ඔවුහු සිහින විනිවිද යථාර්ථය දුටහ | දිනමිණ

ඔවුහු සිහින විනිවිද යථාර්ථය දුටහ

 

සිහිනයකි රෑ ඉරිදා රාත්‍රියක දී අප රැගෙන යන්නේ සිහින ලෝකයකටද, මායාවෙන් පිරුණ මනෝමය ෆැන්ටසියක් කරාද, ජීවිතයේ අඳුරු අහුමුලු සොයා ගොස්, ඒ අතරින්, යථාව, සැබෑව මේ යැයි පෙන්වන දෙහෝරාවකටදැයි යන්න නිශ්චිතවම පැවසීම අපහසුය. බොහෝ ඉරිදාවන්හිදී, එය රැඳෙන්නේ, තෝරාගත් ගීත දහයක් සමඟ ඒ ගීත පිළිබඳ අර්ථ කථන, විවරණ, වින්දනීය මතක රැගෙන කැමරාව ඉදිරියට එන්නා මෙන්ම එ/ගී, ගායනාවෙන් ප්‍රතිනිර්මාණාත්මක අනුප්‍රාණය ලබා දෙන්නා හෝ දෙන්නීයේ සුසංයෝගයේ , මහිමය නිසාමය.

එවස් සුසංයෝගයක් නෙත ‘ ගැටුණු සැණින්, මැදියම් රැය තෙක් දෙහෝරාවකට වඩා වැඩි කාලයක් නින්දට ආයුබෝවන් කියා. රූපවාහිනියට නෙත් අලවාගෙන ගෙවූ රාත්‍රී කිහිපයක්ම මතකයේ උඩු සිතට පිවිසේ. එහෙත් එවන් රාත්‍රී අල්පය. අල්ප වූ එවන් මිහිරි මතක, කල් නොයවා, පාඨක ඔබ සමඟ බෙදා හදා ගැනීමට මා තැත් කළ වාර බොහෝය.

එවන් අවස්ථා බොහොමයකදී ම, ඔබද මා මෙන්ම, මා විඳි මිහිරි අත්දැකීමම ලබා තිබූ බව මුහුණු පොත ප්‍රතිචාර මඟින් මම පසක් කොට ගෙන ඇත්තෙමි. අප සහෘදයන් බවට පත්වන්නේ එබැවිනි. අභිනව ගුප්ත වැනි පෙරදිග විචාරකයන් මෙන්ම, ඇරිස්ටෝටල්, කොල්රිජ්, තෝල්ස්තෝයි වැන්නන්ද කලාකරුවා හා කෘතිය අතර, ස්වාත්මගතවීම පිළිබඳ සංකල්පය තුළ ජීවත්ව ඇත. කවියාගේ හෘදය සමඟ සංවාදයේ යෙදෙන වාසනා ගුණය ඇති සහෘදයන් පිළිබඳ අභිනවගුප්ත ආචාරීහු ද සඳහන් කොට තිබේ.

සිහිනයකි රෑ ඇතැම් දෙහෝරාවකදී, ගී තෝරන්න හෝ තෝරන්නිය හා නායක හෝ නායිකා සහෘද සබඳතාව පිළිබඳ මගේ විඳීම් සමඟ අපූරු සහෘදයන් මෙන්ම සහෘදියන්ද මට හමු වී තිබේ. එබඳු සහෘද හමුවක මිහිරි වූත්, චමත්කාරජනක වූත්, අර්ථවත්වූත් වින්දනයක් කරා මා හදවත මෙන්ම බුද්ධියද රැගෙන ගියෝ, වෛද්‍ය නලින්ද ජයතිස්ස තෝරා දුන් ගීතාවලියට නව අරුත් එක් කරමින් ගායනා කළ නදීක ගුරුගේ නම් වූ සහෘදයෝය. ඔවුන් දෙදෙනා සහෘදයන් වූ දෙහෝරාවේ දී, මා මෙන්ම සුවහසක් ප්‍රේක්ෂකයන් ඔවුනගේ සහෘදයන් වූ බව නිසැකය. ඉදින් එහි රහස මා දුටු අයුරු පැවසිය යුතුම යයි ම සිත පවසයි.

