ආයුබෝවන් ශ්‍රී ලංකා | දිනමිණ

ආයුබෝවන් ශ්‍රී ලංකා

 

ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසී කතා නොකරන මිනිසුන්ට විසල් සුන්දර සිනාවක් තිබිණි. තමන් කතා බහ නොකරන්නේ ඔබට අකමැති නිසා නොව ඔබේ බස මා නොදන්නා නිසා යැ‍යි පිටරැටියාට අවබෝධ කරවනු පිණිස ශ්‍රී ලාංකිකයා මුව පුරා සිනාවක් සංග්‍රහ කළේ ය. කෙතරම් කරදර තිබුණත් සතුටින් සිටින මිනිසුන් පිරිසක් ලෙස සමහර විදේශිකයන් එය වරදවා වටහා ගැනීමක් කළත් එයින් සිදුවන්නේ හොඳක් මිස නරකක් නොවේ.

ඒ මා දකින විදිය ය. පිටරැටියා ශ්‍රී ලංකාවේ තැනක යමක් සිදු වන ආකාරය නොදන්නා විට ඔවුන් ප්‍රශ්න අසා ඒ ගැන පැහැදිලි කරවා ගැනීමට ගන්නා උත්සාහයට හේතුව තේරුම් ගැනීමට ශ්‍රී ලංකාවේ මිනිස්සු රුසියෝ ය. ආගන්තුක සත්කාරයට නමක් දිනා සිටින රට වැසියෝ පිට රැටියාගේ හිත සුව කරන්නට මුව පුරා සිනාවක් පිරිනමති. නමුත් කලක් පිටරටක ජීවත් වී පැමිණෙන ශ්‍රී ලාංකිකයාට, තමන් නැති අතරේ වෙනස් වූ රටේ තැනක වැඩක් කෙරෙන විදිය විමසීමේදි ඒ කාරුණික සිනාව ලබා නොදෙන්නේ ඇයි?

මා කටුනායක ගුවන්තොටුපොළෙන් ගොඩ බැස යමකට ගෙවීමක් කිරීමට මගේ බැංකු කාඩ් පත ලබා දුන් තැන සිට මේ දක්වාම වැඩක් කර ගැනීමට වඩා එය නොකර දීමට බොහෝ තැන්වල පිරිස් කැමැති බව මට තදින් දැනෙන්ට පටන් ගෙන ඇත. පොඩි මිනිහා පෙළන්නේ පොඩි මිනිහාම බව මට පෙනෙන්නට පටන් ගෙන ඇත. අාපදාවකදි කන්නට බත්, අඳින්නට රෙදි දෙන්නට ශ්‍රී ලංකාවේ මිනිසුන් පෙළ ගැසේ. නමුත් හොඳින් ඉන්නට හැකි වෙලාවට අනෙකාට වංචා කරන්නත් නීති ගරුක නොවීමත් අති සාමාන්‍ය ලෙස බාර ගැනීම සාමන්‍ය ගතියක් බව මට තේරුම් යන්නට පටන් ගෙන ඇත.

ගත වූ සති දෙක තුළ සිදු වූ බොහෝ දේ අතරින් කීපයක් ඔබ සහ බෙදා ගන්නට සිතුවෙමි. රටේ ඕනෑ තරම් දරුණු ප්‍රශ්න තිබෙන නිසා මේවා මොනවා දැයි අසන්නට පණ්ඩිතයන් පෙළ ගැසෙනු ඇත. නමුත් ඇත්ත වන්නේ යකුන්ගේ හැටියට විමානය තැනීම ය. පොදු මිනිහා තමන්ගේ නිදහස තමන් විසින් විනාශ කර ගන්නේ නම් පාලකයා ප්‍රයෝජන ගන්නේ ඒ වංචාසහගත පැවැත්ම නොවේද?

කටුනායක ගුවන් තොටුපොළේදි කාඩ් පතින් ගෙවීම කරද්දී එය වැඩ නොකරන්නේ යැයී කී නිලධාරිනිය මට මුදල් සොයා එන්නැයි කීවා ය. කාඩ් පතේ වැරැද්දක් නම් මුදල් ගන්නේ කොහොමදැයි ඇසූ විට ඈ ඊළඟ සංචාරකයාට කවුන්ටරය ළඟට එන්න කීවේ මට ආපසු යෑම ඇර වෙන විසඳුමක් නැති බව අඟවමින් ය. දිනපතා පාවිච්චි කරන කාඩ් පතේ වැරැද්දක් නැති බව කී මම ඔවුන්ගේ තාක්ෂණික දෝෂයක් නම් එවැනි අවස්ථාවක ඔවුන්ගේ විසඳුම කුමක් දැයි ඇසීය.

