විනාඩි විස්සක් | දිනමිණ

විනාඩි විස්සක්

එය ගිම්හානයේ අතිශය උෂ්ණාධික දවසකි. උෂ්ණත්වය සෙල්සියස් අංශක 34 ද ඉක්මවා තිබූ හෙයින් මට අවශ්‍ය වූයේ හැකි ඉක්මනින් නාන බේසමේ බැස වයින් වීදුරුවක් විඳිමින් සිහිල් වීමට ය.

මම නො ඉවසිල්ලෙන් උදුනේ කාල මාපකය දෙස බැලීමි. ගතවී තිබුණේ මිනිත්තු කිහිපයක් පමණි. ඉඟුරු සහ ලෙමන් විස්කෝතු උදුනෙන් බෑම සඳහා තවත් විනාඩි විස්සකට ආසන්න කාලයක් ඉතිරි වී තිබුණි.

ඒ පිළිබඳ කොහොමත් ම විස්වාසයක් තිබුණේ නැත. ඩේන් උදුණේ මාපකය සෙල්ලම් ඇන්ජිමක කොටසක් යැයි සෙල්ලමට ගෙන අබිලි කර පැය විසි හතරක්වත් ගත වී තිබුණේ නැත. සැමියා විසින් එය යථා තත්ත්වයට පත් කළත් එය මගේ ප්‍රකෝපයෙන් පුතු මුවා කිරීම උදෙසා කළ යන්තම් ඇටවීමක් පමණක් ම බවට මා තුළ වූයේ ප්‍රබල සැකයකි.

වේලාව ගෙවෙන තෙක් මම මේසය පිසදමන්නට වූයෙමි. මේසය මත වැටී තිබූ කෝන්ෆ්ලේක්ස් කැබලි සහ සීනි කැට පිළිවෙළකට ඉවත් විය. මයිකල් , ඬේන් සහ මම සිනාසී සිටින ඡායාරූපයක ගෑවුණු සෝස් පැල්ලම්. සමාන්තර විශ්ව, පිටසක්වලයන් ආදී පිළිගත නොහැකි දේ පිරුණු මයිකල් මහත් අභිරුචියෙන් කියවන ඉපැ‍රැණි විද්‍යා ප්‍රබන්ධ සඟරාවක්. ඉන්පසු විසිතුරු කෝප්ප සහ සෙරමික් පිසදැමෙන වෙලාව. මේ මළ ඉලව් තෑගි වශයෙන් වරින්වර මට ගෙනවිත් දුන්නේ සැමියා විසිනි. කරදරේ.. දැන් ඒවායේ දූවිලි රැස් වෙත්දී පිහින්නට ඕනෑත් මමමයි.

මම යළිත් උදුනේ කාල මාපකය දෙස බැලීමි. විනාඩි විස්සයි. මෙතරම් වැඩ ප්‍රමාණයකයට පසුවත්. මේ උලව් කාල මාපකය කැඩී ඇත. එය යථා තත්ත්වයට පත් කළැයි තාත්තා සහ පුතා මට කර ඇත්තේ මහ බොරුවකි.

ඕන කෙහෙල්මලක් වෙච්චාවේ.. මම නාන බේසම වෙත යා යුතුය. උදුන කොහොමටත් නියමිත වේලාවෙන් පසුව ස්වයංක්‍රීයව අක්‍රීය වේ. බිස්කට් අනවශ්‍ය තරමේ දුඹුරුවක් ගන්නේ ඊට පසුවය. තාත්තා සහ පුතාට කරවුණු බිස්කට්. හොඳ වැඬේ.. අම්මාට බොරු කිව්වාට..

මුළුතැන්ගෙයින් පිටව යමින් මම රාක්කය මත වූ වයින් බෝතලය සහ කස්කුරුප්පුව අතට ගත්තෙමි.

එක්වරම දොරේ සීනුව නාද විය. ශාප කරන අපහාසාත්මක අකුරු හතරක් මුමුණා ගනිමින් මා දොර විවර කළේ පැමිණියේ කවුරුන් වුවත් නිවස තුළට පැමිනෙන්නෙක් නොවේවායි පතමිනි.

