සාමසාධක මෙහෙයුම් දායකත්වයට ප්‍රසාදය | දිනමිණ

සාමසාධක මෙහෙයුම් දායකත්වයට ප්‍රසාදය

මහින්ද අලුත්ගෙදර

එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකාව ලබාදෙන දායකත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන් මහතාගේ ප්‍රසාදය හිමිව තිබේ.

ලෝකයේ විවිධ රටවල සාමසාධක කටයුතු වෙනුවෙන් හමුදාව විශාල වශයෙන් යොදවා තිබෙන අතර ලෝක සාමය පවත්වාගෙන යාම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙලෙස මැදිහත් වන බවද එම කාර්යයේ දී ශ්‍රී ලංකාවෙන් විශාල දායකත්වයක් ලැබෙන බවද ඒ මහතා කියයි.

සාම සාධක මෙහෙයුම්වලට දායකවන රටවල සහභාගිත්වයෙන් බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර දී පැවැති සමුළුවකට එක්වෙමින් මහ ලේකම්වරයා මේ බව සදහන්කර තිබේ. එහිදී ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දී තිබෙන්නේ සාම සාධක මෙහෙයුම් සඳහා කඩිනමින් යෙදවීමට හැකි වන පරිදි හමුදා භට කණ්ඩායම් සූදානම් කර තැබීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ඇතුළු සෙසු රටවලට තම ප්‍රසාදය පළ කරන බවයි. සාම සාධක මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ 625 දෙනෙකුගෙන් යුතු භට කණ්ඩායමක් මේ වසරේ දෙසැම්බර් මාසයේ දී අප්‍රිකාවේ මාලි දේශය වෙත යැවීමට නියමිත අතර 1960 වසරේ දී ශ්‍රී ලංකාව මුල්වරට එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් වෙනුවෙන් සම්බන්ධ විය.

මේ වන විට කොංගෝව, හයිටි රාජ්‍යය, ලෙබනනය සහ සූඩානය ඇතුළු රටවල සාම සාධක මෙහෙයුම් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ භට පිරිස් සම්බන්ධ වී තිබේ. 


නව අදහස දක්වන්න