කාන්තාවන්ට අලුත් පාරක් | දිනමිණ

කාන්තාවන්ට අලුත් පාරක්

 ස්වයංරැකියා උත්පාදනය රටක විරැකියාව අඩුකරයි. ස්වයංරැකියා මගින් ඉන්දියාව විශාල පිරිසකට ජීවනෝපාය සලසා තිබේ. ස්වයංරැකියා ලාභීනගේ දැවැන්තතම සංවිධානය ඇත්තේ ද ඉන්දියාවේ ය.

ස්වයංරැකියා සඳහා කාන්තාවන් යොමු කරවන ව්‍යාපෘති පිළිබඳව නිතර අසන්නට ලැබේ. පසුගිය සතියේ 15 වනදා සමන්තුරේ සයින්දමරුදු ප්‍රදේශයේදී කාන්තාවන් හා තරුණියන් සඳහා ස්වයංරැකියා ව්‍යාපෘතියක් ආරම්භ විය. මේ ස්වයංරැකියා ව්‍යාපෘතියේ විශේෂ‍ත්වය එය වෙළෙඳ පොළ පදනම් කරගත්, වෙළෙඳ පොළ ඉලක්ක කරගත් නිෂ්පාදන ක්‍රියාවලියක් වීමයි.

බොහෝ ස්වයංරැකියා ව්‍යාපෘති අසාර්ථකවීමට හේතුවක් නම් නිෂ්පාදන අලෙවියට ඇති බාධාවයි. එමනිසා ව්‍යාපෘති අසාර්ථකව කුඩා ව්‍යවසායකයා කබලෙන් ලිපට වැටෙන තත්ත්වයට මුහුණදෙයි. මේ ව්‍යාපෘතියේ නිෂ්පාදන අලෙවියට බාධා නැත. මිලයට ගැන්මට ගැනුම්කරුවෝ සූදානම් ය.

කර්මාන්ත හා වානිජ අමැති බදුර්දීන් මහතාගේ මගපෙන්වීම යටතේ ආරම්භ වූ මේ ව්‍යාපෘතිය මගින් සම් අත්වැසුම් නිෂ්පාදනය කරයි. ලෝක සම් භාණ්ඩ නිෂ්පාදනයෙන් සියයට 4ක් සම් අත්වැසුම් කර්මාන්තයයි. සම් අත්වැසුම් හෙවත් ලෙදර් ග්ලවුස් සඳහා ලෝක ඉල්ලුම වසරකට අත්වැසුම් ජෝඩු බිලියන 50 ඉක්මවයි. යුරෝපීය රටවලට ඇති අධික ඉල්ලුම සපුරාලීමේ ප්‍රමුඛත්වය හිමිකරගන සිටින්නේ චීනයයි.

කර්මාන්ත හා වානිජ අමාත්‍යංශය යටතේ ඇති කාර්මික සංවර්ධන මණ්ඩල‍යේ පාවහන් හා සම්භාණ්ඩ අංශයේ දායකත්වයෙන් ඇරඹෙන මේ ව්‍යාපෘතිය ආරම්භක වශයෙන් සමන්තුරේ ප්‍රදේශයෙන් තරුණියන් හා කාන්තාවන් 100ක් තෝරාගෙන තිබේ.

ඔවුන් තෝරාගෙන ඇත්තේ එක නිවසකින් දෙදෙනා බැගිනි. ඔවුනට කාර්මික සංවර්ධන මණ්ඩලය අවශ්‍ය පුහුණුව ලබාදෙයි. පුහුණුවෙන් පසු කර්මාන්තය කරගෙන යෑම සඳහා අවශ්‍ය රුපියල් 65,000ක් වටිනා යන්ත්‍රයක් ආණ්ඩුව විසින් නොමිලේ ලබාදීම මේ ව්‍යාපෘතියේ තවත් විශේෂත්වයකැයි කාර්මික සංවර්ධන මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ, වත්මන් උපදේශක එල්. පී. එස්. කරුණාදාස මහතා කියයි.

