ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 67වැනි සැමරුම අදයි | දිනමිණ


 

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 67වැනි සැමරුම අදයි

විජයානි එදිරිසිංහ

 

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වූ කලී ලොව දක්ෂතම හමුදාවන් අතරින් එකක් බව ‍ලොවම පිළිගන්නා කරුණකි.දශක තුනකට අධිකකාලයක් පුරා මෙරට තුළ පැවැති දරුණුතම පිළිලයක් බඳු වූ ත්‍රස්තවාදය සම්පූර්ණයෙන් මෙරටින් තුරන් කර දැමීමේ මහඟු කර්තව්‍යයේ පෙරමුණ ගත් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට අද මේ රටේ ජනතාව උපහාර පුදති. ජනතාවගේ ඒ ආකාරයෙන් වූ ගෞරව බුහුමන් අපේ යුද්ධ හමුදාව ලබාගත්තේත් තවදුරටත් ලබා ගනිමින් සිටින්නේත් ඔවුන් මේ රටේ ජනතාවගේ හදවත්තුළට ඉතාමත් සමීප වූ ආරක්ෂක අංශයක් බැවිණි.

ඉදිරියට තැබූ පය ආපස්සට නොගන්නා කවදාවත් කිසිවකුටත් දෙවැනි නොවන බව ක්‍රියාවෙන් ඔප්පු කළ අපේ යුද්ධ හමුදාව සිය 67 වැනි සැමරුම අද සමරන්නේ මහත් අභිමානයෙන් යුක්තවය.

ඔවුන් සතු අභිමානය 30 වසරක් පුරා කිසිවකුටත් පරාජය නොවී වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම හුදු රැකියාවක් කිරීමේ අදිටනින් නොව රට ජාතිය ආරක්ෂාකර ගැනීමේ උතුම් අධිෂ්ඨානයෙන් ක්‍රියා කළ අපේ රණවිරුවෝ අදටත් මේ රටේ ජනතාව වෙනුවෙන් ඕනෑම අවස්ථාවකදී කටයුතු කිරීමට සැදී පැහැදී සිටිති.

අසූව දශකය අවසන් භාගයේ සිට 90 දශකයේ පුරාමත් ඉන්පසු 2009 දක්වාත් එක දිගට යුද්ධය මෙහෙයවමින් උතුරු නැ‍ඟෙනහිර පමණක් නොව මේ රටේ වෙනත් කිසිදු තැනක එකම බිම් අඟලක්වත් ත්‍රස්තවාදීන්ට අත්පත් කර ගැනීමට ඉඩ නොදී වඩමාරච්චි සටනේ සිට අවසාන මානුෂීය මෙහෙයුම දක්වා සටන් කළ දස දහස් සංඛ්‍යාත යුද්ධ හමුදා විරුවන් යුද්ධය අවසන් යැයි නොසිතා ඔවුන්ගේ අභීත විශ්වාසය චිත්ත ධෛර්යය අදටත් ඒ ආකාරයෙන් පවත්වාගෙන යන බව අපට රහසක් නොවේ.

කෑලි කැපිය හැකි ඝන අඳුරේ හෙමින් හෙමින් පා තබමින් ගිනි අවිය පපුවට තුරුළු කරන් සතුරා සොයා පා තැබූ අපේ යුද සෙබළුන් සිය ඉලක්කය සපුරා ගැනීමට කොටි කටට රිංගා ගියේ ඔවුන්ගේ මවුවරු, පියවරුන්, බිරින්දෑවරුන් , දූ දරුවන් සිය හදවතින් අමතක කර දමමින්ය. ඔවුන් එදා තම ජීවිතයේ සමීපතමයන් මතකයට නැගුණු මොහොතක ඇසට නැගුණ කඳුළ කදුලක් බවට පත් වීමට ඉඩ නොතබා එයට තම සිතේ ශක්තියක් බවට පත්කර ගනිමින් සතුරා සමඟ සටන්වැදිණි.

කොටි ත්‍රස්තවාදය සම්පූර්ණයෙන් විනාශ කර දැමීමේ අරමුණෙන් ඒ ආකාරයෙන් සටන් වැදුණු අපේ දහස් සංඛ්‍යාත අභීත රණවිරුවන් අතරින් සදහටම මේ මහ පොලවට සිය රුධිර ධාරාවන් එක් කරමින් සදහටම ජීවිතයෙන් සමුගත් රණවිරුවන් අපට කිසි දිනෙක අමතක කළ නොහැකිය.

