අපේ රටේ නයගරාව | දිනමිණ


 

අපේ රටේ නයගරාව

ඉරෝ­ෂිණී දීපිකා

 

පුංචි එංගලන්තයේ සොඳුරු ඉසව් නරඹනු වස් නොතිත් ආසාවෙන් පෙළුණු අප රැගත් වාහනය, පාරේ වංගු කෙළින් කරමින් ඉදිරියටම ඇදුණි.

“අන්න සෙන්ට් ක්ලෙයාර් ඇල්ල.“

එකකු සතුටින් ඉපිල යමින් කෑ ගසන්නට විය. ක්ෂණයකින් තිරිංග තද විය. එකිනෙකා පෙළින් පෙළට බසිමින් දියඇල්ලේ සුන්දරත්වය විඳගනු පිණිස තම තමන්ට රිසි ස්ථාන කරා ඇදුණි.

“එන්න එන්න. ලාබෙට දෙනවා මේ රස අලිගැටපේර. ගන්න නෝනා, ගන්න මහත්තයා මේ රස අඹ“

බුලත්විට කා ගිනි මද්දහනේ දියඇල්ල අසල නැරැඹුම් ස්ථානය ඉදිරියේ මහමඟ සංචාරය කරන පදික වෙළෙඳුන් සහ වෙළෙන්දියන් කිහිප දෙනකුගේ කංකරච්චලයෙන් බේරී අපි නැරැඹුම් ස්ථානයේ තන්හි තන්හි සිට සොඳුරු දියඇලි කොමළියගේ සුන්දරත්වය වින්දෙමු.

ශාන්ත ක්ලෙයාර් දියඇල්ල නුවර එළිය දිස්ත්‍රික්කයට අයත් ය. ආසන්නම නගරය තලවාකැලේ ය. තලවාකැලේ නගරයෙන් බටහිරට වන්නට පිහිටි මෙය, කොත්මලේ ඔය ආශ්‍රයෙන් නිර්මාණය වී තිබේ. නුවරඑළිය - හැටන් මාර්ගයෙන් පැමිණෙනවා නම්, නුවරඑළියේ සිට කිලෝමීටර් 33ක් මඟ ගෙවා පැමිණිවිට මේ ඇල්ල නැරැඹිය හැකි ය. මෙරට දියඇලි අතරින් පළලින් වැඩි ම දියඇල්ල වන ශාන්ත ක්ලෙයාර් දියඇල්ල නැරැඹීම සඳහා කොළොම් පුරේ සිට පැමිණෙනවා නම්, තලවාකැලේ නගරයේ සිට කිලෝ මීටර් එකහමාරක් ගියවිට, 21 වැනි සැතැපුම් කණුව ආසන්නයේ දී මෙය දර්ශනය වේ. මුහුදු මට්ටමෙන් මීටර් 1076ක් උසින් පිහිටි මේ ඇල්ල , සුන්දරත්වයෙන් අනූන අපූරු දියඇලි කොමළියකි.

තට්ටු දෙකකින් යුතුව ගලාබසිමින් ද්විත්ව දියඇලි නිර්මාණය වීම මේ දියඇල්ලේ ඇති විශේෂත්වය වේ. ඒ අනුව එය මහා ශාන්ත ක්ලෙයාර් සහ කුඩා ශාන්ත ක්ලෙයාර් ලෙස හඳුනාගත හැකි ය. මහා ශාන්ත ක්ලෙයාර් ලෙස හැඳින්වෙන දියඇල්ලේ උස කොටස මීටර් 80කි. එහි පළල කොටස මීටර් 50කි. කුඩා ශාන්ත ක්ලෙයාර් ලෙස සැලකෙන දියඇලි කොටස මීටර් 50කි. එලෙස ඇදහැලෙන මේ දියඇල්ල පහළින් පිහිටි විශාල ජල තටාකයකට ඇදහැලේ. දුර සිට බලන විට, පඩි පෙළක් බැස එන අපූරු මනාලියක් සේ දිස්වන මේ ඇල්ල, මෙරට දියඇලි කොමළියන් අතරින් වෙනස්ම වූ පිහිටීමක් ඇති දියඇල්ලක් ලෙස දුටුවන් මන්මත් කරවයි.