මහේෂ් නිස්සංක ජාතික රූපවාහිනිය වෙනුවෙන් සුපුරුදු ලෙසම තම භූමිකාව රඟපාද්දී අප සහෘදයන් බවට පත් කොට ගත් සහෘදයන් දෙදෙනා වෛද්‍ය නලින්ද ජයතිස්සත්, ගායක, සංගීතඥ නදීක ගුරුගේත් අප කැඳවාගෙන ගියේ මේ තීරුව ඇරැඹුමෙහි මා සඳහන් කළ කිනම් ලෝකයටද? සිහින ලොවකට, මායාවෙන් වැසුණු මනෝමය ෆැන්ටසියකට එසේත් නොවී නම් ජීවිතයේ අඳුරු අහුමුලු සොයා ඇවිද ගිය කීර්ථ චාරිකාවකට? ඔව්, නිසැක වශයෙන්ම ඔවුන් දෙදෙනා හැල හැප්පීම් සුබ දුඃඛවේදනා ඇඳුණු මුහුණින් යුතු මිනිසුන්, මව්වරුන් යුතුකම් ඉටුකළ යුතු පුරවැසියන් පරාජිත අපරාජිත පෙම්වතුන්‍ පෙම්වතියන් පිරුණු ලොවක්දකිමින්, ඒ ලොවින් බිඳක් අප හදවතට සමීප කරවමින්, තීර්ථය සොයා අප කැඳවාගෙන ආහ.

සිහින ලෝකය, මායාව වෙනුවට ඔවුන් දෙදෙනා අපට ඔවුන්ගේ රසවින්දනයද එක්කරමින් පෙන්වූයේ අප බොහෝ දෙනෙකුට නොපෙනෙන, ස්පර්ශ නොවනා ජීවිතයේ යථාර්ථයයි. නලින්ද, වෛද්‍යවරයාගේ හෝ දේශපාලනඥයාගේ භූමිකාවෙන් ඔබ්බට ගිය, කලාව සාහිත්‍යය, සංගීතය , සිනමාව වැනි කලා මාධ්‍යයක ඉසියුම් තැන්, තමන් තෝරාගත් ගීත අතර දැක තිබිණ. ඔහු සතු වූ රස වින්දනීය ඥානය, ජීවිත පරිඥානය සතු වෛද්‍ය වෘත්තිකයන් මා දැක ඇත්තේ ඉතා අල්ප වශයෙනි.

ඒ ගණයේ දේශපාලනඥයන් නම් දැක නැති තරම්ය. ඔහු තෝරාගත් ගීත දහය තුළ වූ භාව ප්‍රකාශනයෙහිලා, නදීක ගුරුගේ පෙළහර පෑයේ, ඔහුද තත් එක් සංගීතඥයෙක් හෝ ගායකයෙක් නොවේය යන්න, සහෘද අප අබියස සාක්ෂාත් කරමිනි.

ඔහුගේ ගායනය, අංග චලන, අභිනය, ගීතයෙන් ගීතයට එහි අනුභූතිය හා බැඳුණු කටහඬ පෞරුෂය වෛද්‍ය නලින්ද තෝරා ඉදිරිපත් කළ ගීතාවලියේ අප විඳ තිබු මිහිරට නව මිහිරක්ද, අප දැන සිටි අරුතට නව මානයක්ද එක්කිරීමට නදීක සමත් වූ බවයි මට හැඟිගියේ. මලක් උනේ ඇයි නුඹ මට, ජීවිතයට සුවඳ සලන, එනමුදු සිපගන්නට තහනම් විලක් වුණේ ඇයි නුඹ මට ජීවිතයට සිසිල ඉසින - දිය දෝතක් බොන්නට තහනම් සමන් අතාවුදහෙට්ටිගේ ජීවිතානුභූතිය තුළින් මතුකරනු ලැබු ප්‍රශ්නාවලිය, නදීක ගුරුගේ සහෘදයා විසින් අපගෙන්, ඉරිදා රාත්‍රියේ ප්‍රශ්න කරනු ලැබූ මොහොතේ, ඔහුගේ භාව හාව, අභිනය, දෑතෙහි දෑසෙහි වූ සජීවීත්වය, අපගේ ගායක පරපුරෙහි කිනම් නවීනයෙකුගෙන් හෝ ජ්‍යෙෂ්ඨයෙකුගෙන් මා මීට පෙර දැක තිබේද කියා මම තවමත් ප්‍රශ්න කරමින් සිටමි.