ඔවුනගේ නිෂ්පාදන මිලට ගැන්මට පෞද්ගලික අංශය සූදානමින් සිටී. කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති මහින්ද ජිනසේන මහතාගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන මේ ව්‍යාපෘතිය අම්පාර දිස්ත්‍රික්කය පුරාම ව්‍යාප්ත කිරීමට ද සැලසුම් කර ඇත.

සම් භාණ්ඩ නිෂ්පාදනය

උපදේශක කරුණාදාස මහතා පවසන අන්දමට පදම් කළ සමක හොඳම කොටස පාවහන් නිෂ්පාදනයේ අමුද්‍රව්‍ය ලෙස භාවිතයට ගැනේ. ඉන්පසු එන කොටස් අත්වැසුම් නිෂ්පාදනය සඳහා අමුද්‍රව්‍ය ලෙස භාවිතාවට ගැනේ.

ශ්‍රී ලංකාවේ සම්භාණ්ඩ කර්මාන්තය සඳහා අවශ්‍ය වන පදම් කළ සම් ආනයනය කරන අතර රට තුළ දේශීය නිෂ්පාදනය දිනකට මෙ. ටොන් 20 – 25 අතරය. සම් පදම් කරන කර්මාන්තශාලා 11ක් රට තුළ තිබේ.

සම් භාණ්ඩ කර්මාන්තය සහ පශු කර්මාන්තය අතර සබඳතාවක් පවතී. පශු කර්මාන්තය දියුණු ආර්ජන්ටිනාව, බ්‍රසීලය සහ චීනය සම්භාණ්ඩ හා පදම් කළ සම් අලෙවියේ පෙරමුණ ගෙන සිටී. අප්‍රිකානු රටවල් රැසක් ද දැන් මේ කර්මාන්තයට යොමුව සිටිති.

ශ්‍රී ලංකාවේ ද පශු කර්මාන්තය දියුණු කිරීම දියුණුවත්ම සම්භාණ්ඩ නිෂ්පාදනය ද දියුණු කිරීමට අවස්ථාව සැලසේ.

දැනට ශ්‍රී ලංක‍ාවේ සම්භාණ්ඩ කර්මාන්තය ජීවනෝපාය කරගත් පිරිස 20,000 – 30,000 අතර සංඛ්‍යාවකි. විශාල ප්‍රමාණයේ කම්හල් 05කි. මධ්‍යම ප්‍රමාණයේ කම්හල් 10ක් සහ සුළු පරිමාණ නිෂ්පාදන ආයතන 3000 – 4000 අතර ප්‍රමාණයකි. ස්වයං රැකියා ලෙස එහි නිරතවන්නන්ගේ සංඛ්‍යාව ද විශාලය.

ශ්‍රී ලංකාව එක්සත් ජනපදය සහ යු‍රෝපීය රටවලට සිය සම් නිෂ්පාදනය අපනයනය කරයි. මෙහිදී අපට තරග වැදීමට සිදුව ඇත්තේ චීනය සමඟය. චීනය, වියට්නාමය, තායිලන්තය සහ පකිස්ථානය යන රටවල සම්භාණ්ඩ (විශේෂයෙන් පාවහන්) විවිධ හොර පාරවල් ඔස්සේ ශ්‍රී ලංකාවට ගලාඒම ද දේශීය සම් කර්මාන්තයට බාධාවකි.

හරකුන්ගේ සම්වලට අමතරව ඌරු සම්, එළු සම්, බැටලු සම් මෙන්ම මඩු මාළුවා, ආඳා සහ තලපත් මාළුවාගේ සමින් ද විවිධ භාණ්ඩ නිෂ්පාදනය කරන බව කියන කරුණාදාස මහතා මඩු මාළු සමින් නිෂ්පාදනය කරනු ලබන අත් බෑග් සඳහා යුරෝපයේ අධික ඉල්ලුමක් ඇතැයි ද කියයි. මේ නිෂ්පාදන ක්ෂේත්‍රයට ඇතුල්වීම අනාගත අපේක්ෂාව බව ද ඔහු කියයි.

