සධාතුක කරඬුව වඩම්මන නැදුන්ගමුවේ රාජා | දිනමිණ

සධාතුක කරඬුව වඩම්මන නැදුන්ගමුවේ රාජා

අසේල කුරුළුවංශ

* වෙද හිමි නමකට තෑග්ගකට ලැබුණා

* නැවෙන් ආවාට පසු වාහනයකින් ගිහින් නැහැ

* නාන්නේ බවුසරයෙන්

* වතුර බවුසර් 10ක් පිනට

රාජා පෙරහරට යන අතරතුර එක් රැයක් හෝ යම් ස්ථානයක රැඳීසිටී නම් එය ඇත්තෙන්ම එම පුද්ගලයා ලබන භාග්‍යයක් සේ සලකති. මේ නිසාම රාජාට ප්‍රණීත අහාර පාන සියල්ල මෙම ගමනේදී පූජාවන් ලෙස ලැබේ. බොහෝ පලතුරු රාජාට අගුණය. පලතුරු කෑවිට රාජාට උදරයාබාධ වැළදෙන බව රාජාගේ හොඳම මිතුරා වන විල්සන් කොඩිතුවක්කු පවසයි. අවුරුදු 15 සිට අලිබලන කොඩිතුවක්කු රාජා බලන්නට ගෙන දැන් අවුරුදු 15 කට ආසන්නය. රාජා සමඟ ගතවූ කාලය තුළ විල්සන් ඇවිද ඇති දුර කිලෝ මීටර 50000කට වැඩි ය.

ශ්‍රී දළදා සමිඳුන් උදෙසා ජූජෝපහාරයක් ලෙසින් වාර්ෂිකව පවත්වන මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ සාධාතුක කරඬුව වැඩමකිරීමේ භාග්‍යය හිමිවන්නේ පෙරපින් ඇති මංගල හස්තිරාජයකුටම පමණකැයි යන විශ්වාසයක් බෞද්ධ ජනතාව අතර පවතී. මිනිසුන්ගෙන් පවා වැඳුම් පිදුම් ලබන්නට තරම් සධාතුක කරඬුව වැඩමවන හස්තිරාජයා භාග්‍යයවන්ත බැවිනි. එවන්වූ භාග්‍යවන්තකමකට හිමිකම් කියන්නාවූ නඳුන්ගමුවේ රාජා ශ්‍රී දළදා පෙරහරේ සධාතුක කරඬුව එකොළොස්වන වරටත් වැඩමවීම පිණිස ගම්පහ ‍වැලිවේරියේ සිට මහනුවරට පැමිණියේ කිලෝමීටර 90 ක පමණ දුරක් පා ගමනින් ගෙවාදමමිනි.

බුදුන් උපන් දේශයේ උපත ලද රාජා වසර 60 කට පමණ ඉහතදී මෙරටට නැව් මගින් පැමිණ ඇත්තේ වසර පහක් තරම්වූ කුඩා ඇත් පැටවකු ලෙසිනි. නැඳුන්ගමුවේ රාජා සමඟ ඉන්දියාවේ සිට පැමිණ එකම දින ලක්දිවට ගොඩබට නවම්රාජා දැන් මෙළොව හැරගොසිනි. ලොවපුරා වෙසෙන බෞද්ධයින් ජීවමාන බුදුන් ලෙස සලකා වැඳුම් පිදුම් කරන වාම ශ්‍රී දංෂ්ඨා ධාතූන් වහන්සේ උදෙසා පූජෝපහාරයක් ලෙස පවත්වන මහනුවර ඇසළ මංගල්‍යයේ සධාතුක කරඬුව වැඩමවීමට බුදුන් උපන් දේශයේ සිට පැමිණි රාජාට අවස්ථාව හිමිවීම බෞද්ධයින් විශ්වාස කරන්නාවූ පව්පින් දෙක මතම තීරණය වූවක් වැන්න.

