රාජ්‍ය ව්‍යාපාර දියුණු කිරීමට මහ බැංකුවෙන් යෝජනා | දිනමිණ

රාජ්‍ය ව්‍යාපාර දියුණු කිරීමට මහ බැංකුවෙන් යෝජනා

ජයසිරි මුණසිංහ

මහාභාණ්ඩාගාරයටත්, පොදු මහජනතාවටත් බරක් නොවී රජය සතු ව්‍යාපාර 10ක් නඟා සිටුවීමට (මූල්‍ය තත්ත්වය වැඩි දියුණු කිරීමට) අදාළ ප්‍රතිසංස්කරණ යෝජනා ගොන්නක් මුදල් අමාත්‍යාංශය එළි දක්වා ඇත.

රජය සතු ව්‍යාපාර ලාභ ලබන සහ වඩාත් කාර්යක්ෂම, ඵලදායි ආයතන බවට පත් කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා‍ත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේත් සුසංයෝගයේ අරමුණ බවත්, ඒ අනුව මේ ප්‍රතිසංස්කරණ යෝජනා ඉදිරිපත් කළ බවත් මුදල් ඇමති රවී කරුණානායක මහතා ප්‍රකාශ කෙළේය.

රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමැති කබීර් හසීම්, රාජ්‍ය ඇමති එරාන් වික්‍රමරත්න යන මහත්වරු ප්‍රධාන නව අමාත්‍යංශයක් මේ සම්බන්ධව ක්‍රියාකාරීමට පත්කළ බවද මුදල් ඇමැතිවරයා සිහිපත් කෙළේය.

රාජ්‍ය අංශයේ බැංකු වන ලංකා බැංකුව, මහජන බැංකුව හා ජාතික ඉතිරිකිරීමේ බැංකුව සිය සේවා වැඩිදියුණු කිරීමට නව ප්‍රතිසංස්කරණ යෝජනා හයක් ක්‍රියාත්මක කළ යුතුය. රටේ ආර්ථිකයේ නැඟී එන අංශ හඳුනා ගනිමින් එම අංශයන් සඳහා ණය පහසුකම් ලබාදීම, ණය මුදල් කඩිනමින් ලබාදීම, තොරතුරු තාක්ෂණය හැකිතරම් බැංකු සේවාවලට යොදා ගැනීම ඒ ප්‍රතිසංස්කරණ යෝජනා අතර කැපී පෙනෙන ඒවා බවද මුදල් ඇමැතිවරයා කීය.

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ආර්ථිකයේ රක්ෂණ අනුපාතය ඉහළ නැංවීම සඳහා ක්‍රමවේදයන් ක්‍රියාත්මක කිරීම හා වැඩිවන වයස්ගත ජනගහනය සලකා විශ්‍රාම සැලසුම් ක්‍රම හඳුන්වාදීම කළ යුතු වේ.

ලංකා විදුලිබල මණ්ඩලය - බෙදාහැරීමේ පද්ධතියේ පද්ධති අලාභයන් අවම කිරීම සඳහා ක්‍රමවේදයන් ක්‍රියාත්මක කිරීම,

පුනර්ජනනීය නොවන බලශක්ති ප්‍රභවයන් හා ගල්අඟුරු භාවිතය ඇතුළත් අඩු පිරිවැය උත්පාදන සංයුතියක් ඇති කිරීම තුළින් බලශක්ති සුරක්ෂිතතාවය තහවුරු කිරීම.

ආර්ථිකයේ ප්‍රමුඛ නැගී එන කර්මාන්ත සඳහා සහන මිලට විදුලිය ලබාදෙන අතරම පිරිවැය පිළිබිඹු වන මිල ප්‍රතිපත්ති ක්‍රමයක් කරා ගමන් කිරීම කළයුතුවේ.

ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව - රජයන් අතර ඇතිකර ගන්නා ගිවිසුම් මඟින් මර්බන් බොරතෙල් මිලදී ගැනීමේ හැකියාව පරීක්ෂා කිරීම.

ත්‍රිකුණාමලය තෙල් ටැංකි ගබඩාව නැවත ප්‍රයෝජනයට ගැනීමේ හැකියාව පරීක්ෂා කිරීම.