මෙයට පෙර ද ජූනි මාසයේ යාපනයේ වදිරි ගම්මානයේ සම්භාණ්ඩ නිෂ්පාදනය පිළිබඳ ස්වයං රැකියා ව්‍යාපෘතියක් ආරම්භ කරන ලදී. ඒ සඳහා යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අවශ්‍ය ප්‍රතිපාදන සලසා ඇත.

වදිරි ගම්මානයේ පාරම්පරිකව හම් භාණ්ඩ නිෂ්පාදනයේ යෙදුණු පිරිසක් සිටින අතර ඔවුනගේ දෙවන පරපුරට එම කර්මාන්තය ඉදිරියට ගෙන යෑමට එමගින් දායකත්වය සැපයිනි. නේවාසික නොවන සති 2ක පාඨමාලාවට සහභාගි වූ පිරිස් සඳහා අවශ්‍ය තාක්ෂණ උපදෙස් සපයන ‍ලද්දේ කාර්මික සංවර්ධන මණ්ඩලයයි.

මේ අනුව වදිරි සම්භාණ්ඩ නිෂ්පාදකයනගේ සමුපකාර සමිතිය ද එම ව්‍යාපෘතියට සම්බන්ධ කරගෙන උසස් තත්ත්වයේ නිෂ්පාදන ඉදිරිපත් කිරීමට ගත් පියවර දැන් සාර්ථක වෙමින් පවතී.

වව්නියා දිස්ත්‍රික් ලේකම් කාර්යා‍ලයේ මූල්‍ය ප්‍රතිපාදන මත මෙවැනිම ස්වයං රැකියා පුහුණු වැඩසටහනක් වව්නියා සෙට්ටිකුලම් හි දී ද පවත්වන ලදී. දිවයිනේ සෙසු ප්‍රදේශවල ද සම්භාණ්ඩ නිෂ්පාදනය පිළිබඳ උනන්දුවන්නන් සඳහා උපකාර කිරීමට කාර්මික සංවර්ධන මණ්ඩලය සූදානම් බව පවසන උපදේශක කරුණාදාස මහතා කාර්මික සංවර්ධන මණ්ඩලයේ ඕනෑම ප්‍රාදේශීය කාර්යාලයක් ඒ සඳහා කැපවී සිටින බව ද කියයි.

අපනයන අවස්ථා

සහන පදනමක් මත කාර්මික සංවර්ධන මණ්ඩලයේ යන්ත්‍ර පාවිච්චි කිරීමට පවා සම් භාණ්ඩ නිෂ්පාදනය කරන ස්වයංරැකියාලාභිනට දැන් අවස්ථාව සලසා තිබේ.

ශ්‍රී ලංකා සම්භාණ්ඩ විදේශීයව ප්‍රචලිත කිරීම හා අපනයන අවස්ථා ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය ද ක්‍රියාකාරී වෙයි. එසේම 2007 සිට වාර්ෂිකව කොළඹදී පවත්වන ශ්‍රී ලංකා සම්භාණ්ඩ ප්‍රදර්ශනය 2016 වසරේදී පැවැත්වූ අවස්ථාවේ දී ශ්‍රී ලංකා නිෂ්පාදන සඳහා දැඩි උනන්දුවක් දක්නටත් දැක්වූ යුරෝපීය ගැනුම්කරුවෝ අප රටට නව අපනයන අවස්ථාවන් ද උදාකර දුන්හ.

2015 වසරේ ශ්‍රී ලංකාව සම් පාවහන් අපනනයෙන් ඩොලර් දසලක්ෂ 86ක් උපයා ගත්තාය. සමස්ත සම්භාණ්ඩ අපනයනයෙන් උපයාගත් විදේශ ප්‍රමාණය ඩොලර් දසලක්ෂ 136කි. එනම් රුපියල් දසලක්ෂ 18,397කි. අවුරුදු පහකට පෙර උපයා ගත්තේ රුපියල් දසලක්ෂ 7198ක් පමණි. පසුගිය පස්වසර තුළ ශ්‍රී ලංකා සම්භාණ්ඩ නිෂ්පාදනය සිය විදේශ ආදායම දෙගුණයකින් වැඩිකර ගෙන රටේ සංවර්ධනයට දායකව තිබේ.