ඇය අහක බලා ගත්තා ය. මම කවුන්ටරය ළඟට වී ශබ්ද නඟා මගේ ප්‍රශ්නය ලෝකයට ප්‍රකාශ කරද්දී ඇතුළෙන් පිරිමි නිලදරුවෙක් පැමිණ කාඩ් පතෙන් මුදල් ලබා ගෙවීම කර දුන්නේ ය. ඉතා දිගු ගමනකින් හෙම්බත්වී පැමිණි මටත් දරුවන්ටත් එවැනි අපහසුවක්, හිත රිදවීමක් සිදු නොකර ඇයට මුලින්ම කළ යුතුව තිබුණේ තමන් නොදන්නේ නම් වෙන කෙනකුගෙන් උදවු ගැනීම නොවේද?

රුපියල් පනහක් පමණක් වැය වෙන ත්‍රීරෝද රථ ගමනක් වටෙන් පිටෙන් ගෙන ගොස් රුපියල් තුන්සීයක ගමනක් බවට පත් කරන්නෙ කෝට්ටෙ ගිය පරංගින් සේ මා රට අල්ලා ගනීවී යැයි බය නිසා විය නොහැක. කෑමක් බීමක් මිලදී ගන්නට ගොස් ප්‍රශ්නයක් ඇසූ විට මේ මොන කරදරයක් ද වාගේ නුරුස්සනා සැර ගතියකින් විස්තර නොකියන්නේ ඇයි යන්න මට තේරුම් ගත නොහැකි ය. එකිනෙකාගේ සුහදත්වය තුළින් ජීවිත කෙතරම් සාර්ථක කරගනු හැකිද? එලෙස සුහද නොවෙන්නට ඔවුන්ට කියා ඇත්තේ ඒ පළාතේ දේශපාලකයා විය නොහැකි ය. පාරිභෝගිකයා අසතුටු කිරීමෙන් වෙළෙඳසල් හිමියන් බලාපොරොත්තු වන්නේ කුමක්ද? එය ජීවන අරගලය විය නොහැකි ය.

අප සංවිධානය කරන එක්තරා උත්සවයක් සඳහා ස්ථානයක් වෙන් කරවා ගැනීමට ගිය විට ඒ කාර්යාලයේ වැඩ නිම කිරීමට පැයක පමණ කාලයක් තිබිණ. තැන් වෙන් කරන කටයුත්ත කරන තරුණ පිරිමි ළමයා බොහෝ උනන්දු වූයේ අප ආපසු හරවා යැවීමටයි. එදිනට සිදු විය හැකි බාධා ලැයිස්තුවක් ඔහු අත විය.

නමුත් අත්තිකාරම් මුදලක් ගන්නේද නැද්ද, ඒ කෙරෙන පිළිවෙළ ඔහුට සොයා ගන්නට නොහැකි විය. ඒ ස්ථානයේ වැඩ කෙරෙන පිළිවෙත, නීතිය අනුව කටයුතු කරන්නැයි කී විට එතැන සිටි වඩා ජ්‍යෙෂ්ඨ කෙනෙක් පැවසුවේ 'නීතියෙන් නම් වැඩේට යන ගාණෙන් 40% ක ඩිපොසිට් එකක් ගන්න ඕනේ. ඒත් ඉතින් ඔය පොඩි ගාන රෙෆන්ඩ් කරන්න චෙක් එකක් ලියන්න හරි කරදරයි' යනුවෙනි. ඔවුන් එම ස්ථානයේ පැවැත්මට කරන අලාබයේ තරම සොයා බලන්නට දැනුවත් කරන්නට කෙනෙක් නැති වීම පිළිබඳ මට ඇති වූ කෝපය අති මහත් ය.

සවස රාජකාරී වේලාවෙන් පසුව කෙරෙන මේ කටයුත්තට කම්කරුවන්/තාක්ෂණික ශිල්පීන් යොදවා ගැනීම අපගේ වැඩක් බවත් අප ඔවුන් සමඟ එය විසඳවා ගත යුතු ප්‍රශ්නයක් බවත් කී විට මගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගොස් තිබිණි. ඔවුන්ට අප විසින් දිය යුතු අල්ලස තැන වෙන්කිරීමට යන මුදලටත් වඩා වැඩි ය. මා සඳහන් කරන මේ ස්ථානයේ ක්‍රියා කලාපය සොයා බැලීමට වගකිවයුත්තන්ට වාර්තා කිරීමට මා බලාපොරොත්තු වන නිසා දැනට එහි නම සඳහන් නොකරමි.

