චීනයේ අසිරියෙන් බිඳක් | දිනමිණ

චීනයේ අසිරියෙන් බිඳක්

 (පුෂ්පා රොවෙල් බීජිංහි සංචාරයකින් පසු)

චීනය සුපිරියි. භූමියෙන්, සංවර්ධනයෙන් නව තාක්ෂණයෙන් සැබෑවටම පොහොසත්. බැලූ බැලූ අතේ තට්ටු ගණන් අහස උසට. එහෙන් මෙහෙන් උඩින් යටින් දිවෙන දැවැන්ත පාරවල්. මංමාවත් අද්දර ගසින් කොළින් මලින් පිරුණු තණතිලි උයන් තීරු තීරු.

දැවැන්ත සම්මන්ත්‍රණයකට පසු චීන තානාපති කාර්යාලයෙන් ඇරියුමක් ලැබුණේ මේ බලසම්පන්න රාජ්‍යයේ සංස්කෘතිය, ඓතිහාසික උරුමයන් යම් තරමකින්වත් දැක බලා ගන්නට, ජීවන රටාව යම් තරමකින්වත් දැක බලා ගන්නට, ජීවන රටාව යම් තරමකින්වත් හඳුනා ගන්නට සුවිශේෂී ස්ථාන කීපයකට කැඳවා ගෙන යාමටයි. ඊට එලීන් වූ තරුණිය සහායට ලබාදුනි. ඇයට මා (දින දෙකකට) මිත්තණිය වූවාය. මට ඇය මිනිබිරිය වූවා ය. මේ ඇගේ හැඳින්වීමයි.

 චයිනා හවුස්පළමු සංචාරය කිලෝමීටර 300කට එහායින් පිහිටි චියැන්ජින් නගරයටයි. පැය භාගයක කාලයකින් අපි ඒ නගරයේ ය. ඒ ගමන විදුලි දුම්රියෙන් වූ නිසාය. චියැන්ජින් නගරයේ ප්‍රකටම ආකර්ෂණයක් වූ චයිනා හවුස් අපට හඳුන්වා දුන්නේ එය සැබෑවටම විස්මිත නිර්මාණයක් වූ නිසාම විය හැකිය. එය බුද්ධ වර්ෂ 700දී පමණ පැරැණි පෝසිලේන් කැබලිවලින් නිර්මිත වූවකි. 1902 වසරේදී ඉදි කර තිබූ මේ ‍ගොඩනැඟිල්ල චන් ලියැං zසු නමැති ගෘහනිර්මාණ ශිල්පියා 2002 වසරේදී වෙන්දේසියකදී යුආන් මිලියන 300කට මිලට ගෙන ඇත. 2011 වසරේදී මහජන ප්‍රදර්ශනයට මේ ගොඩනැඟිල්ල විවෘත වූයේ කෞතුකාගාරයක් වශයෙනි. ලියැං zසු ගෘහ නිර්මාණ ශිල්පියකු මෙන්ම කුසලතා පිරිපුන් කවියෙකි. කැනඩාවේ අධ්‍යාපන ලැබූ හේ සිය ගෘහ නිර්මාණ හැකියාව තමන් විසින්ම ගොඩනඟා ගත් අතර සැලසුම් කෙටුම්පතක් නොමැතිවම සිය ඉදිකිරීම් කටයුතු කිරීමේ හැකියාවෙන් ද පිරිපුන් ය. ආසියානු චිත්‍ර ශිල්පීය නිර්මාණවලින් මේ ගොඩනැගිල්ල ආකර්ශනීය කිරීමට ද ඔහු වගබලා ගත්තේ ය.

ගොඩනැඟිල්ල තට්ටු තුනකින් සමන්විත ය. පඩිපෙළේ අත්වාරුව පෝසිලේන් කැබලි අල්ලා නිර්මිතය. එක් එක් තට්ටුවේ විවිධාකාර නිර්මාණයන් ය. ඉහළම මාලයේ ටෝ නම් ආගමික වතාවත් සඳහා වෙන්වූ අංගෝපාංගයන්ගෙන් සැදුම්ලත් ය. ගොඩනැඟිල්ලේ ඉදිරිපස ඉහළම මාලය ඉදිරියේ මීටර් 760ක් දිග මකරකුගේ නිර්මාණයකි. චීනයට මකරා සම්පතකි. දේවත්වයෙන් වැනි පූජනීයත්වයකින් මේ සත්වයා ගරු බුහුමනට ලක්වෙයි. මේ නිර්මාණය දැනට ලොව දිගම මකර රූපය ලෙස ඉතිහාසයට එක්වෙයි. 2008 වසරේ බීජිං ඔලිම්පික් උළෙල වෙනුවෙන් ඉදිකෙරුණු සුවිශේෂී නිර්මාණයකි මේ. ගොඩනැගිල්ල ඉදිරියේ වසර 700 කට පෙර ඉදිකළ කුළුණකි. එය ඉදිරියේ විශාල චක්‍රයකි. එය ඉදිරියේ කාසි ඇතිරූ පියනකින් වැසුණු කැටයකි. එම චක්‍රය මගින් මේ කාසි චක්‍රීයකරණය වූ බව මාර්ගෝපදේශිකාව පවසයි. චීන විශ්වාසය වන නිරන්තරවම මුදල් සංසරණය වන බවත් මේ නිර්මාණයන්ගෙන් සංකේතවත් ය.