පුදුමයකි. විවර වූ දොර පිටුපස කිසිවෙකු වූයේ නැත. දොර සීනුව නාද වූ බව මට සහතික කළ හැකිව තිබුණි. මට විහිළුවක් කිරීමේ අරමුණින් දොර සීනුව නාද කර සැඟවීමට ඩේන්වත් නිවසේ සිටියේ නැත.

දොර සීනුව නාද කළ තැනැත්තා කවුරුන් වූවත් ඔහුට හෝ ඇයට තබා බළලෙකුටවත් සැඟවිය හැකි තැනක් අසලක තිබුණේත් නැත.

මම වේගයෙන් දොර වසා දැමීමි.

ඉනික්බිති සිහින් හඩක් නැගුණේ මුළුතැන්ගෙය දෙසිනි. අතෙහි වූ බෝතලය සහ වීදුරුව සාලයේ මේසය මත තබා මම මුළුතැන්ගෙයට එබුණෙමි.

දෙයියන්ට ඔප්පු වෙච්චාවේ ගෑනියෙක්. අමුම අමු නිර්වස්තරෙන්. මට කෑ ගැහුණේ නිරායාසයෙනි.

‘‘ඔහේ.. කවුද ඔහේ..? මොන උලව්වක් ද මගේ කුස්සියෙ කරන්නේ?’’

මට පිටුපා උදුන අසල සිටි බැවින් මෙතෙක් මට මුහුණ නොපෙන්නූ ගැහැනිය මා දෙසට හැරුණි.

දෙයියන්ට ඔප්පු වෙච්චාවේ..මේ මමමයි. අඩක් හිස් වයින් වීදුරුවකුත් අතැතිව. ඒ මදිවාට හෙලූවැල්ලෙන්.

ගැහැනිය..නෑ.. මම .. නෑ නෑ.. මම වගේ මොකක්දෝ දෙය සිනාසුණාය..

‘‘විනාඩි විස්ස ඉවරයි... ඕ ගෝඩ් ඩාලිං.. ඔච්චර පුදුමෙන් මා දිහා බලන්න එපා..’’

යම් අපරාධකාරී කුමන්ත්‍රණ ප්‍රයෝගයක් ඇතැයි මට එක්වරම සිතුණි. මේ මොකක් හො දෙය මේ සිදුවූ දෙය පිළිබඳ මා වාගේම පුදුමයෙන් නම් මේ සැකය අඩු වෙන්නටවත් තිබුණා. එහෙත් මේ ගැහැනියට වගේ වගක් නැතිවීම ම මදෑ..මම ඉදිරියට පැන සයිඩ්බෝඩය මත වූ පිහිය අතට ගතිමි.

ගැහැනිය කලබල වූවාය.

‘‘ ඕ.. පැත්තකට දාන්න පිහිය..මට පුළුවන් පැහැදිළි කරන්න.. ප්ලීස්..’’

එහෙත් මම පිහිය උරුක් කළෙමි.

‘‘ අත් උස්සනවා.. දැන් හෙමින් වාඩිවෙනවා..’’

ගැහැනිය මේසයේ අනෙක් කෙළවරේ වූ පුටුවක අගිස්සෙන් වාඩිවූවාය.

‘‘දැන් කියනවා කවුද ඔහේ?’’

‘‘ මම ඔයා.. මේරියන්’’

‘‘මොකක්?? මම මෙතන ඉන්නවා ඔහේ ඉස්සරහපිට හොඳ සිහියෙන්.. මම බීලත් නෑ.. බොන්න හිතූ පමණින් වෙරි වෙන්නෙත් නෑ..ඇත්තත කියනවා.. කවුද තමුසේ? හහ්.. වඩා හොඳ දේ පොලිසියට කියන එක වෙන්ඩ ඕන’’

‘‘ මම ඔයා මේරියන්.. විනාඩි විස්සක් ඔයාට වඩා කළින්..’’