ශාන්ත ක්ලෙයාර් දියඇල්ල, මෙරට පිහිටි පන්සිය ගණනක් වූ දියඇලි අතරින් විසි පස්වැනි ස්ථානය ගනී. එලෙසින් ම මෙය, ශ්‍රී ලංකාවේ පිහිටි සොඳුරුතම දියඇල්ල ලෙස ද සැලකේ. මෙරට ලස්සනම දියඇලි කොමළිය වන ශාන්ත ක්ලෙයාර්, ශ්‍රී ලංකාවේ පිහිටි නයගරා ඇල්ල ලෙස ද විරුදාවලි ලබයි.

සුන්දර නුවරඑළිය යනු තේ වගාව පිළිබඳ කතා කිරීමේදී පළමුවෙන් ම කියැවෙන නාමයකි. ශාන්ත ක්ලෙයාර් පිහිටි භූමියේ ද පෙර පැවැත ඇත්තේ තේ වගාවක් ය. එහෙත් පසුව එම වගාව අතහැර දැමීමෙන් පසුව මෙය මුඩුබිමක් වූ අතර, එම තේ වගාව පිහිටි ස්ථානයේ ප්‍රපාතාකාර භූමියක මේ දියඇල්ල නිර්මාණය වී තිබීම විශේෂත්වයකි. එම ප්‍රපාතාකාර බිම් පෙදෙස හෙක්ටයාර සිය ගණනක බෑවුම් ප්‍රදේශයකි.

මෙය, තලවාකැලේ - නුවරඑළිය මාර්ගයේ සිට මෙන් ම, ඉහළ කොත්මලේ ජල විදුලි ව්‍යාපෘතිය මඟින් ඉදිකර ඇති නැරැඹුම් ස්ථානයේ සිට නැරැඹීමට පුළුවන. එම නැරැඹුම් ස්ථානයේ සිට විවිධ මට්ටම්වලින් දියඇල්ල නැරැඹිය හැකි පරිදි තට්ටු කිහිපයකින් යුතුව නැරැඹුම් ස්ථාන තනා තිබීම නිසා, පරිසරහිතකාමී රසවතුන්ට සොබාදම් මෑනියන් විසින් ලැබදුන් මේ අපූර්ව නිර්මාණයේ සුන්දරත්වය මෙහි සිට නොමදව විඳගත හැකි ය.

නුවරඑළියේ අපූර්වත්වය විඳගැනීමට එහි ඇදෙන ඕනෑම කෙනකු බැලීමට අමතක නොකරන දියඇල්ලක් ලෙස ද මෙය හැඳින්වීමට පුළුවන.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ වෙසෙන ජීවීන් මේ පරිසරය තුළ ද වෙසෙන අතර, පුංචි එංගලන්තයට අසිරි කැන්දන අපූර්ව දියඇල්ලක් ලෙස ද මෙය හැඳින්විය හැකි ය.

ඉහළ කොත්මලේ ජල විදුලි ව්‍යාපෘතිය යටතේ බලපෑමට ලක්වූ දියඇලි හය අතරින් එකක් ලෙස ද මෙය හැඳින්වීමට පුළුවන. නෙක් ඉසව් කරා ගොස් මෙහි සුන්දරත්වය විඳ ගැනීමට සැරසෙන ඔබට, දියඇල්ල දර්ශනය වන දුර ඈත පෙදෙසට නුදුරින් ඇති නෙක් ඉසව්වල, දම් පැහැයෙන් බැබලෙන බෝගන්විලා මල් අතරින් මෙහි සිරි අසිරිය විඳ ගැනීමට හැකි ය.

විඩාවෙන් බරවූ අපගේ ගතටත්, සිතටත් අස්වැසිල්ලක් සැපයූ ඉන්දියන් සයුරේ මුතු ඇටය තුළ පිහිටි ශාන්ත ක්ලෙයාර් නමැති සොඳුරු නයගරා ඇල්ලෙන් අපගේ නෙත් ඉවතට ගත්තේ, ඔර්ලෝසුවේ තත්පර කටුවලට අවනත වීමට සිදුවූ බැවිනි.

 

ඡායාරූප-නුවන්ති සඳුනි ප්‍රභා

නව අදහස දක්වන්න