වසර විස්සකට පසු... | දිනමිණ


 

වසර විස්සකට පසු...

 දෙදහස් දහසයේ ජූලි තිස් වන සෙනසුරදා එක්තරා විශේෂ දිනයකි. කොළඹ විශාඛා විද්‍යාලයෙන් පිටවී වසර විස්සකට පසුව නැවත් මුණ ගැහෙන්නට නියමිත වූ දිනය වීමයි. අපි වසර විස්සකට පෙර සමු ගනිද්දී රැගෙන ගිය සෙනෙහස, මතක, අහිංසක ගැහැනු සිත්, අවංක මිතුරුකම් නැවත දොතින් ගෙන, නැවත ඒවා හුවමාරු කර ගැනීමට මුණ ගැසුණෙමු. කින්ග්ස්බරි හෝටලයේ දොරටුවෙන් යළි එක්වීමට ඇතුළු වූ ගැහැනුන්ගේ රූපය වෙනස් වී තිබුණත්; ඒ එන්නේ කවුදැයි සැණින් හඳුනා ගැනීමට නොහැකි වී මුත් අපි එකිනෙකා සිප වැළඳගෙන එකිනෙකා පිළිගත්තේ වසර විස්සකට පෙර පාසලෙන් නික්මෙද්දි අපේ තුරුණු සිත්වල අප රැගෙන ගිය ආදරයට මුහුණු හඳුනාගැනීමක් වුවමනා නැති නිසා විය යුතු ය.

පසු ගිය වසර විස්ස විසින් අපව නොයෙක් තැන රැගෙන ගොස් තිබිණි. සමහරු විවාහ වී අැත; දරුවන් ලබා ඇත. විවාහ නොවූ අය ඇත. දරුවන් නොලද අය ඇත. රෝගාතූර වූ අය ඇත. රෝග සුව කරන අය ඇත. රැකියාව දේව කාරිය බවට පත් වූ අයත් සියල්ලෙන් මිදුණු ගෘහණියන් වූ අයත් ඇත. එසේම අකලට මිය ගිය මිතුරියකගේ මතයකයන් පවා අප අතර විය.

අප ලෝකයේ කවර තැනක අද ජීවත් වුවත් විශාඛාව විසින් අපට දුන් නිහතමානී ගුණය, ලෝකයට කාරුණික වන්නට ලබා ගත් මඟ පෙන්වීම වැනි දේ සමඟම විශාඛාවේ කෙල්ලන් ලද මගඟු දායාදයක් වන්නේ අවංක අහිංසක සතුට වෙනුවෙන් ඇති කරගත් ඇල්ම වේ. ශ්‍රී ලංකාවේ ජනප්‍රිය සරල ගීයක සිට මහා සංකීර්ණ විවාදයක් දක්වා උනන්දුවක් ඇති මේ ගැහැනුන් පැරැණි බයිලාවක වචන කෑ ගසා කියමින් නැටුම් බිම වසඟ කරගැනීමට ද පැකිළෙන්නේ නැති විචිත්‍ර ගැහැනුන්ය.

මෙදා මේ හමුව සංවිධානයක කිරීමට මුල් වූ මිතුරියන් එදාත් පාසලේ වූ කටයුතුවලදී මුල් තැන ගෙන නියම නායකත්වය පෙන්වූ සංවිධාන ශක්තියක් ඇති අයයි. සංගීතය, රසවත් ආහාර, යහපත් මිතුරු සමාගම මැද ඒ ගෙවුණ සන්ධ්‍යාව මට කිසි දිනෙක අමතක නොවෙන එකක් වෙනවාට කිසිම සැකයක් නැත. පාසලේ ක්‍රීඩා උළෙලකදී, කලා උළෙලක ඔල්වරසන් දුන් ආකාරයටම අපි දැනුත් නිදහසේ ප්‍රීතී වීමු. එවැනි මතකයක් ම හදවතේ ගුළි කරගත්තෙමු.