‘‘මොකක්??’’

ගැහැනිය හිසේ අත තබාගත්තාය. ඒ පැහැදිළි කිරීමට අපහසු කරුණක් අරභයා මා දක්වන ඉරියව්වම දක්වමිනි.

‘‘අද උදේ වෙනද වෙලාවටම ඔයා නැගිට්ටා.. ඉන් පස්සේ පුරුදු විදිහට මිස්ටර් රස්කින්ව එළියට දැම්මා.. එයා අලුත්ම බුමුතුරුණු සූරලා තිබුණු නිසා ඔයා හිටියේ තරහින්.. ඉන් පස්සේ ඩේන්..එයා පහළට ආවට පස්සෙ..’’

‘‘ නවත්තනවා.. ’’ මම කෝපයෙන් පැවසීමි. ‘‘ඔහේ දවස පුරාම මගෙ ගැන ඔත්තු බැලූවා. ඊට පස්සේ මම වගේ වෙස්වලාගෙන ආවා.. ඔහේට පුළුවන් වෙච්චි දේ්වල් වාර්තා කරන්න.. ඒත් ඔහේට බෑ මම ඊළඟට කරන්න හිටපු දේ කියන්න.. මොකද තමුසේ මම නොවන නිසා...’’ මම ගැහැනිය දෙස ජයග්‍රාහීව බැලීමි. ඇය සිනාසුනා ය.

‘‘ ඕ.. ඔයා ලෑස්තිවෙලා හිටියේ විනාඩි විස්සකින් නාන බේසමට බහින්න..හරියටම මේ මම කළා වගේ.. ’’

‘‘මොකක්?’’

‘‘ ඉස්සෙල්ලා ඔයා මාව විස්වාස කරන්නම වෙනවා මේරියන්..’’ ඇය කීවාය. ‘‘ ඒක ලේසියෙන් සිදු නොවන බවත් මම දන්නවා.. මොකද මම ඔයා නිසා..ඇත්තම කතාව මම ඔබට කියන්නම්..ඒ වගේම මම මෙච්චර වෙලා කිව්ව හැම දෙයක්මත් ඇත්ත..’’

‘‘ ඒක එහෙම වෙන්ඩම ඕනෑ..’’ මම කීවෙමි. ‘‘ මොකද මට බොරු කීම පේන්න බෑ.. ඔහේ මම නම් ඔහේටත් ඒක එහෙම්ම වෙන්න ඕනෑ..’’

ගැහැනිය සිනාසුනාය.

‘‘ සත්තකින්ම..මේ අහන්න මේරියන්.. හැමදේම පැහැදිළි කරන්න ලේසි නෑ ...ඒත් බැරිවෙන එකක් නෑ.. අපේ ලෝක දෙක එකිනෙකක ඡායා පිටපත් වගේ සමානයි..මේ උදුන පවා..’’

මම පිහිය මේසය මත තැබුවෙමි. ඒත් හදිසියකට ගත හැකි දුරකින්..ඇය උදුන දෙසට අත දිගු කළා ය.

‘‘ මේක කාල යන්ත්‍රයක් මේරියන්.. ඒකත් මේ වගේම මේ ගෙදර ගනිත්දි ම තිබුණු දෙයක්.. . අත් වැරදීමකින් හරි මොකක් හරි දේකින් ක්‍රියාත්මක වෙනකම් ඒක සාමාන්‍ය උදුනක් විතරයි... අපි, ඒ කියන්නේ මම මයිකල් සහ ෙඩ්න්..ඔබ මේ සිටින පවුල වගේම පවුලක්..’’

‘‘ ඒ කියන්නේ සමාන්තර....’’ මම ඇසීමට පටන් ගත්තා පමණි.

‘‘ මම දන්නෙ නෑ මේරියන්.. මම ලේඛිකාවක් වුණත් කිසිදාක ඔවැනි දේ විස්වාස කළේ නෑ.. ඒ වගේම විද්‍යාත්මක සංකල්ප මට කවදාවත් සමීප වෙලත් නැහැ.. ඔබ ඒක දන්නව මේරියන්.. මොකද ඔබ මම නිසා..’’