කල්පිටිය ජනසවිපුර, ආනවාසල, කුරක්කන්හේන සහ කන්දකුලිය යන කළපු ආශ්‍රිත ප්‍රදේශවල ධීවර කාන්තාවන් සඳහා මුහුදු බෙල්ලන් වගා කර ඒවා දේශීය හා විදේශීය වෙළෙඳ පොළට ඉදිරිපත් කිරීමේ ස්වයං රැකියා ව්‍යාපෘතියක් දැන් ක්‍රියාත්මක වේ.

මේ සඳහා ධීවර කාන්තාවනට මග සලසා දුන්නේ සංවර්ධන පහසුකම් සැලසීමේ ශ්‍රී ලංකා මධ්‍යස්ථානයයි. එහි විධායක අධ්‍යක්ෂ තිස්ස විජේතුංග මහතා පවසන අන්දමට මේ සඳහා මූල්‍ය ආධාර සපයන්නේ බෙල්ජියමයි. මේ වැඩසටහන ඉතා දිළිඳු ධීවර කාන්තාවන් සඳහා විශේෂ වූවක්. මුහුදු බෙල්ලන් වගාකර ඒ සඳහා දේශීය හා විදේශීය වෙළෙඳ පොළක් මේ ප්‍රතිලාභිනට ලබාදීමට අදහස් කරනවා. මුහුදු බෙල්ලන් යනු සුපිරි හෝටල්වල ඉතා ජනප්‍රිය ආහාරයක්. මේ ව්‍යාපාරය ලංකාවේ මේ ඇරැ‍ඹෙන‍්නේ ප්‍රථම වතාවටයි. කෙසේ වෙතත් ආසියාතික රටවල මෙය ඉතා සාර්ථක ව්‍යාපාරයක් යැයි විධායක අධ්‍යක්ෂ වීරතුංග මහතා කියයි.

මේ ව්‍යාපෘතියට නාරා ආයතනය ද දායකත්වය සපයයි. නාරා ආයතනයේ චතුර මැදගෙදර සහ මොහොමඩ් ෂාහිම් මහත්වරු ඒ සඳහා ක්‍රියාකාරී සහයෝගය දක්වති.

“මේ බෙල්ලෝ වගාකරන්නේ කළපුවේ කොටුවලයි. ඒවා හරියට ඉස්සන් කොටු වගෙයි. මේ කොටු නිසියාකාර ප්‍රමිතියට හදාගන්න අපි උදව් කරනවා. ඒ වගේම බෙල්ලන් හදාගන්නත් උදව් කරනවා. බෙල්ලන් නිසි ප්‍රමාණයට වර්ධනය වනතෙක් සතිපතා මලුවලින් ඉවතට අරගෙන සුද්ධ කරන්න ඕනෑ. අවසානයේ වෙළෙඳ පොළට යැවීමට පෙර නාරා ආයතනයේ ටැංකිවලට දමලා හොඳට පිරිසුදු කරන්නටත් උදව් උපකාර දෙනවා. ඉදිරියේදී බෙල්ලන් අභිජනනය කරන්නත්, මේ සඳහා ප්‍රජාව පුරුදු පුහුණු කරන්නත් බලාපොරොත්තු වෙනවා යැයි ඔවුහු කියයි.

බෙල්ලන් වගාව

එම ව්‍යාපෘතියේ නිරීක්ෂණ චාරිකාවක යෙදුණු රංජිත් හේවාබටගේ මහතා පවසන්නේ මේ ව්‍යාපෘති‍ යටතේ කළපුවේ කොටුගසා ගැනීම සඳහා සංවර්ධන පහසුකම් සැලසීමේ ආයතනය එක පවුලකට රුපියල් 20,000ක් ලබාදෙන බවයි. පැටවුන් මිලදී ගැනීමට සහ පැටව් වගා කරන කූඩු තනාගැනීම සඳහා එක පවුලකට රුපියල් 50,000ක් ලබාදෙන බව ද ඔහු කියයි.

