාව හදාරපු ළමයින්ට හැරුණුකොට අනිත් දරුවන්ට මූලික ලිංගික අධ්‍යාපනයක් ලැබුණෙ නෑ. මට හිතෙන්නේ ගූගල් සෙවුම් යන්ත්‍රයෙන් ලිංගිකත්වය විචාරණ පරපුරක් ලංකාද්වීපය ඇතුළෙ ඉපදුනේ ඒ හින්දා කියලයි.

පේරාදෙණිය සරසවියේ එළිමහන් රංග පීඨය කලාව ඉපදෙන පින් බිමක්. ඒ බව අපි හැමෝම අවිවාදයෙන් පිළිගන්න කරුණක්. හාදුව අශීලාචාර වුණු පින්බිමේ ‘සිංහබාහු’ ශීලාචාර වුණේ කොහොමද කියලා විතරක් මං ආයෙමත් හිතනවා. ගැහැනියක්, පිරිමියකුට හාදුවක් දීම අශීලාචාර නම්, සිංහයෙක් ගැහැනියකට ප්‍රේම කිරීම කෙතරම් නම් සංස්කෘතිකද? අපේ හිත්වල ප්‍රේමය, ලිංගිකත්වය පිළිබඳ සිතිවිලි ඉපදෙන්නේ කොයිතරම් පටු විදිහට නිමවෙච්චි ගෝත්‍රික රාමුවක් ඇතුළෙද? සදාචාරය මියයන්නේ හාදුවක් ඇතුළෙ විතරද?

දසුනි හෙට්ටිආරච්චි

[email protected] 


නව අදහස දක්වන්න