පසුදින සංචාරය ලොව විස්මිත නිර්මාණ හතට ඇතුළත් චීන මහා ප්‍රාකාරය වෙත විය. ඇත්තෙන්ම එය විශ්මයජනක නිර්මාණයකි. ලක්ෂ සංඛ්‍යාත මිනිස් ශ්‍රමයක් එයට දායකවීය යන්න ද පුදුමයක් නොවේ. ලෙයින් දහඩියෙන් මිනිස් ශ්‍රමයෙන් ඒ මහා පුදුමය ගොඩනැඟුණු ඉතිහාසය වරෙක ආඥාදායකය. වරෙක සංවේදීය. වරෙක මනඃකල්පිත වස්තු බීජයක් වටා ගෙතුනැයි සිතෙන තරම් ය. ඒ කෙසේ වුවත් ලොව පුදුම හතෙන් පළමු තැන ගන්නා ඒ නිර්මාණය සැබෑවක්මය. පාසල් අවදියේ පටන්ම මේ මහා ප්‍රාකාරය ගැන අසා සිතුවම්, ඡායාරූප දැක තිබුණත් එය පියවි ඇසින් දැක ගනිද්දී ඇතිවන හැඟීම් ද අපරිමිතය. ඉමක් නොපෙනෙන දෑතක් වෙත දිවයන සිහින් තීරුවක් ලෙස සිතින් නිර්ණය කර තිබුණ ද එය සැබවින්ම නම් ඉතා පළල් පියගැටපෙළ මතින් කඳු වලලු සිසාරා මුර කුටි 23ක් පසු කර යායුතු දැවැන්ත මං පෙතකි. චීන මහා ප්‍රාකාර ආරම්භක දොටුව වෙත යා යුත්තේ ද එක් කඳුවැටියක සිට ඊට ඉහළින් පිහිටි කඳුගැටයක් වෙත කේබල් රියක ආධාරයෙනි. එතැන් සිට කිලෝමීටර් 6600ක් දිගින් යුතු මහා ප්‍රාකාරය කුටි 23 පසුකර කේන්ද්‍රස්ථානය වෙත ගමන් කළ යුතුය. ජවසම්පන්න තරුණ පරපුරට ද මේ කුටි 22 සිට පසුකර යාම ඉතා අපහසුය යන්න ඒ අත්දැකීම ලද අය පවසන බව කියැවේ.

එහෙත් මේ ප්‍රාකාරය තරණය හෝ යම්තාක් දුරකට හෝ ආවරණය කරන තැනැත්තා වීරවරයකුගේ තත්ත්වයට පත්වන බව චීනයේ විශ්වාසයයි. චීන මහා ප්‍රාකාරය වෙත නොගිය පුද්ගලයා සැබෑ චීන ජාතිකයකු නොවන බව ද ඔවුන්ගේ විශ්වාසයයි. මාද එම වීරත්වයේ පාමුල වෙත ගමන්ගත් වග මගේ ආගන්තුක මිනිබිරියගේ හඳුන්වාදීමයි.

මේ මහා ප්‍රාකාරය ඉදිකිරීම ඇරඹුවේ කවරදාකදැයි කිවහැකි නිශ්චිත සාධක නොමැත. මෙයට වසර දහසකට පෙර බු. ව. 221දී ඇරඹුවක් බවට මතයක් ඇත. එහෙත් එවක පටන් දාහත් වන සියවස දක්වා 1 වැනි අධිරාජ්‍යයා පටන් රාජ වංශයෙන් රාජ වංශයට ගොඩනැගෙමින්, වෙනස් වෙමින් දීර්ඝ වෙමින් තිබූ මේ ප්‍රාකාරය බී‍ජිං හි මුටියාන් යු ප්‍රාන්තයේ සිට දැකබලා ගත හැකි වන්නේ තුන්වන පියවර ඉදිකිරීම වශයෙනි. ඒ මිං රාජවංශ සමයේ ය. මැට්ටෙන්, ගඩොලින්, ගල්වලින් හා ලීවලින් තැනූ මෙය තනි ප්‍රාකාරයක් නොව අදියරෙන් අදියර ඉදිවූ ප්‍රාකාර රැසක එකමුතුවකි.