මහනුවර ඇසළ පෙරහරට නැදුන්ගමුවේ රාජා මුලින්ම සම්බන්ධ වන්නේ වසර 2005 දීය. ඒ වත්මන් දියවඩන නිළමේ ප්‍රදීල් නිලංග දෑල මහතා එම ධූරයට පත්වීමෙන් පසු කරන ලද විශේෂ ඉල්ලීමකට අනුවය. එතෙක් කිසිදු දිනක මහනුවර පෙරහරට පැමිණ නොතිබුණු රාජාට 2005 වසරේදී කිලෝමීටර 90 ක් දුරක් ගෙවා මහනුවරට පැමිණියත් දළදා පෙරහරේ සධාතුක කරඬුව වැඩමවීමේ භාග්‍යය අහිමිවිය. එවර රාජාට සිදුවූයේ එම අවස්ථාව ඉන්දිරාජාටත් කතරගම වාසනාටත්,මිල්ලන්ගොඩ ඇතාටත් බාරදී පෙරහරේ පෙරමුණේ ගමන්කරන්නටය.

“මහනුවර දළදා පෙරහැරේ කරඬුව වැඩමකරවූ දළදා මාලිගාවේ රාජා මියගියාට පස්සේ එකදිගට කරඬුව වැඩමවන්න හොඳ ඇතෙක් හිටියේ නැහැ. රාජා වසර පනහක් විතරම ඒ වැඩේ හොඳට කළා. අපේ නඳුන්ගමුවේ රාජා දැනට ලංකාවේ ඉන්න උසම දළ ඇතා. එයාගේ ඇඟපත අනෙක් අලින්ට වඩා ලොකුයි. මාලිගාවේ කරඬුව වැඩමවන ඇතාගේ පිටේ රන්සිවිගෙය තියන්න කලින් හම්වලින් හදපු අඟල් පහක් විතර පළල පටි බඩවටේට දානවා. මාලිගාවේ තිබ්බේ මැරුණු රාජාට දාපු පටි. අපේ ඇතාගේ ඇඟ මහත නිසා ඒපටි එයාට හරිගියේ නැහැ. පෙරහර පටන්ගෙන නිසා අලුතින් පටි හදවන්න කාලයක් තිබ්බෙත් නැහැ. ඒනිසා පළවෙනි පාර අපේ ඇතාට කරඬුව වැඩමකරන්නේ නැතුව පෙරමුණේ යන්න වුණා. පස්සේ අවුරුද්දේ අලුතින්ම ඒ බඳපටි හැදෙව්වා....” නැඳුන්ගමුවේ රාජාගේ හිමිකරු වෛද්‍යාචාර්ය හර්ෂ ධර්මවිජය මහතා ඇතුගේ පළමු පෙරහර ගමන පිළිබඳව එසේ සිහිපත් කළේය.

පළමුවතාවේ සධාතුක කරඬුව වැඩම කිරීමේ භාග්‍යය අහිමිවුවද රාජා ඉන් පසු ගෙවුණු වසර දහය තුළ මහනුවර ඇසළ පෙරහරේ අවසන් රන්දෝලි මහ පෙරහරේ අඛන්ඩව කරඬුව වැඩම කළේය. වයස අවුරුදු 65 ක් වුවද තවමත් ජවසම්පන්නව පෙරහරට එක්වන රාජා කිසිදු දිනක ලොරියකින් ගමන්ගෙන නැත. වාහනයක කියා ගියේනම් ඒ පනහ දශකයේ මැදභාගයේ ඉන්දියාවේ සිට මෙරටට නැවෙන් පැමිණි ගමන පමණි. රාජාගේ උපන්බිම ඉන්දියාවේ මයිසූර් ප්‍රාන්තයයි. ඉන්දියාවේ සිටි පැමිණ පහතරට සිට උඩරට පැවැත්වෙන මහා කලා මංගල්‍යයට අද පැමිණෙන රාජා වසර 2005 පෙර වරකාපොළින් එහාට පාතියා නොතිබිණි.