මේ හමුවෙන් පසුව ගෙදර ගිය අප වත්සුණු සෝදා හැර, අභරණ ගලවා නැවැත අපගේ එදිනෙදා දිවියට ඇතුළු විය යුතු ය. සමහර විටෙක අප එදා රෑ ගෙදර ගොස් නිදන දරුවන් හිස අතගාන්නට ඇත. සැමියා සමඟ දොඩන්නට ඇත. තේ කෝප්පයක් සාදා ගන්නට ඇත. වියපත් මවුපියන්ගේ බෙහෙත් වේලක් හරිහැටි ලබා ගත්තා දැයි විමසන්නට ඇත. පෙම්වතෙක් සිපගන්නට ඇත. ඊළඟ සඳුදාට බාර දිය යුතු රාජකාරියක් වෙහෙස නොබලා නිමා කරන්නට ඇත. අප ගෙදර එනතුරු මඟ බලා සිටි කෙනකුට උත්සවයේ විස්තර කියන්නට ඇත. අපි විවිධාකාර ගැහැනු වෙමු. සුදු නිල ඇඳුම ඇඳ කොණ්ඩය කරලට ගොතා එකා වාගේ පාසල් බිමට ඇතුළු වී එයින් පිටවුණද අප තුළ නොයෙක් ලස්සන ඇත. අපි පසු ගිය වසර විස්ස තුළ ලෝකයෙන් විවිධ දේ ලබා ගෙන ලෝකයට විවිධ දේ ලබා දුන්නෙමු. හෙට උදෑසන අවදිව ලෝකය පවත්වාගෙන යෑමට අප විසින් කෙරෙන අපගේ යුතුකම ඉටුකරන්නට වගකීම් සහගත වීමට ගත හැකි සියලු උත්සාහයන් ගනු ඇත. එවැනි අය වීම පිණිස පසු ගිය වසර විස්ස අප වඩා ශක්තිමත් ගැහැනුන් බවට පත් කර ඇතැයි මට සිතේ.

“අහලා නැද්ද විශාඛියන්ස් බයිලා කියනවා වහල තියෙන පාළු ගෙවල් ඉබේ ඇරෙනවා“ කියා ගයන අපෙ නිදහස් කෙලිලොල් ගතියටත් ලෝකයේ සුන්දරම තැන දකින්න්ට ‘එන්න වජිර පාරේ‘ කියන අභිමානයටත්, පාසල් ගීතය ගයද්දි ‘අතිශ්‍රේෂ්ඨ ආදර්ශයක්‘ ලොවට දෙන, විශාඛාවක් සේ ගුණ ගරුක වන්නට සිතා ගන්නා අහිංසක ඒත් ශක්තිමත් ගැහැනුකමටත් අවංක වූ පිරිසක් මට වසර විස්සකට පසුවත් නැවැත මුණ ගැසුණි.

අප සමඟ එකතු වීමට මෙවර නොහැකි වුණ මිතුරියන් ගැන අප සෙනෙහසින් දොඩමළු වුණෙමු. සමහරුන් සොයා යන්නට සැලසුම් තනා ගත්තෙමු. අපට අප මඟ ඇරුණු වසර විස්සක අත්දැකීම් ගැන විස්තර හුවමාරු කරගත්තෙමු. අපි සතුටු වීමූ. වසර විස්සකට පසුවත් මට මුණ ගැහුණේ දරුවන් වැදීමෙන්, අනෙක් අය වෙනුවෙන් කැපවීමෙන් තමන් අමතක වීමෙන් සහ වෙනත් හේතූ නිසා සිරුරු වලින් අප වෙත වූ කෙල්ලන්ගේ සියුමැලි බව මැකී යන්නට පටන් ගන්නා වයයසකට අප එළඹී ඇතැයි බිය වන පිරිසක් නොවේ. ඒ වෙනුවට මට මුණ ගැසුණේ මේ වෙනස්වීම ජීවිතය ඉතිරි වසර විස්සකටත් ඉන් ඔබ්බටත් සැබෑ ගැහැනුන් ලෙස මුහුණ දීමට අපිරිමිත ශක්තියක්, නුවණක්, උවමනාවක් ඇති විශ්වයේ සුන්දරම විශාඛවන් පිරිසකි. මේ සටහන ඔබට සෙනෙහසිනි.

හිමාලි එන්. ලියනගේ

[email protected] 

අදහස් 1ක් ඇත

mema lipiya kiyawddai danuna sirura kilipola yana hagimaki. e thula siyalla katiwa atha. suyalyma deya katiwa atha mithuriya...vishakawakage panhida hasirawimath silyalu than hi sama sbibawa yana bawak penei. nawatha sillan senesasin walada ganna dinayak enathuru agili ganimi..

නව අදහස දක්වන්න