මේ ප්‍රාකාරය ඉදිකිරීම් ඇරැඹෙන්නේ කුයින් රාජ වංශයේ කුයින් ෂි හුවාන්ග් අධිරාජ්‍යයාගේ සමයේ බව කියවේ. ඔහු සියලු ප්‍රාන්ත රාජ්‍යයන් අල්ලාගෙන චීනය එක්සේසත් කළේය. මේ ප්‍රාන්ත රාජ්‍යයන් වටා තිබූ ප්‍රාකාරයන් ඉවත්කොට මේ සියල්ල එකතු කරමින් මේ මහා ප්‍රාකාරය තැනවීම ඇරැඹිණි. ඒ අනුව ප්‍රාන්ත රාජ්‍යයන් 13ක් ආවරණය කරමින් මේ මහා ප්‍රාකාරය ඉදිකර ඇත. නැඟෙනහිර සිට බටහිරට දිවෙන මේ ප්‍රාකාරයෙන් රැකවරණ දෙනු ලැබුවේ මොන්ගෝලියා, ටිබෙට්, රැසියා ආක්‍රමණිකයන්ට එරෙහිවයි. සතුරු ආක්‍රමණ එල්ලවන බව ගිනි පන්දම්, දුම් රොටු මගින් දැනුම් දීමේ ක්‍රමවේදය මේ ප්‍රාකාරය රැකි අය භාවිතා කළහ.

චීන මහා ප්‍රාකාරය ඉදිවූයේ ආරක්ෂක භටයන්, සිරකරුවන් සහ සවිමත් සිවිල් වැසියන්ගේ ශ්‍රමයෙනි. ඔව්හු ගලින් ගල ඔසවාගෙන මේ කඳු ශිඛර තරණය කළහ. දෙපස වනාන්තරයේ ඇති එක්තරා විශේෂිත රුක්ෂයක ලී පතුරු කෝටු කැබලි එක්රැස් කොට සිය කරමතින් ගෙන ගියහ. ශක්තිසම්පන්නයේ මේ මහා කාර්යයට කැඳවා ගැණිනි. මේ විස්මිත ප්‍රාකාරය ‍ගොඩනැගීමේදී සැඟවී ගිය විවිධාකාර කතාන්දරයන්ගෙන් එක් කතාවක් ඔබේ හිතද සසල කරනු ඇත.

එක්තරා තරුණ යුවලකගේ මංගල දිනය නිම කරන්නට ඔවුනට ඉඩක් නොලැබිණි. ශක්තිසම්පන්න මනාලයා එදිනම මේ මහා ප්‍රාකාරය ඉදිකිරීම සඳහා කැඳවා ගැණිනි. වසර දෙකක්ම ගත විය. බිරිය තවමත් ඔහු අපේක්ෂාවෙනි. ඒ ශීත සමය එළැඹෙන කාලයයි. දැන්නම් සිය සැමියාට ශීතල ඔරොත්තු නොදෙතැයි ඇය උපකල්පනය කළාය. මාසයක් පුරා ඇය කබායක් සිය ඇඟිලි තුඩින් මසා නිම කළාය. එයත් රැගෙන අද කඳු වළල්ල වෙත පිය නැඟුවාය. දුෂ්කර ගමනකින් පසු ඇය ආරක්ෂක මුර කුටි වෙත පැමිණියේ දහසකුත් අපේක්ෂාවන් සමඟිනි. ඔවුන් හමුවේ කළ විමසීමේදී ඇයට අසන්නට ලැබුණේ වසරකට පෙර ඔහු මියගිය වගයි. වේදනාව ඉහ වහා ගිය ඇගේ දෙනෙතින් වැගුරුනු කඳුලු ප්‍රාකාරයේ මීටර ගණනාවක් තෙත් කළ බව කියැවුනු ඒ කතාව මා හමුවේ තැබුවේ එලීන් යූ තරුණියයි. කවර කතා මේ ප්‍රාකාරය තුළ සැඟවී තිබුණ ද එය නම් දැවැන්ත මිනිස් අතකින් නිමවීදැයි සිතෙන අපූරු නිර්මාණයකි.

ශ්‍රී ලංකාව බලා පැමිණීමට නියමිතව සිටි දිනයේ මුලින්ම දැකබලා ගන්නට ගියේ චීනයේ තහනම් නගරයයි. (Forbidden City) චීන අධිරාජ්‍යයාගේ අවසන් රාජධානිය වූ ඒ නගරය බීජිං අගනගරය වන තුරුම ක්‍රියාත්මක විය. අධිරාජ්‍යයාගේ මන්දිරය අධිරාජ්‍ය බිසව, සෙසු බිසෝවරු වෙනුවෙන් ඉදිකළ මන්දිරවලින් සමන්විත එක් පීඨිකාවක්, පරිපාලන, හමුදා ඒකකයන්ට වෙන්වූ තවත් පීඨිකාවක්, අධිරාජයාගේ විවේක සුවය වෙනුවෙන් වෙන්වූ උද්‍යානයක් මේ නගරයේ විය. ආරක්ෂක වළල්ලක් ලෙස මේ නගරය වටා දිවෙන මහා ගංගාවකි. මේ ගොඩනැගිලි කිසිවක් ඇණ යොදා සවිමත් කර නොතිබීම අනෙක් විශේෂාංගයයි.