නමුත් එවැනි සරල පහසුකම් සහිතව කලාකරුවන්ට, මිනිසුන්ට තමන්ගේ නිදහස භුක්ති විඳීමට වසර පුරා එක් තැන් විය හැකි අවකාශ ලෝකයේ හැම රටකටම නැති සම්පතකි. තමන්ගේ මිනිසුන්ට එවැනි ආත්මීය වර්ධන කටයුතුවලට උනන්දුව ඇති කරනු වෙනුවට ඔවුන් ගසා කෑමක් කරන්නේ මොන හිතකින්ද? ඒ ජීවන අරගලය විය නොහැකි ය.

එහි එම කටයුත්ත කර ගැනීමට හම සුදු පිටරැටියෙක් ගියේ නම් ඔහුට/ඇයට මල්මාලා පවා දමන්නට පෙළ ගැසෙන්න කෙනෙක් සිටින්නට ඉඩ ඇත. නමුත් ඉතා පැහැදිලි සිංහලෙන් නොදන්නා විස්තර අසද්දී නෑ, බෑ මිස වෙන යමක් කියන්නට ඔවුන් පැකිළීම පුදුමාකර ය. මා ඔවුන්ගෙන් ඉල්ලා සිටියේ එතැන නීතිගත ක්‍රමයට අනුව කාර්යය කර දෙන ලෙස පමණි.

පරම්පරා ගණනාවකට පෙර තමන්ගේ රටින් ගිය පවුලක කෙනෙක් අප්‍රිකාව බැලීමට ආ විට අප්‍රිකාවේ මිනිසුන් ගී ගයා කියන්නේ 'ඔබ ගෙදර ආවා' කියා ය. ලෝකයේ බොහෝ රටවල එවැනි ආදරණීය පිළිගැනීමක් කෙරෙයි. නොයෙකුත් කාරණා නිසා මිනිසුන්ගේ ජීවිත වෙන රටවල පදිංචියට රැගෙන යන්නේ ය. ඒ පුද්ගලික කැමැත්තකි. සමහර විටෙක බලහත්කාරකමකි. කුමන හේතුවක් නිසා හෝ ගිය නමුත් නැවත නැවත තමන්ගේ මුල් සොයා ආදරයෙන් එන අයට කුහක ලෙස සලකන තත්ත්වයට සමහර ශ්‍රී ලංකාවේ මිනිසුන් පත් වූයේ කෙසේ දැයි මට සිතා ගත නොහැකි ය. අපට ආදරය දෙන මිනිස්සු සිටිති. අනෙකාගේ හැසිරීම ඔවුන්ගේ ගුණ අඩු නොකරන්නේ ය.

හිමාලි එන්. ලියනගේ

[email protected] 

අදහස් 1ක් ඇත

හිමාලි, ඔබ කියන දේ සම්පුර්ණ ඇත්ත. අපේ රටේ රජයේ කාර්යාලවල පමණක් නොව, පුද්ගලික අංශයේත්, වෙළඳසැල් ආදී තැන් වලත් තත්වය බොහෝ විට මෙයයි. තැනක සේවය කරන අය ඔවුන් වෙතට සේවයක් ලබාගන්නට එන අය දෙස බලන්නේ කරදරකාරයන් පිරිසක් දෙස බලනවාක් මෙනි. හැමෝම උත්සාහ කරන්නේ තම තමන්ගේ අධිකාරිය, එවැන්නක් ඇතත් නැතත්, අනුන්ට ප්‍රදර්ශනය කරන්න සහ අනුන් අපහසුවට පත් කරන්න පාවිච්චි කරන්න. අපේ රටේ බොහෝ දෙනෙක් තමන් හමුවට සේවයක් ලබාගන්නට එන තමන්ගේම රටේ කෙනෙක් දිහා හරියට මුහුණ බලලා කතා කරන්නෙත් නැහැ. අහන ප්‍රශ්නයකට උත්තර දෙන්නේ අහක බලාගෙන ඕනෑවට එපාවට. ඔබ කියන පරිදිම බොහෝ දෙනෙක් උත්සාහ කරන්නේ කෙනෙකුගේ අවශ්‍යතාවක් ඉටුකර දෙන්නට නොව ඔහු/ඇය ආපසු හරවා යවන්නට. පොදුවේ ගත් කල සියලු දෙනාගේ ආකල්ප වල වෙනසක් අවශ්‍යයි.

නව අදහස දක්වන්න