“ශ්‍රී පාද වන්දනා වාරයේදී හිතු මතේට දන්සැල් බැහැ” | දිනමිණ


 

“ශ්‍රී පාද වන්දනා වාරයේදී හිතු මතේට දන්සැල් බැහැ”

රත්නපුර දිසා විශේෂ එන් පී රාජදොරේ
 ශ්‍රී පාදස්ථානාධිපති බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියන් සාකච්ඡාව ඇම­ැතීම

ඉදිරියේදී ආරම්භවන 2016 / 2017 ශ්‍රී පාද වන්දනා වාරයේදී යම් ස්වෙච්ඡා සංවිධානයක් හෝ යම් පුද්ගලයකු දන්සැල් දෙන්නේනම් ස්වෙච්ඡා සංවිධානය හෝ පුද්ගලයා ආසන්නයේ ඇති ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් අවසර ගත යුතු බවටත් තම හිතු මනාපයට දන්සල් දීමෙන් වැළකිය යුතු බවට ඉදිරි ශ්‍රී පාද වන්දනාවාරය සහ සධාතුක කරඬුව හා සමන් දේව ප්‍රතිමාව වැඬම කිරීම සම්බන්ධව 21 දා පැවති සාකච්ඡාවේදී තීරණය කෙරිණි.

රත්නපුර දිස්ත්‍රික් ලේකම් එම්.කේ. බන්ඳුල හරිස්චන්ද්‍ර මහතාගේ කැඳවීමෙන් ශ්‍රී පාදස්ථානාධිපති, ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති ,සබරගමු පළාතේ ප්‍රධාන සංඝනායක බෙන්ගමුවේ ධම්මදින්න නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී මේ සාකච්ඡාව පැවැත්විණි.

එම සාකච්ඡාවට සමන් දේව ප්‍රතිමාව සහ සධාතුක කරඬුව රැගත් පෙරහර ගමන්ගන්නා මාර්ගවලට අයත් ප්‍රාදේශීය ලේකම්වරුන්, පොලීසියේ නිලධාරීන්, ජලසම්පාදන මණ්ඩලය, විදුලි බල මණ්ඬලය වැනි ආයතන ඇතුළු රැසක නිලධාරීහූ සහභාගී වුහ.

වසර 3ක කාලයක් තිස්සේ අඛණ්ඩව කිසිම බාධාවකින් හා සෞඛ්‍යට හානියක් නොවන අන්දමින් පවත්වාගෙන යන දන්සල් කීපයක් ඇති බව නිලධාරීන් විසින් පෙන්වා දෙන ලදී.

මෙහිදී අදහස් දැක්වු රත්නපුර දිස්ත්‍රික් ලේකම්, එම්.කේ. බන්දුල හරිස්චන්ද්‍ර මහතා සමහර සංවිධාන සහ පුද්ගලයන් හිටි ගමන් දන්සල් දීමට කටයුතු කරනවා. දන්සල් දීමේ දී සෞඛ්‍යට හිත පරිදි ප්‍රමිතියෙන් යුතුව ලබා දිය යුතු දෙයක්. මෙය කාලයක් තිස්සේ දන්සල් පවත්වාගෙන ආ අයට කරන බාධා කිරීමක් නොවෙයි. දන්සල් පවත්වන සියලුම දෙනා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් අවසර ලබා ගන්නවානම් කාටත් හොඳයි.

දිස්ත්‍රික් ලේකම්වරයාගේ යෝජනාව මෙහිදී අනුමත කෙරිණිි. ශ්‍රී පාද වන්දනා වාරය තුළදී පොලිතින් ගෙන යාම මෙවරද තහනම් වන අතර ශ්‍රී පාද මාර්ගයේ වෙළෙඳ සල්වල පොලිතින් බෑග් විකිණීම තහනම් කිරීමටත් සමුපකාර ආයතන සඳහා සමුපකාර කොමසාරිස්වරයා මගින් දැනුවත් කිරීමට ද තීරණය කෙරිණි. ශ්‍රී පාද වන්දනා වාරයේ දී වන්දනාවේ යෙදෙන බැතිමතුන්ගේ ප්‍රයෝජනය සඳහා නව වැසිකිළි ඉදි කිරිමට සබරගමු පළාත් සභාවෙන් මුදල් ඉල්ලා සිටි බවත් කී රත්නපුර ප්‍රාදේශිය මහ ලේකම් සී. කෝට්ටවත්ත මහත්මිය සබරගමුව පළාත් සභාව විසින් තමන්ට ලක්‍ෂ 12ක මුදලක් වෙන්කර ඇතැයි ද කියා සිටියේය.

රත්නපුර දිස්ත්‍රික් ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා, 2016 වසර ගෙවීගෙනයි යන්නේ. යම් කටයුත්තක් සඳහා මුදල් වෙන්කර ගැනීමට අවශ්‍ය නම් වහාම අදාළ තොරතුරු තමන් වෙත ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටියේය.

