ඕකිඩ් මල රන් උල්පතක් කර ගත් පූර්ණා | දිනමිණ

ඕකිඩ් මල රන් උල්පතක් කර ගත් පූර්ණා

මදාරා මුද­ලිගේ

 

මල් සුන්දර ය. එමෙන් ම පිවිතුරු ය. එදෙස එක් වතාවක් බැලූ විට තව දහස් වතාවක් බලන්නට අප සැවොම කැමැති ය. එහෙත්, එවැනි මලක් විකසිත කරන්නට එතරම් ලෙහෙසි නැත. ජාඇල පදිංචි පූර්ණා පෙරේරා නම්, ඕකිඩ් මල්වලින් ජීවිතය දිනන්න පටන් ගත්තේ මීට වසර 20 කට ඉහතදී ය. ඇය ඕකිඩ් වගාව ආරම්භ කළේ ස්වයං රැකියාවක් ලෙස එය දියුණු කරගෙන ජීවිතය කවදා හෝ සුන්දර කර ගැනීමේ පරම අපේක්ෂාවෙනි.

“මම විනෝදයට වගේ තමයි පොඩි කාලේ ඉඳලම මල් වැව්වේ. මම මීට කලින් මූල්‍ය ආයතනයක වැඩ කළා. ඒකෙන් ඉවත් වෙලා දැන් ඕකිඩ් වගාව කරගෙන යනවා.”

වර්ණවත් මල් වගා කර ලෝකය දිනන්න පෙරුමන් පුරන ඇය, තරගකාරීත්වයට මෙන් ම අභියෝගවලට මුහුණ දෙන්නේ, කාන්තාවකට ඉසිලීමට නොහැකි ශක්තියක් පෙරදැරි කර ගනිමිනි.

“මම ඕකිඩ් වගාව පිළිබඳ පේරාදෙණිය උද්භිද උද්‍යානයේ පවත්වන ලද වැඩමුළුවලින් ඉගෙන ගත්තා. ඒ වාගේම ගන්නොරුව කෘෂි මධ්‍යස්ථානයේ පවත්වන ලද සම්මන්ත්‍රණ සඳහාත් සහභාගි වුණා.”

ලියකට සුරලියක් වීම එතරම් ම ලෙහෙසි නැත. මල් වගාව පිළිබඳ දැනුම, නිරවුල් අවබෝධයක් තිබීම මල් වවන්නියකට මනා ආභරණයකි.

“මම සෑම ඕකිඩ් වර්ගයක්ම වගේ වගා කරනවා. ඒ අතර වැන්ඩා, රොබින්, පැලනොප්සිප් වගේ ඕකිඩ් වර්ග තියෙනවා. ලෝකෙට එන අලුත් ම ඕකිඩ් වර්ග තිබෙන්නේ බැංකොක්වල. මම සමහර පැළ ගෙන්වා ගන්නේ එහෙන් .සාමාන්‍යයෙන් වැන්ඩා පැළයක් රු. 2500 ක් විතර වෙනවා. රොබින් පැළයක් රු. 750 – 1000 අතර වටිනාකමක් ගන්නවා. පැලනොප්සිස් පොඩි පැළයක් රු.1500 කට වගේ තමයි දෙන්නේ. ඒවැනි මල් මංගල උත්සවවලට ඇනවුම් කරන්නේ. ඒ නිසා ඒ මල්වල මිල ගණන් වැඩියි.”

මලක් විචිත්‍රවත් වන්නේ එයට හොඳින් ජලය, හිරුඑළිය සහ පොහොර මැනවින් ලබා දුනහොත් පමණි. කොපමණ ගෙදර දොරේ වැඩ රාජකාරි තිබුණ ද, තම දරුවන් මෙන් මල් පැළ බලා කියාගන්නා පූර්ණා, ඕකිඩ් මල් වලට ද මවක් වී අවසාන ය.

ගහක මලක් පිපුණහම එය සිටවූ කෙනාට හරිම සන්තෝෂයක් දැනෙන්නේ . මම මල් පැළ බලා ගන්නේ දරුවන් වගේ. දරුවන්ට කන්න, බොන්න ,බෙහෙත් හේත් දෙනවා වගේ , මල් පැළවලට අවශ්‍ය පොහොර, ජලය වගේම බෙහෙත් වර්ගත් ලබා දෙනවා” ඇය පවසයි.

“සාමාන්‍යයෙන් මම මල් පැළයකට සතියකට දෙවරක් පොහොර දානවා. මල් පිපෙන කාලෙට සතියකට එක සැරයක් විතරයි පොහොර දාන්නේ.

මම දවසින් දවස අලුත් දේ ඉගෙන ගන්නවා. නව අත්දැකීම් ලබා ගන්නවා. අලුත් මල් වර්ග ගැනත්, ඒවා වගා කරන හැටිත් ඉගෙන ගන්නකොට, කාලය යනවා දැනෙන්නේ නෑ.”

මානසික සුවය තරම් මිනිසකුට ලැබිය හැකි තවත් සුවයක් නැත. මල්වලින් මනසට ළඟාකර ගත හැකි මානසික සුවය අතිශය ප්‍රබල ය. මල් වවනා ඇය සැබැවින් ම වාසනාවන්තියකි. මල්වලින් ලැබෙන සිත් සුවයත්, ස්වයං රැකියාව නිසා අතට ලැබෙන මුදලත්, ඇගේ දිවියට ආලෝකයකි.

“අලුතින් මේ ඕකිඩ් වගාව ආරම්භ කරන්න හිතන් ඉන්න කෙනෙකුට, මම ඕනෑම වෙලාවක උපදෙස් දෙන්න කැමතියි. මල් වගා කරන හැටි, වෙළෙඳ පොළට යොමු කරන හැටි වගේම, අඩු මුදලට පැළ ලබා‍ දෙන්නත් මට පුළුවන්.”

කිසිදු ගුරු මුෂ්ටියකින් තොරව, ආත්මාර්ථකාමීත්වය සිත තුළ රඳවා ගන්නේ නැතිව, ඇය තමා වැනි ස්වයං රැකියා කිරීමට සූදානම් වන්නන්ට උපකාර කිරීමට ද කැමැත්තෙන් සිටී. දිරිය ලියක්, එසේ කටයුතු කරන්නේ නම්, ලෝකය කොතරම් සුන්දර වන්නේ ද? මේ වන විට ඇය මල් වගාව තම ජීවිතයෙන් කොටසක් බවට පත්කරගෙන ඇත. මලක් තරම් ජීවිතය සුන්දර නොවුණත්, තමන්ගේ ජීවිතය සුන්දර කර ගනිමින්, අනුන්ගේ ජීවිත ද සුන්දර කර ගැනීමට අත්වැලක් සැපයීමට කැමැති ඇය, ඕකිඩ් මල්වලට මවක් මෙන් ආදරය කරන්නීය.

 

 

අදහස් 5ක් ඇත

How can I contact her?

Matath okit wagakaranna upakarayak labaganne kohomada

miss purna contact karaganne kohomada?

නව අදහස දක්වන්න