මම හිස වැනීමි. ඔව් මට විද්‍යාව අප්‍රසන්නය. දෙවියන් වහන්සේව ප්‍රශ්න කිරීමට ලක් කරන පාපකාරී විෂයක් වීමම මදැයි.

‘‘ කොහොම නමුත්..අපි ඔබට වඩා විනාඩි විස්සක් ඉදිරියෙන් සිටි පිරිසක්. ඊයේ.. හරියටම මම ඔබේ මුළුතැන්ගෙයි මතුවූ වෙලාවට වඩා පැය විසි හතරකට කළින්, ඩේන් මුළුතැන්ගෙයි සෙල්ලම් කරමින් හිටියා. මම හිටියේ ඇපල් පුඩිමක් තම්බමින්..’’

මම මතක් කළෙමි.ඇපල් පුඩින්. ඊයේ හවස් වරුව විනාස කළ ඇපල් පුඩිම.

‘‘ ඩේන්ට වුවමණා වුණේ මම එයා එක්ක සෙල්ලම් කරන්නයි. මම පොරොන්දු වුණා..මම වැඩ අහවර කරනකම් එයා මුළුතැන්ගෙයි සෙල්ලම් දුම්රියක් එලවමින් සිටියා.

එයා උදුනේ ටයිමරය විනාඩි විස්සක් පසුපසට කැරකෙව්වේ ඒ වෙලාවේ...’’

‘‘ ඊට පස්සේ මයිකල් ගෙදර ආවා .. ඩේන්ව බැනුම්වලින් බේරගන්න එයා ටයිමරය යාන්තම් ඇටෙව්වා..’’ මම සුසුමක් හෙළීමි. ‘‘දත් දොස්තරලා මොනවද දන්නෙ මේ වගේ දේවල් ගැන ..’’

ඇයත් සුසුමක් හෙළුවාය.

‘‘හැමදේම කිසිම වෙනසක් නොවෙන්න තිබුණා, මගේ ලෝකේ ඒ සිදුවීමට හරියටම පැය විසි හතරක් සම්පූර්ණ වෙද්දි ඔයා ආයෙමත් උදුන ක්‍රියාත්මක කරලා ටයිමරය විනාඩි විස්සකට ළකුණු නොකරන්න..’’

‘‘ ඒ කියන්නේ මේ හැමදේම මගේ වැරැද්ද?’’ මම ඇසුවෙමි. (කුමණාකාර ව්‍යාකූල මොහොතක වුවත් අසාධාරණ චෝදනාවන්ට ලක් වීමට මම අකමැති වීමි.

‘‘ මේරියන්...’’ ඇය යළිත් සුසුමක් හෙළුවාය. ‘‘ මේක කාගෙවත් වැරැද්දක් නෙමෙයි.. අපේ ලෝක දෙක අතරෙ තියෙන්නේ විනාඩි විස්සක වෙනසක්. තව විනාඩි කිහිපයකින් ඔයාගේ ලෝකෙත් ඊයේ සිදුවීමට පැය විසි හතරක් සම්පූර්ණ වෙනවා. මගේ ඩේන් ටයිමරය ආපස්සට කැරකෙව්ව වෙලාවෙම ඔයාගෙ ඩේන් ටයිමරය කැරකෙව්වා..එ්ක එහෙම්පිටින්ම අහම්බයක්...’’

‘‘ මොහොතක් ඉන්න..’’ හදිසියේ ම මට යමක් මතක් විය. ‘‘ මගෙ ඩේන් ටයිමරය විනාඩි විස්සක් පිටිපස්සට කළේ නෑ..’’

‘‘ මොකක්?? එහෙම වෙන්නෙ කොහොමද? ’’ අනෙක් ලෝකයෙන් ආ මම නොවේ මම විමතිය පළ කළා ය.