මෙය ණය මුදලක් නොවන බවත්, එමගින් ලැබෙන ආදායමෙන් ඒ ඒ කණ්ඩායම් අරමුදලක් පිහිටුවාගෙන, එමගින් ව්‍යාපාරය දියුණු කරගන්නා අන්දම පිළිබඳව ඔවුනට පුහුණුවක් ලබාදී ඇති බවත්, හේවාබටගේ මහතා තවදුරටත් පවසයි.

කන්දකුලිය සහ ජනසවිපුර ප්‍රදේශ බද කඩොලාන හා ඉවුරු ආශ්‍රිත ප්‍රදේශ තුලින් දැනට මේ සඳහා අවශ්‍ය පැටව් සපයා ගන්නේ තෙප්පම් භාවිතාවෙනි. මේ සඳහා ප්‍රතිලාභීන්ම වෙහෙසවෙයි. මේ නිසා බෙල්ලන් අභිජනනය කිරීම මේ කර්මාන්තයේ දියුණුවට හේතුවකි. ප්‍රදේශයේ ධීවර ජනතාව මේ බෙල්ලන් හඳුන්වන්නේ සංගු යන නමිනි.

ව්‍යාපෘතියේ සභාපති ජේ. එච්. විමලාවතී මහත්මිය පවසන්නේ ප්‍රදේශයේ ධීවර කාන්තාවන් රාශියක් බෙල්ලන් ඇති කිරීමට කැමැත්තෙන් සිටින බවයි.

“පසුගිය මාසයේ අපගේ ආදායම රුපියල් 14,000ක් පමණ වුණා. මේ ව්‍යාපාරය සාර්ථක වන්න බාරයක් වුණා. ඒ මුදලින් අපි එම බාරය ඔප්පු කළා. සැප්තැම්බරයේ අග ඉඳලා අපි බෙල්ලන් 200ක්වත් විකුණන්න මහන්සි ගන්නවා. මාස්පතා බෙල්ලන් 200 බැගින් විකුණාගන්න පුළුවන්කම ලැබෙනවා නම් එය ස්ථිර ව්‍යාපාරයක්.

ඒ අනුව එක පවුලකට මාසයකට රුපියල් 20,000ක පමණ ආදායමක් ලබාගන්න අවස්ථාව ලැබෙනවා යැයි විමලාවතී මහත්මිය තවදුරටත් පවසන්නීය.

ධීවර ක්ෂේත්‍රයේ කාන්තාවන් මෙතෙක් නියැළී සිටියේ දැල් අලුත්වැඩියාව, කරවල සඳහා මසුන් කැපීම, මාළු විකිණීම ආදි වෘත්තීන්හී ය. කළපු ආශ්‍රිතව ඇරැඹි බෙල්ලන් ඇතිකිරීමේ ව්‍යාපෘතිය තවතවත් දියුණු කිරීම සඳහා ශ්‍රී ලංකාව සතු කළපු ප්‍රමාණය 45කි. සංචාරක කර්මාන්තය ඉදිරියේ දී දියුණු අඩියකට පත්වන නිසා ඔවුන් ඉලක්ක කර මේ ව්‍යාපෘති දියුණු කර ගැනීමට කල්පිටියේ ව්‍යාපෘතිය පෙරහුරුවකි.

කරුණාරත්න අමරතුංග


අදහස් 6ක් ඇත

aniwaryayenma rajaya ho , pudgalika sanwidhana ho, mema swayan rakiya puhunu laba dimath ,puhunu kirimath ,adhara labadiimath kerennenam kanthawan saha tharuna wirakiyawe sitina ayatath meme yojana walin pamanak nowa akurata kriyawe yedawiima sathutakiya, batahira rata walata samkarmanthaye diyunuwa , thulin ape ratata adayam paminima labenawamayi,

Mama kurunegala..mata me gena wisthara denaganna awasthawak laba denna puluwanda.loku udauwak.mama rekiyawak soyana kenek.

011-2435248 011-2435674

නව අදහස දක්වන්න