“ඉන්දියාවේ මයිසූර් ප්‍රාන්තයේ මහරාජාගේ ඥාතියකුට හැදිලා තිබ්බ දරුණු මානසික රෝගයක් නිලම්මහර වෙදපරපුරේ පිළියන්දල වෙද හාමුදුරුවෝ හොඳ කරලා තිබෙනවා. ඒකට සතුටු වෙලා මහරාජා හාමුදුරුවනට එහෙට වඩින්න ආරාධනා කරලා. එහෙට වැඩියට පස්සේ මහරාජා කියලා තිබෙනවා හාමුදුරුවන්ට කැමැති ඕන දෙයක් ඉල්ලන්න මම දෙන්නම් කියලා. හාමුදුරුවෝ ඇත් පැටව් දෙ‍න්නෙක් ඉල්ලලා. ඒ අනුව මහරාජාගේ ඇත්ගාලෙන් වයස අවුරුදු 05 ක් පමණ වෙන ඇත් පැටව් දෙන්නෙක් පූජා කරලා. මේ රාජාත් එක්ක එදා නැවෙන් ගෙනාපු අනිත් ඇත් පැටියා තමයි නවම්රාජා. ගංගා රාමයේ සිටි නවම්රාජා මේ මෑතක මියගියා...” ධර්මවිජය මහතා පවසයි.

“හාමුදුරුවෝ ළඟ අවුරුදු 15 ක් විතර හිටිය ඇත්පැටව් දෙන්නා බලා කියා ගන්න කරදර නිසා පස්සේ උන්වහන්සේ එක් පැටියෙක් ඇඹිලිපිටියටත් අනෙක් පැටියා හොරණ උඩුව පැත්තේ වලව්වකටත් විකුණලා තිබෙනවා. අපේ තාත්තා මේ රාජාව 1978 හොරණ වලව්වෙන් අරන් තිබෙන්නේ රුපියල් 75000.00කට. ප්‍රදීප් නිලංග දෑළ මහතා ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ තනතුරට පත්වුණාට පස්සේ මුල් වතාවට අපිට පෙරහැරට සම්බන්ධ වෙන්න ආරාධනා කළා. ඒ අනුව ගම්පහ ඉඳලා දවස් හයක ගමනකින් පස්සේ තමයි රාජා නුවරට ළගාවන්නේ... 2005 පළවෙනි පෙරහරට මමත් තාත්තා එක්ක ඇතා අරන් ගියා. දළදා මාලිගාවේ ප්‍රධාන වාහල්කඩින් ඇතුළට යන්න ඇතා කැමැති වුණේම නැහැ. පුරුදු නැති නිසා එයාට ටිකක් බය වගේ ඇතිවුණා. පස්සේ දළදා වහන්සේට බාර කරලා අටපිරිකරක් පූජා කළා. ඒ කරලා හා යං කිව්වම ගියා. මගේ තාත්තා වෛද්‍ය ශිරෝමනී පණ්ඩිත පී. ඩී. පී. ධර්මවිජය. තාත්තා ඊට පස්සේ අවුරුද්දේ මියගියා. පෙරහැරට එන්න කලින් අපි පිරිත් කියලා ආශීර්වාද කරලා කැවුම් කිරිබත් කවලා හොඳ වෙලාවකට තමයි රාජා පාරට ගන්නේ. නුවරට යන ගමනේදී පහුගිය අවුරුදු 11 තිස්සෙම රාජා රැය ගතකරන්නේ එකම තැන් හතරකයි. දැන් පාරවල් උස්කරලා බෝක්කු දාලා හදලා තියෙන නිසා ඇළමාර්ගවලට බහින්න අමාරුයි. මගදී රාජා නාවන්න ක්‍රමයක් නැති නිසා මම හැමදාම ලොරියක් පිටත් කරනවා වතුර පොම්ප එහෙම දාලා. ඇළකට පොම්පේ දාලා ඒකෙන් වතුර අරන් අලියා නාවන්න ඕන. ගනේතැන්න මල්වතු විහාරයේ ඇතා දවසක්ම ගිමන් ඇරලා එතනින් නාලා එහෙම තමයි නුවරට එන්න පිටත්වුණේ. ඇතා ලොරියක යවන්න මම කැමැති නැහැ. මේ ඇතා ගොඩක් ලොකු නිසා ලොරියක යත්දී අනතුරක් වෙන්න වැඩි ඉඩක් තිබෙනවා. අලියෙක් වාහනයකින් ගෙන යෑම එක් පැත්තකින් අලියට හිරිහැරයක්. අද පාරේ වාහන ගොඩක් තියෙනවා. එක දිගට වාහනයක් එලවගෙන යන්න බැහැ. බ්‍රේක් ගහනවා. එහාට කපනවා මෙහාට කපනවා. මේ සියල්ලම අලියට බලපානව. කැලේ අලියෙක් සාමාන්‍යයෙන් කෑම සොයාගෙන දවසකට කිලෝමීටර 20 ක් විතර ඇවිදිනවා. එතකොට සතාගේ අවයව හොඳට වැඩකරනවා. එය නිරෝගීතා‍වටත් බලපානවා.