ඒ ආකාරයෙන්ම සිය අත්පා, ඇස්, කන්, අහිමි කරගනිමින් රට වෙනුවෙන් ජීවිතය කැප කර අදටත් ආබාධිතව සිටින ඒ අභීත රණවිරුවන්ද කිසිදා අපට අමතක කළ නොහැකිය. එදා අරාලි තුඩුවේදී තවත් අභීත හමුදා විරුවන් දස දෙනෙකු සමඟ කොටි ත්‍රස්තවාදීන්ගේ බිම් බෝම්බයකට හසුව ජීවිතය පූජා කළ ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව, විජය විමලරත්න ඇතුලු හමුදා විරුවන්ද වැලිඔය සටන මෙහෙයවූ ජෙනරාල් ජානක පෙරේරා ඇතුළු දහස් ගණනක් කොටි සමග සටන් වැද නැගෙනහිර බේරාගත් රණවිරුවන්ද වඩමාරච්චි සටනේ සිට ජයසිකුරු හා තවත් සිය ගණනක් වූ හමුදා මෙහෙයුම්වල පෙරට යමින් සතුරා සමඟ සටන් වැදුණු අපේ රණවිරුවන්ද, අලිමංකඩ සටනේදී හසලක ගාමිණී ප්‍රමුඛ හමුදා විරුවන්ද, මුලතිව් සටනේදී අපිට අහිමි වූ රණවිරුවන්ද, උතුරු නැගෙනහිර මානුෂීය අවසන් මෙහෙයුමේදී දිවිදුන් රණවිරු, රණවිරුවරියන්ද ඇතුළු දශක තුනක කාලයක් අප වෙනුවෙන් යුද වැදී දිවි දුන් අපේ සියලුම රණවිරුවන් අවසන් මොහොතේ හෙලූ සුසුම් තවමත් මේ මිහිතලය පුරා විහිදී යන බව අප දනිමු. ඔවුන්ගේ මාපිය දූ දරුවන්, බිරින්දෑවරුන්, සොයුරු සොයුරියන් තම පුතුගේ, පියාගේ, සොයුරාගේ, සැමියාගේ වෙන්වීම ඉවසා දරාගත නොහැකිව හෙළු කඳුළු අපට කිසිදා අමතක නොවන්නේය.

අද වැනි දිනෙක අප ඔවුන් වෙනුවෙන් අපේ ගෞරවය පුද කරමු. අද පමණක් නොවේ තවත් අවුරුදු සිය ගණනක් ගත වුවත් උපදින මතු පරම්පරාවන් අපේ රණවිරුවන් අමතක නොකළ යුතුය. එදා යුද්ධයෙන් තුවාල වී යුද හමුදා රෝහලට ගෙනඑන හමුදාවිරුවන් ‍වෙත අප ගිය වාර අනන්තය.

ඒ සෑම අවස්ථාවකම අප දුටු අපට ඇසුණු ප්‍රධානම කරුණක් වූයේ අන්තිම සුසුම තුළ පවා සිටි යුද්ධ හමුදා සෙබළා තුළ වූ ශක්තියයි. ඔවුන්ගේ වේදනාව ඔවුන්ට එතරම් දෙයක් නොවීය. ඔවුන්ට වේදනාව වී තිබුණේ තවදුරටත් සටන් කර ගත නොහැකිව යුද පිටියෙන් ඉවත් වීමට සිදු වීමයි.

එවගේම දශක තුනක යුද්ධ කාලය තුළ පමණක් නොව 67 වසරක් පුරා යුද්ධ හමුදාවට පණ දෙමින් එතුළ වූ සෙබළුන්ගේ ශක්තිය ධෛර්යය, ආත්ම විශ්වාසය මෙන්ම විශේෂයෙන් විනය පවත්වාගෙන එමින් අද ලොව විශිෂ්ටතම හමුදාවක් බවට පත්වූ යුද්ධ හමුදාව ඒ තත්ත්වය දක්වා ගෙන ඒමට පෙරමුණගත්, නායකත්වය දුන් ආරම්භක යුද්ධ හමුදාපතිවරයාගේ සිට අද යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්තද සිල්වා මහතා දක්වා වූ අදට ජීවත්ව සිටින සහ ජීවිතයෙන් සමුගත් සෑම සියලු යුද්ධ හමුදාපතිවරයකුම අප ගෞරවයෙන් සිහිපත් කළයුතුමය.

ඔවුන්ට ද අපේ ගෞරවය පුද කළ යුතුම වෙයි. රණවිරුවනට ප්‍රබලම ශක්තියක් දායාද කළ අද ඇමැති පදවියකින් පිදුම්ලබා සිටින ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අභීත රණවිරුවා අපට අමතක කළ නොහැක.