බලංගොඩ ප්‍රදේශයෙන් ප්‍රථම වරට ගමන් කළ පෙරහර බලංගොඩ නගරයට පැමිණීම සවස 6.00 දක්වා කාලය ගත වූ නිසා උදේ කාලයේ සිට පැමිණ සිටි ජනතාවට විශාල වශයෙන් දුෂ්කරතාවනට මුණ පෑමට සිදුවු නිසා මෙවර බලංගොඩ ජනතාවට සවස 2.00න් පසුව පැමිණෙන ලෙස දැනුවත් කිරීමට තීරණය කර ඇති බව බලංගොඩ ප්‍රාදේශීය මහලේකම් චම්පික නිරෝෂ් ධර්මපාල මහතා කියා සිටියේය.

රත්නපුර දිස්ත්‍රික්කය තුළ සමන්දේව ප්‍රතිමාව සහ සධාතුක ‍කරඬුව රැගත් පෙරහැර ගමන් කරන පැල්මඩුල්ල, රත්නපුර, ඇහැළියගොඩ, කුරුවිට, ඉඹුල්පේ, ඕපනායක, බලංගොඩ සහ හැටන් මාර්ගයේ අඹගමුව, යටියන්තොට,

සීතාවක, රුවන්වැල්ල සහ දෙහිඕවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ප්‍රාදේශිය ලේකම්වරුන් සහ වරියන් අදහස්දක්වමින් තම කොට්ඨාසවල පෙරහර පිළිගැනීමට පෙර වර්ෂවල දී මෙන්ම සියලු කටයුතු සංවිධාන කර ඇති බව දන්වා සිටියේය. රත්නපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන් යටවන මහතා ශ්‍රී පාද වන්ඳනා වාරය පැවැත්වෙන කාලය තුළදී බැතිමතුන්ගේ ආරක්‍ෂාව පිණිස අවශ්‍ය පොලිස් ආරක්‍ෂාව ලබා දෙන බව කියා සිටියේය. කුරුවිට ප්‍රාදේශිය මහ ලේකම් ඒ.එස්.ජේ .ගොඩැල්ලවත්ත මහතා ශ්‍රී පාදස්ථානයට ගමන් කරන ආඬිමල තැන්න ප්‍රදේශයේ අතහැර දමන ලද ගොඩනැඟිල්ලක් තිබෙනවා. මෙම ගොඩනැඟිල්ල අලුත්වැඩියා කර ගැනීමට අවසර නෙවානම් විශ්‍රාම ශාලාවක් වශයෙන් පාවිච්චි කළ හැකියි. කුරුවිට සහ රත්නපුර මාර්ගයේ වන්දනා කරන වන්දනාකරුවන්ට ප්‍රයෝජනයට ගන්න පුළුවන්.

රත්නපුර දිස්ත්‍රික් ලේකම් එම්.කේ. බන්දුල හරිස්චන්ද්‍ර මහතා, ශ්‍රී පාදස්ථානයේ අවාරයේ වන්දනා කළ පිරිසක් ගොනැඟිලිවල වයර් සහ විදුලි උපකරණ ගලවා ගෙන ගොස් ඇති ආකාරය පෙන්නුම් කළ ඡායාරූප මාවෙත එවා තිබෙනවා. මෙවැනි ආකරයට උපකරණ ගලවා ගෙන යනවානම් බලවත් වරදක් යැයි කී දිස්ත්‍රික් ලේකම්වරයා මෙහෙම සිදුවුණොත් මේ සඳහා වසරක් පාසා අපට මුදල් වැය කරන්න සිදුවනවා. ඒක රජයේ මුදල් නාස්තියක්. මේ පිළිබඳ සොයා බැලීමක් සිදු කළ යුතුයි. විදුලි බිදවැටීම් සහ ජලය ලබාදීමේ දී අවශ්‍ය පරිදි සොයා බලා අදාළ පහසුකම් ලබාදීමට කටයුතු කරදෙන ලෙස අදාළ ආයතනවල නිලධාරීන්ගෙන් දිස්ත්‍රික් ලේකම්වරයා ඉල්ලා සිටියේය.

පසුගිය වර්ෂවල ප්‍රධාන පෙරහර ගමන් කිරීමට පෙර සමහර පුද්ගලයන් වාහනවල පුජාවට්ටි තබා ගෙන ගොස් මුදල් එකතු කිරීම් වාර්තා වුණා. සමන් දේව ප්‍රතිමාව සහ සධාතුක කරඬුව වඩම්මන පෙරහර ඉදිරියෙන් වෙනත් පෙරහර යන්න බැහැ. මුදල් එකතු කරන්නත් බැහැ. මෙවන් අකටයුතු සිදුවේ නම් ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා සහ පොලීසියේ නිලධාරීන්ගේ සහාය ලබා ගෙන එවැනි කටයුතුවල යෙදෙන්නන් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙසත් කී දිස්ත්‍රික් ලේකම්වරයා තරුණ සේවා සභාවේ ආපදා නිලධාරීන් ලෙස පුහුණු කරපු නිලධාරීන් පිරිසක් සිටිනවා මේ අයගේ සහායත් ලබාගත හැකි යයි පැවැසු අතර ඉදිරියේ ආරම්භ වන ශ්‍රී පාද වන්දනා වාරය සහ සමන්දේව ප්‍රතිමාව සහ සධාතුක කරඬුව රැගත් පෙරහැර සාර්ථකව කර ගැනීමට සියලුදෙනාගේ සහාය ලබා දෙන ලෙස ඉල්ලා සිටින ලදී.