රාජා ගම්පහ කිරිඳිවැල සිට පයින්ම නුවරට යත්දී වාහනවලින් අනතුරක් වීමට ඉඩ තිබෙන නිසා වනජීවී ඇමැතිතුමා මැදිහත්ව රථවාහන පොලිස් ආරක්ෂාවක් ලබාදීම ගැන මම රජයට ස්තූතිවන්ත වෙනවා. රාජාට කවුරුවත් හිතාමතා අනතුරක් කරන්නේ නැහැ. ඒත් රිය අනතුරකින් තුවාලයක් වුණොත් ඒක බරපතළ ප්‍රශ්නයක්.

මේ ඇතා මිලදී ගත්තේ මගේ පියා. තා‍ත්තගෙන් පස්සේ තමයි මට ඇතා බාරවුණේ. මේ සතා මට ලැබුණේ මම කරපු පෙර කුසලයකටයි. ඇත්තටම නැදුන්ගමුවේ රාජා දැන් ජාතියට අයිති සතෙක්. රජය මේ සතාගේ ජාතික වටිනාකම තේරුම්ගෙන ඇතාට ප්‍රධාන මාර්ගයේ ගමන් කරන විට පොලිස් ආරක්ෂාව ලබා දීමට පියවර ගැනීම සම්බන්ධව මා වනජීවී ඇමැතිවරයාටත් රජයටත් ස්තූතිය පළකරනවා. ”

රාජා පෙරහරට යන අතරතුර එක් රැයක් හෝ යම් ස්ථානයක රැඳීසිටීනම් එය ඇත්තෙන්ම එම පුද්ගලයා ලබන භාග්‍යය සේ සලකති. මේ නිසාම රාජාට ප්‍රණීත අහාර පාන සියල්ල මෙම ගමනේදී පූජාවන් ලෙස ලැබේ. බොහෝ පලතුරු රාජාට අගුණය. පලතුරු කෑවිට රාජාට උදරයාබාධ වැළදෙන බව රාජාගේ හොඳම මිතුරාවන විල්සන් කොඩිතුවක්කු පවසයි. අවුරුදු 15 සිට අලිබලන කොඩිතුවක්කු රාජා බලන්නට ගෙන දැන් අවුරුදු 15 කට ආසන්නය. රාජා සමඟ ගතවූ කාලය තුළ විල්සන් ඇවිද ඇතිදුර කිලෝමීටර 50000 කට වැඩි ය.