වරායේ සිට ගබඩා වෙත තෙල් ප්‍රවාහනය කිරීම සඳහා රට හරහා ස්ථාපිතකර ඇති තෙල් නළ පද්ධතිය යල්පැන ගොස් ඇති බැවින් ඉහළ යන පිරිවැය අවම කිරීම සඳහා උසස් තාක්ෂණයෙන් යුතු නව තෙල් නළ ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සැලසුම් කිරීම.

ශ්‍රී ලංකා වරාය අධිකාරිය - යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම හා නවීන තාක්ෂණය හඳුන්වාදීම තුළින් ධාරිතා වර්ධනය කිරීම.

ඉහළ යන මූල්‍ය පිරිවැයට අනුගත විය හැකි පරිදි මධ්‍ය කාලීන ඉලක්කගත ආදායම් වර්ධන ක්‍රියාදාමයන් සහිතව වරාය අංශයට විශේෂිත වූ අලෙවිකරණ හා ව්‍යාපාර සංවර්ධන සැලසුම් හඳුන්වා දීම.

වරාය අධිකාරියේ සමස්ත ණය වගකීම් ප්‍රමාණය එහි සමස්ත වත්කම් වලින් සියයට 69ක් පමණ නියෝජනය වන බැවින්, ක්‍රමවත් ණය ස්ථායීකරණයක් සඳහා යෝග්‍ය ණය කළමනාකරණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය - යෝජිත ව්‍යාපෘති නිසි කලට ක්‍රියාත්මක කිරීම සඳහා සමීප ව්‍යාපෘති අධීක්ෂණ යාන්ත්‍රණයක් හඳුන්වා දිය යුතුය.

ආදායම් නොලබන ජලය අවම කිරීම ඉලක්ක කර ගත් ව්‍යාපෘති ආයතනයේ ආදායම වර්ධනය කර ගැනීම සඳහා කඩිනම් කළ යුතුය.

ව්‍යාපෘතියක් තෝරා ගැනීමට ප්‍රථම විධිමත් පිරිවැය ප්‍රතිලාභ විශ්ලේෂණය කළ යුතුය.

සුරක්ෂිත පානීය ජල ආවරණය 100%ක මට්ටමක් සහතික කිරීම සඳහා දිගුකාලීන උපාය මාර්ග සකස් කළ යුතුය.

සී / ස ගුවන්තොටුපළ හා ගුවන්සේවා (ශ්‍රී ලංකා) සමාගම - මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ රජයේ ප්‍රතිපත්ති රාමුවට අනුකූලව විශේෂිත ව්‍යාපාර ඒකකයක් ලෙස කළමනාකරණය කළ යුතුය.

සංචාරකයන් අතර රටෙහි සන්නාම ප්‍රතිරූපය පවත්වා ගැනීමට වැදගත් වන කාර්යක්ෂම සේවාවක් සැපයීම සී/ස ගුවන්තොටුපළ හා ගුවන්සේවා (ශ්‍රී ලංකා) සමාගම විසින් තහවුරු කළ යුතුය.

ඉල්ලුම වැඩිවීමට සමගාමීව ගුවන්තොටුපළ හා බිම් මෙහෙයුම් කටයුතු හසුරුවීමද ඇතුළුව යටිතල පහසුකම් පුළුල් කළ යුතුය.

සංචාරක කර්මාන්තයේ වර්ධනයට සමගාමීව අභ්‍යන්තර ගුවන් තොටුපළවල් වර්ධනය කළ යුතුය.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම - පහළ මෙහෙයුම් කාර්යසාධනය නිසා මුහුණ දී ඇති මූල්‍ය ගැටලු මග හරවා ගැනීම සඳහා සුදුසු හවුල්කරුවකු තෝරා ගැනීමේ ක්‍රියාවලිය කඩිනම් කළ යුතුය.

ධාවන මාර්ග සකස් කිරීම ගුවන් ඇණිය නැවත සකස් කිරීම හා අනෙකුත් පාලන මිණුම් නිවැරදිව පවත්වා ගැනීම තුළින්, සිදු කරන ලද මූලික උපකල්පනයන්ට යටත්ව, ශ්‍රී ලංකන් ගුවන් සමාගම වර්ෂ 2.5ක කාල සීමාව තුළ අලාභ නොලබන තත්ත්වයට පැමිණිය හැකි බව මුදල් අමාත්‍යංශයෙන් පත් කරනලද උපදේශකවරුන් විසින් පෙන්වා දී ඇත.

නව අදහස දක්වන්න