‘‘ ඔව්.. ’’ මම ජයග්‍රාහී ලීලාවෙන් පැවසුවෙමි. ‘‘ නෑ නේන්නම්.. එයා කළේ ටයිමරය හිර කරපු එක.. ඉස්සරහටවත් පස්සටවත් කරකවන්න බැරි විදිහට. ඔයාගේ ඩේන් විනාඩි විස්සක් පිටිපස්සට ටයිමරය කැරකෙව්වා.. මගෙ කොල්ලා ඒ වෙලාවෙම මේ ලෝකෙ ඉඳන් ටයිමරය හිර කළා..’’

‘‘ ඕ ගෝඩ් ’’ඇය හිසේ අත ගසා ගත්තාය.

‘‘තේරෙන්නෙ නැත්ද? ඒක එහෙම නොවෙන්න අපේ ලෝක දෙකේ වෙලාව සමපාත වෙන්නෙ නෑ..’’

‘‘ දැන් ඊට පස්සෙ..?’’

‘‘මොනම ක්‍රමේකින් හරි ඔයාව ගෙදර යවන්න ඕන..’’මම කීවෙමි. ‘‘ඊට පස්සෙ මම මේ මඟුල් උදුන ගිනි තියල දානවා..’’ මම කීමි.

‘‘ ඒත් ඊට කලින්, ඔයා කොහොමද මේක තනියම තේරුම් ගත්තේ? ඔයා කියන්නේ ඔයා මට වඩා බුද්ධිමත් කියලද? ’’

ඇය ඇසුවාය.

‘‘ මේ.. ’’ මම මේසය මත වූ පැ‍රැණි සඟරාව පෙන්වූයෙමි.

එහි වූයේ සමාන්තර විශ්ව දෙකක් ගැන කතාවකි. විද්‍යා ප්‍රබන්ධ පිළිකෙව් කළ මට එහි වූ කතාව සැකෙවින් කියෙව්වේ මයිකල් විසිනි.

මේ අතදැකීම ඊට බොහෝ සමාන බව මට වැටහෙමින් තිබුණි.

‘‘ එකම කතාව.. ’’ මම කීවෙමි.

‘‘ මේක අපේ ගෙදරත් තිබුණා..’’ ඇය කීවාය. ‘‘මට මේ කතාව කියෙව්වෙ මයිකල් ’’ ඉනික්බිති ඇය ඇස් විශාල කරගෙන මා දෙස බලා සිටියාය.

‘‘ ඕ ගෝඩ්...මේ කතාව ඉවර නෑ..’’

‘‘මොකක්... ?’’ මම ඇසීමි.

‘‘ඔයා මුළු කතාවම ඇහුවෙ නෑ.. නේද?, ’’ ඇය ඇසුවාය.

‘‘නෑ.. මම ඒක අහන්න කැමති වුණේ නෑ.. සමහර විට එයා කියන්න ඇති.. එ්ත් මගෙ ඔළුවට ගියේ නෑ..’’ මම කීමි.

‘‘මේක ලූප් ස්ටෝරි එකක්..’’

‘‘ ඒ කියන්නෙ..??..

‘‘දෙවියනේ..මේ වෙත්දිත් තව කොහෙහරි ලෝකෙක ඩේන් කෙනක් ටයිමරයක් කරකවලා තියෙනවා.. ඔයාට තේරෙනවද ?’’ ඇය ජනේල පඩිය මත වූ ඔරලෝසුව දෙස බැලූවාය.

’’ තව තත්පර කිහිපයකින් මම ඇවිල්ලත් විනාඩි විස්සක් ඉවර වෙනවා. ’’

ඇය කීවාය.

මම තෝන්තු ස්වභාවයෙන් අසා සිටියෙමි. විනාඩි විස්සකට එහා ලෝකය සෑහෙන්නට යහපත්ව තිබූ බව මට මොනවට ඒත්තු ගියේ ය.

නැවතත් දොර සීනුව නද දුන්නේ ඒ මොහොතේය.

සඳිනි තෙන්නකෝන් 


නව අදහස දක්වන්න