නලින්ද ජයතිස්ස සහෘදයා‍ හෝ දේශපාලන භූමිකාව , ඇසුරින් අමතනවා නම් සහෝදරයා ඉතා පරිස්සමින් තෝරා ගත් ගීත සඳහා කළ පසුබිම් අර්ථකථන, ඒවායේ මූලාශ්‍ර පිළිබඳ ගෙන ආ තොරතුරු නව පරපුරේ එකදු වෛද්‍යවරයෙකුගෙන් හෝ දේශපාලනඥයෙකුගෙන් හෝ අපේක්ෂා කිරීම, අප දකින සිහිනයක් නොවන්නේදැයි මම කල්පනා කරමි.

 වානේ පන්නරය ලැබු හැටි නවකතාව හෝ එහි හමුවන පාවෙල්ගේ චරිතය, ඔහුගේ පෙම්වතියගේ පෙම් පුවත, අප්‍රකාශිත ප්‍රේමය පිළිබඳ අන් කවර දේශපාලනඥයෙකුගේ මුවින් පිටවන අදහසක් අපට අසන්නට ලැබේද? නලින්ද ජයතිස්ස සහෘදයා විසින් තෝරාගත්, ගීතාවලිය හූයකින් ඇමිණුනු මුතු පෙළක් සේ එකිනෙක අපූරුවට බැඳී තිබුණා පමණක් නොව, ඉන් එකදු මුතු ඇටයක් හෝ ගිලිහුණේ නම්, සිහිනයකි රෑ සිහිනයකටම අප කැඳවාගෙන යනු ලබන රාත්‍රියක් වන්නට ඉඩ තිබිණ.

නලින්ද ජයතිස්ස සහෘදයා, සහෝදරයාගේ රසිකත්වය පිළිබඳ කුමට අටුවාටිකා ලියන්නද? ඔහු විසින් තෝරාගත් සෑම ගීයක් පිළිබඳවම, ඔහුගේ පෞද්ගලික වින්දනය සේම පොදු ශ්‍රාවකයන්, ප්‍රේක්ෂකයන් වෙත සමීප කළ යුතු වූ දැනුමින්ද සන්නද්ධව පැමිණ සිටි බවක්ය මට දැනුනේ. දවසක් පැල නැති හේනේ ගීතයේ අත්දැකීම මතුනොව, රන්බණ්ඩා සෙනෙවිරත්න ගේය පද රචකයා විසින් භාවිත භාෂා ව්‍යවහාරය පිළිබඳව වුව නලින්ද දැන සිටියේය.

හිටි පියවර යෙදුම, පායන තුරු හිටි පියවර හිටියා නුඹ අම්මේ, යන්න නුවර කලාපයේ ජනවහරින් ආභාසය ලද අවස්ථාවක් බව නලින්ද සිහිපත් කළේය. ඇසු පිරූ තැන් ඇති රසිකයෙකුට මිස, සාමාන්‍ය වෛද්‍යවරයෙකුට හෝ සිල්ලර දේශපාලනඥයෙකුට, දවසක් පැල නැති හේනේ ගීතයෙන් මතු කෙරෙන ජීවිතය පිළිබඳ, අඳුරු චිත්‍රය හෝ විමලරත්න කුමාරගම වැනි සැබෑ කවියෙකුගේ කාව්‍යමය අත්දැකීමක් පිළිබඳ හැඟීමක් අදහසක් පළකිරීම බොරුවක්ම වනු නියතය.