“අපි දෙන්නා දැන් අවුරුදු 15 ක් එකටමයි ඉන්නේ. ඒ හින්දම අපි දෙන්නට දෙන්න නොදැක ඉන්න බැරිතරම් යාළුයි. නුවර පෙරහරට පස්සේ බෙල්ලන්විල, කෝට්ටේ, වාද්දුව, කිරුළපන පෙරහැරවලට යනවා.මගේ ගම ගාල්ලේ. නෝනා ටික කාලෙකට කලින් මැරුණා. දරුවෝ දෙන්නෙක් ඉන්නවා. දුව බැඳලා. පුතා ඉඳලා හිටලා මාව බලලා යන්න එනවා. මට ඉතින් ගමට යන්න ලැබෙන්නේ මාස හය හතකට පස්සෙයි. මම නැවතුණොත් ඇතත් නවතිනවා. නුවර පෙරහැරට පයින් එද්දී නිට්ටඹුව පන්සලේ, දංඕවිට ගෙදරක, නෙළුම්දෙණයේ මොරවක නිවසක, රංවිල දුනුකොළ වලව්වේ, හිඟුල ගනේතැන්න මල්වතු විහාරයේ අපි නවතිනවා. දවසකට ඇවිදින්නේ කිලෝ මීටර 20 ක් විතර වගේ තමයි...” විල්සන් පවසයි.

වයස අවුරුදු 27 දී පමණ වත්මන් ස්වාමීත්වය යටතට පැමිණීමෙන් පසු ඇත්ගොව්වන් සිව්දෙනකු රාජා බලාකියාගෙන තිබේ. මුලින් සීමන් අයියාත් පසුව සෝමේ අයියාත් අනතුරුව සයිමන් අයියාත් රාජාගේ අලිබාස්වරු ලෙස කටයුතු කර ඇත. මේ අතරින් අද ජීවත්ව සිටිනුයේ සීමන් අයියා පමණි. සයිමන්ගේ මරණයෙන් පසු රාජාව බලාගැනීමේ වගකීම ධර්මවිජය මහත්මයා විසින් විල්සන්ට පවරා තිබේ. “මම මේ රාළහාමිගේ සීතා කියන අලියව මුලින් බැලුවා. තාමත් ගෙදර ඉන්න පුලස්ති අලියවත් බැලුවේ මමයි. දැන් රාජා බලන්න අරන් අවුරුදු 15 ක් විතර වෙනවා. ඉස්සර අලි එක්ක කැලේ කොටන් අදින්න ගියාම අවුරුද්දක් විතරම කැලේ තමයි ඉන්නේ. කොස්ගම ගිංතොට වගේ ප්‍රදේශවල කැලෑවල කපපු ගස් කැලෙන් එළියට ගන්න, වාහනවලට කඳන් පටවන්න අලි අ‍රන් අපි කැලේට යනවා. දැන් ඉස්සර වගේ අලින්ගෙන් වැඩ ගන්නේ නැහැ. පෙරහැරවලට සම්බන්ධ කරගැනීම තමයි කරන එකම දේ. මේ ඇතා බලන්න ලැබුණේ මගේ පූරුවේ පිනකටයි. අද දළදා පෙරහැරේ කරඩුව ළගින්ම මට යන්න පුළුවන් වෙලා තිබෙන්නේ ඇතා හින්දයි. පෙරහැරට ආවාම ඇතා නාවන්න හැම අවුරුද්දෙම නෝනා කෙනෙක් වතුර බවුසරය ගානේ බවුසර් 10ක් නොමිලේ ගෙනත් දෙනවා. රාජා පයින් එත්දී කීදෙනෙක් කෑම කවන්න පොරකනවද... ” විල්සන් කියයි.

විල්සන්ගේ සහායට රාජා බලාගැනීම සදහා ඉන්නේ පොල්ගහවෙල ඉන්දික ජයසිංහය. තිස් හත් හැවිරිදි ඔහු විල්සන්ගේ සහයට පැමිණ තවමත් ගෙවී ඇත්තේ පස් වසරකි. ප්‍රධාන මාර්ගයක ගමන් ගනිත්දී පොලිස් ආරක්ෂාවක් ලබාදී තිබෙන ලොව එකම සත්ත්වයා රාජාය. ඒ රාජා ජාතියට සම්පතක් වන බැවිනි. තවත් බොහෝ කලක් ශ්‍රී දළදා පෙරහරේ සධාතුක කරඬුව වැඩමවන්නට නඳුන්ගමුවේ රාජාට හැකිවේවායි බෞද්ධ ජනතාව ප්‍රාර්ථනා‍ කරන්නේ අපමණ බැතියෙනි.

නව අදහස දක්වන්න