එකමුතුව සංකේතවත් කරන වර්ණය රතුපාට බව චීන විශ්වාසයයි. ඒ නිසාම මේ මැඳුරු රත්පැහැ ගැණිනි. ඔවුනගේ පූජනීය සංකේතය මකරාගෙන් අධිරාජ්‍ය මැඳුර ඉහළ මාලයේ වහළ තීරය අලංකාරවත් විය. සිංහ රූපයට ද ඔවුන් තුළ ඇත්තේ ගාම්භීර සැලකුමකි. මන්දිර අභියස දොරටු මුරකරු බඳු වූයේ මේ සිංහ රූපයයි. කහ පාටද අධිරාජ්‍යයා වෙනුවෙන් වෙන්වූ වර්ණයකි.

මන්දිර ඉදිරිපිට විශාල එළිමහන් පිටියකි. මෙය යොදා ගෙන තිබුණේ අධිරාජ්‍යයාගේ නීතියට අධිරාජ්‍යයේ නීතියට එරෙහි වන්නන්ට දඬුවම් දීම සඳහාමය. වරදට දඬුවම් හිමිවන ක්‍රම කීපයකි. එකක් වූයේ වරද පිළිගෙන තමාම කස පහර ගසා ගැනීමයි. අනෙක් දඬුවම බරපතළ සමාව දිය නොහැකි වරද වෙනුවෙන් වූවකි. දෙඅත් දෙපා කපා දමා මේ වරදකරුවෝ මිය යන්නට ඉඩ හැරිණි.

අධිරාජ්‍යයාට ආවතේවකම් හැරිහැටි ඉටු කිරීමට අපොහොසත් වන බිසවක වෙනත් මැදුරක් වෙත යවනු ලබයි. අධිරාජ්‍යයාගේ කාර්ය මණ්ඩලය හඳුනා ගන්නා මේ බිසවට අනතුරුව හිමිවන්නේ පහළම මට්ටමේ සේවකයකුටත් අඩු සැලකුමකි. එසේම අධිරාජ්‍යයාගේ සිත්ගන්නා අධිරාජනිය ආසන්නම මැදුරේ සැලකුම් රැසකට හිමිකම් කියන්නීය.

රාජධානි‍යක් එසේත් නොමැතිනම් අග නගරයක් ලෙස බැහැරවූ මේ තහනම් නගරය ද දෙස් විදෙස් සංචාරක ස්ථානයකි.

ගිම්හාන නිවහන (Summer House) ද චීනයේ තවත් එක් ප්‍රකට ආකර්ශනීය සංචාරක ස්ථානයකි.

ගංගාවක් මැද අපූරු පාලමකින් යා වෙන මේ නිවහන අතිශයින් සුන්දර තැනකි. එහෙත් එදින එහි සුන්දරත්වය මැනවින් සංචාරක නෙතට යොමු නොවුනේ මීදුම් සහිත දිනයක් වූ නිසාය. සංචාරකයනට මකර බෝට්ටුවකින් ගඟ වටා ගොස් ඒ නිවහනේ පිටත ආකර්ෂණයෙන් පමණක් සෑහීමට පත් වන්නට සිදුවිය. ඒ නිවහන ඉස්මත්තේ බුදු මැදුරකි. චීනයේ අධිරාජ්‍යයකුටත් වඩා බලසම්පන්න ‘ග්‍රේට් ලේඩි සිසි’ නමින් හඳුන්වන සිසි අධිරාජිනිය සිය බොදු වත්පිළිවෙත් ඉටු කළේ මේ ස්ථානයේදී බව ඉතිහාසය කියයි.

මේ සටහන ගෙන හැරපෑවේ දැවැන්ත චීන රාජ්‍යයේ ඉතිහාසය කියා පෑ පෞරාණික ස්ථානයන් අතුරින් අංශුවකි. මේ සීමිත අවස්ථාවන් ප්‍රදර්ශනය කරන්නේ චීන ජාතිකයන්ගේ සියුම් එහෙත් දැඩි නිර්මාණශීලීත්වයයි. ශ්‍රමය වැය කිරීම ඔවුනට එතරම් දෙයක් නොවන බවයි.

නව අදහස දක්වන්න