රේගුවේ අකුරට වැඩ අවසන් | දිනමිණ

රේගුවේ අකුරට වැඩ අවසන්

සමන්මලී ප්‍රියශාන්ති

සාකච්ඡාවකට මුදල් ඇමැතිගෙන් ලිඛිත පොරොන්දුවක්

යෝජිත රේගු පනත පිළිබඳව රේගු බලධාරීන් සමඟ සාකච්ඡාවකට මුදල් ඇමැති රවි කරුණානායක මහතා කැමැත්ත පළ කරමින් ලබා දුන් ලිඛිත පොරොන්දුව කෙරෙහි විශ්වාසය තබමින් දින 5 ක් මුළුල්ලේ පැවැති රේගුවේ අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ඊයේ(23) දහවල් සිට අත්හිටුවීමට රේගු වෘත්තීය සමිති තීරණය කළහ. මේ අනුව මුදල් ඇමැතිවරයා ලබන අඟහරුවාදා සවස 4.30 ට රේගු නිලධාරීන්, වෘත්තීය සමිති නිලධාරීන් හා අදාළ අනකුත් පාර්ශ්ව සාකච්ඡාවකට කැඳවා තිබෙන බව රේගු වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කාර මණ්ඩල සභික සුදත් ද සිල්වා මහතා පැවසීය. ඒ මහතා මේ බව ප්‍රකාශ කෙළේ ශ්‍රී ලංකා රේගු මුලස්ථානයේදී ඊයේ (23) පැවැති මාධ්‍ය හමුවකදීය.

රේගු ආඥා පනත සංශෝධනය කිරීමේ දී පවත්නා රේගු ආඥා පනත පාදක ලියවිල්ල ලෙස යොදා ගන්නා ලෙසත් එහිදී රේගු වෘත්තීය සමිති මෙන්ම අනකුත් අදාළ පාර්ශ්වයන් සහභාගී කැර ගනිමින් සාකච්ඡා මණ්ඩපයක් ලෙස සාකච්ඡා කැර විසදුමකට පැමිණීමටත් තම සන්ධානය ඉල්ලීම් කළ බවත් එම ඉල්ලීම්වලටද මුදල් ඇමැතිවරයාගේ ලිඛිත එකඟතාව පළ කැර තිබෙන බවත් හෙතෙම පැවසීය.

අගමැතිවරයා ද පාර්ලිමේන්තුවේ දී මේ සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශය ද සැලකිල්ලට ගෙන වෘත්තීය ක්‍රියාමාර්ගය නවතා දමන නමුත් ආණ්ඩුව මේ දල්වා ඇති කොළ එළිය සුබවාදීව ඉදිරියට ගෙන නොයන්නේ නම් ඉදිරියේ ගනු ලබන වෘත්තීය අරගල මීටත් වඩා ශක්තිමත් වනු ඇතැයිද හෙතෙම ප්‍රකාශ කෙළේය. රේගු ආඥා පනත මෙරට පනත් අතරින් ශක්තිමත්ම පනතක් බවත් මෙය පැරණි පනතක් වුවත් මේ වන විට මෙය අදට ගැළපෙන ලෙස 51 වැනි වතාවක් සං‍ශෝධනය කැර තිබෙන බවත් පැවසු ඒ මහතා මේ පනත සංශෝධනය කිරීම සම්බන්ධයෙන් වෘත්තීය සමිතිවල කිසිම විරුද්ධත්වයක් නැති බවත් කීවේය. තම සන්ධානය ආරම්භ කළ වෘත්තීය ක්‍රියා මාර්ගය හේතුවෙන් රටේ ආර්ථිකය කඩා වැටීම සම්බන්ධයෙන් වගකීම මුදල් ඇමැතිවරයා සහ ආණ්ඩුව ගත යුතු බවත් මේ වෘත්තීය ක්‍රියා මාර්ගය නිසි අපහසුතාවය පත් සියලු පාර්ශ්ව වෙනුවෙන් කණගාටුව පළ කරන බවත් කී ඒ මහතා, මේ දින කිහිපයේ සිදු වු පාඩුව හා අලාභය නැවත සකස් කැර ගැනීමට අද සහ හෙට දිනවල රේගු නිලධාරීන් උපරිමයෙන් කැපවී සේවය කරන බවත් කීවේය. මෙහිදී අදහස් පළ කළ ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂ ජනරාල් චුලානන්ද පෙරේරා මහතා පැවසුවේ රේගු සේවකයින් ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියා මාර්ගය නවතා දැමීමට තීරණය කළ බව වෘත්තීය සමිති නිලධාරීන් තමන්ට දැනුම් දුන් බවයි.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් දිනකට බිලියනක පමණ පාඩුවක් සිදු ව තිබෙන බවත් සෙනසුරාදා සහ ඉරිදා දිනවල සේවය කැර එම පාඩුව පියවීමට කටයුතු කරන බවටද ඔවුන් දැනුම් දුන් බවත් හෙතෙම කීවේය. 

නව අදහස දක්වන්න