ශ්‍රි පාදස්ථානාධිපති, ඌව විශ්වවිශ්ව විද්‍යාලයේ කුලපති සහ සබරගමු පළාතේ ප්‍රධාන අධිකරණ සංඝ නායක හා රත්නපුර දිසා ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ සභාපති බෙන්ගමුවේ ධම්මදින්න නා හිමියෝ, පසුගිය වර්ෂයේ සධාතුක කරඬුව සහ දේව ප්‍රතිමා වහන්සේලා රැගත් පෙරහර අප හිතුවාට වඩා ගමන් කිරීම ප්‍රමාද වුණා. ප්‍රමාදයට හේතුව ජනතාව ශ්‍රද්ධාවෙන් පොර කකා පිළිගැනීම කිරීමයි. පසුගිය වසරේදී මෙන්ම හැටන් මාර්ගයේත්, රත්නපුර පලාබද්දල රජමාවත මාර්ගයෙන් සහ බලංගොඩ මාර්ගයෙන් පෙරහර තුනක් ගමන් කරනවා.

‍2016-2017 ශ්‍රී පාද වන්දනා වාරය දෙසැම්බර් මහ 13 වන දින උඳුවප් පුර පසළොස්වක් පොහොදා ආරම්භ වනවා ‍. 11දා ජනතාවට පැල්මඩුල්ල ගල්පොත්තාවෙල ශ්‍රී පාද රජමහ විහාරයෙදී පුද පුජා පැවැත්වීමට සමන් දේව ප්‍රතිමාව විවෘත කර තබන බව කී බෙන්ගමුවේ ධම්මදින්න හිමියෝ පෙරහැර ගමන් කිරීම ප්‍රමාදය වැළැක්වීම සඳහා 12 දා මෙවර හැටන් සහ බලංගොඩ මාර්ගයෙන් ගමන් කරන පෙරහර දෙක පළමුවෙන්ම පැල්මඩුල්ල රජමහ විහාරයෙන් පාන්දර පිටත්වන බවත් අනතුරුව රත්නපුර පලාබද්දල රජමාවතින් ගමන් කරන පෙරහර පැල්මඩුල්ල ගල්පොත්තාවෙල ශ්‍රී පාද රජ මහ විහාරයෙන් පිටත් වී පැල්මඩුල්ල ඔරලෝසු කණුව වටා ගමන් කර රත්නපුර සමන් දේවාලයට පැමිණ ආපසු රත්නපුර නව නගරය වටා ගොස් සීවලී මධ්‍ය විද්‍යාලය මාර්ගය ඔස්සේ පලාබද්දල රජමාවත ඔස්සේ ශ්‍රී පාදස්ථානයට ගමන් කරන බවත් පැවසුහ.

හැටන් මාර්ගයෙන් ගමන්කරණ පෙරහර රත්නපුර හිදැල්ලන බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉදිරිපිට සිට බැතිමත් ජනතාවගේ පුද පූජා පඬුරු භාරගන්නා අතරම,රත්නපුර පලාබද්දල රජ මාවත ඔස්සේ ගමන් කරණ පෙරහර පැල්මඩුල්ලේ සිට පුද පූජා පඬුරු භාරගන්නා අතරම බලංගොඩ මාර්ගයේ ගමන් කරනු ලබන පෙරහර පැල්මඩුල්ලේ සිට පුද පුජා පඬුරු භාරගන්නා බව ධම්මදින්න නාහිමියෝ පැවසුහ.

රත්නපුර පලාබද්දල රජමාවතින් ගමන් කරන පෙරහැර සංවිධාන කටයුතු රත්නපුර ප්‍රාදේශීය ලේකම් තුමිය විසිනුත්, බලංගොඩ මාර්ගයෙන් ගමන්ගන්නා පෙරහැර බෝල්තුඹේ දේවාලයේ බස්නායක නිලමේ සිසිර ගේ පරණගම මහතා සහ බලංගොඩ හා ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් ද, හැටන් මාර්ගයෙන් ගමන් කරන පෙරහර අඹගමුව, යටියන්තොට, සීතාවක, රුවන්වැල්ල, දෙහිඕවිට ප්‍රාදේශීය ලේකම්වරුන්ට සංවිධාන කටයුතු පැවරෙන බව ශ්‍රී පාදස්ථානාධිපති හිමියෝ පැවසුහ.

නව අදහස දක්වන්න