ඉතා අභිමානනීය වූ ඉතිහාසයකට උරුමකම් ඇති යුද්ධ හමුදාව අද වන විට යුද්ධයට සමු දී ගිනි අවියට විරාමයක් දී ඇතත් අදත් ඔවුන් රට වෙනුවෙන් රටේ සංවර්ධනය වෙනුවෙන් කරන්නාවූ සේවය අප්‍රමාණය. රට තුළ සිදුවෙමින් පවතින සංවර්ධන ව්‍යාපෘති රැසක ශ්‍රම දායකත්වය ලබා දෙන්නේ යුද්ධ හමුදාවයි. පසුගිය කාලය තුළ සිදුවූ ජල ගැලීම්, නායයෑම්, ඩෙංගු උවදුර, වෙනත් ආපදා සෑම එකකදීම දැවැන්තම මෙහෙයුම් සිදුකරමින් යුද්ධ හමුදාව විශාල සේවයක් රට වෙනුවෙන් ඉටු කළහ. දේශපාලන පක්ෂ ජාති ආගම් භේදයක් අපේ රණවිරුවන්ට නොමැත. ඔවුන් එදත් කැපවූයේ රටේ ජනතාව වෙනුවෙන්ය.

අදත් කැප වෙන්නේ රටේ ජනතාව වෙනුවෙන්ය. ලෝකයේ සිටින දක්ෂතම හමුදාවක් මෙන්ම ලෝකයේ සිටිනා මානුෂීය බවින් පිරිණු එකම හමුදාව බවටද අපේ යුද්ධ හමුදාව පත්ව සිටියි.

ඔවුන්ගේ මානුෂිකත්වය ලොවටම කියාපාන සිදුවීම් නිතර නිතරම රට තුළ සිදුවෙමින් පවතී. තම ජිවිතය පරදුවට තබා දෙස් විදෙස් සංචාරකයන්ගේ දූදරුවන්ගේ පවා ජීවිත බේරාගත් අවස්ථා බොහෝ වෙයි.

දියකාවා යුද මෙහෙයුම දෙස් විදෙස් සහභාගීත්වයෙන් වර්ෂයක් පාසා ක්‍රියාත්මක වන ආරක්ෂක හමුදාව, සතු හැකියාවන් අත්දැකීම් ජාත්‍යන්තරය හා බෙදා ගන්නා අවස්ථා ‍ රැසක් ක්‍රියාත්මක වෙයි.

එපමණක් නොවේ එදා කොස්ගමදී ඇතිවූ හදිසි ආපදාවක් තුළින් විනාශයට පත් සාලාව, කොස්ගම හා ඒඅවට ප්‍රදේශවාසීන්ගේ ජන ජීවිතය යළි නගා සිටුවීමට හමුදාව කළ කැපවීම අපට කෙසේවත් අමතක කළ නොහැකිය.

එවැනි කැපවීමක් කරන අපේ යුද්ධ හමුදා රණවිරුවන් ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන් වෙනුවෙන් සෑම රජයක්ම බොහෝ දේ සිදුකර තිබේ. විශ්‍රාම වැටුප්, සුබ සාධන සේවා, නිවාස, වෛද්‍ය ප්‍රතිකාර, දූදරු ශිෂ්‍යත්ව, ආරක්ෂක විද්‍යාල, විදෙස් සංචාර, විරුසර කාඩ්පත, රණවිරු සේවා අධිකාරිය යටතේ විවිධ අවශ්‍යතා, ත්‍යාග, ණය සහනාධාර ලබාදීම් ඇතුළු බොහෝ දේ සිදුවෙයි. ඒ යුතුකම් ඉටුකර දීමට අපේ රටේ රාජ්‍ය නායකයන් සෑමවිටම ක්‍රියා කරන්නේ දැඩි කැපවීමකින් යුක්තව බව කිව යුතුමය.

මෙම 67 වැනි යුද්ධ හමුදා සැමරුම් දිනය වෙනුවෙන් එදා ශ්‍රී මහා බෝ සමිඳුන් අභියස හමුදා ධජවලට ආශිර්වාද ලබා ගැනීමේ සිට අද දක්වා වැඩසටහන් රාශියක් සිදුවිය. මේ අද ඒ 67 වැනි සැමරුම වෙයි. එම සැමරුම මහත් අභිමානයෙන් යුක්තව මෙසේ සැමරෙන්නේ තවත් වසර සිය ගණනක් ඉදිරියට අපේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අභිමානය රැකෙන බවට රන් අකුරෙන් සටහන් වෙමිණි.

 

අදහස් 1ක් ඇත

dekada wennata giya jathika winasaya ,obalage jiwitha kapakala sewawa kohoma agayannada, ape rate werayan wasayen obasamata ,deergayu!

නව අදහස දක්වන්න