නදීකද නලින්ද සේම, ජනතාව සමඟ එකිනෙක ගැටෙමින් ජීවත්වන ඔවුනගේ හෘද ස්පන්දනය හඳුනන ගායක චරිතයකින් ඔබ්බට ගිය සමාජ ක්‍රියාකාරිකයෙකුගේ භූමිකාවටද හිමිකම් පානයුරු ඉඳහිට විරාමයක දී ඔහු පළකළ අදහසකින් අපි වටහා ගනිමු. නලින්ද නදීක සුසංයෝගය අපූරු සහෘද සුසංයෝගයක් වීමේ රහස් එය බව හැ‍ඟේ.

දවසක් පැල නැති හේනේ මවගේ අත්දැකීම සමඟ නලින්දට සද්ධර්මාලංකාරයේ කියැවෙන පටාචාරාගේ චරිතය සිහිපත් වේ. සැමියා වියෝ වූ පසු පටාචාරා දරුවන් තුරුලේ හොවාගෙන තම දරු සෙනෙහස පෑ අයුර නලින්ද ප්‍රේක්ෂකයන්ට සිහිපත් කළේ ඔවුනගේ කල්පනාවන්ට ඥානයක්ද එක් කරමිනි. බෞද්ධ සාහිත්‍යයේ පෙම්පුවත් මෙන්ම අපගේ ඉතිහාසයෙහි පෙම්පුරාවත්ද පාදකකොට ගත් ගීතාවලියේ යටිඅරුත් මෙන්ම පුරාවෘත්තද සිහිපත් කරමින් නලින්ද අපගේ මතක ලොව අවදි කළේය.

සාලිය මාලා පෙම් පුවත ගීයට නැඟු අජන්තා රණසිංහ, ගායනාවෙන් එක් වු ටී. එම්. ජයරත්න, සංගීතඥ කේමදාස ත්‍රිත්වයේ මහරු ඵලයක් වූ මේ අයුරින් අපි සංසාරේ ගීතමය අත්දැකීම නලින්දගේ අර්ථපූර්ණ විවරණයෙන්ද නදීකගේ භාවමය හඬින්ද අප සවනින් පිවිස හදවත සසල කළායුරු ඉරිදා රාත්‍රීයේ විඳි මිහිරෙහි අංශුවක් ලෙස හද තුළ රැඳී රිදවුම් දෙන්නේ යැයි සිතේ. අපරාජිත යැයි ඔබ පිදු ප්‍රේමය - පුදසුන මත පරවෙන්න ඇති සාගර ජලයත් මදි හැඬුවා මං ඔබ හින්දා ඔබ දන්නෙ නැති.

ගීතාවලියේ බහුතර ගායනා ගුණදාස කපුගේගේ වූවත් එහි කිසිදු එකාකාරීත්වයක් නොදැනීම නලින්දගේ ගී තෝරා ගැනීමෙහි සුවිශේෂත්වය ලෙස දකිමි. එකදු ගායිකාවකගේ හෝ ගීයක් නොවුනද උන්මාද සිතුවම්, කෝකිලයන්ගේ, ශාන්තිනි තෙමා වැටේ, සක්මන් කරන මළුව පාළුයි දේවී, සදා කාලික නොවු ලෝකයේ, විකසිත වත කමලේ, සබඳ අපි කඳු නොවෙමු වැනි අපගේ ගීත සාහිත්‍යයෙහි අගනා මිණිකැට වන් ගීතාවලියක , මුල් හිමිකරුවන් වූ, කපුගේ, ටී. එම්, සුනිල් සාන්ත, සුනිල් එදිරිසිංහ, සනත් නන්දසිරි, දිවුල්ගනේ , අමරසිරි ආදි වූ ගායන පෞරුෂයන්ට බිඳකුදු අසාධාරණයක් නොවනයුරින් ගායනයෙන් නව අරුත් මතුකොට, අප හදවත් ප්‍රීණනය කළා වූ නදීක සහෘදයාද අර්ථවත් දෙහෝරාවක හිමිකරුවෙකු වීම සිහිනයකි රෑ සිහිනයකින් ඔබ්බට අප කැඳවාගෙන ගිය රාත්‍රියක විරල, චමත්කාරජනක හැඟීමක මතකය වී හමාරය.

බුද්ධදාස ගලප්පත්ති

[email protected]

 


නව අදහස දක්වන්න