‘රගර් සෙවන්ස්’ සමස්ත ලංකා පාසල් ක්‍රීඩාවක් වෙයි | දිනමිණ

‘රගර් සෙවන්ස්’ සමස්ත ලංකා පාසල් ක්‍රීඩාවක් වෙයි

වර්නන් ගුණසේකර

පිලකට සත් දෙනා බැගින් වන ‘රගර් සෙවන්ස්’ ක්‍රීඩාව ලබන වසරේ සිට සමස්ත ලංකා පාසල් ක්‍රීඩාවලට ඇතුළත් කර ගැනීමට යයි.

අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් පරිදි අවුරුදු 16 – 20 වයස් ඛාණ්ඩය යටතේ ‘රගර් සෙවන්ස්’ ක්‍රීඩාව සමස්ත ලංකා පාසල් ක්‍රීඩාවක් බවට පත් කෙරෙනු ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශයේ විශේෂ ක්‍රීඩා උ‍පදේශක සුනිල් ජයවීර මහතා ‘දිනමිණ’ට කියා සිටියේය.

“ආසියාතික රගර් තරග බිමේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම ප්‍රවර්ධනයක් දක්වා තිබෙනවා. ශ්‍රී ලංකා පාසල් කණ්ඩායමත් ජාත්‍යන්තර තරග ජයග්‍රහණ අත්කර ගත්තා. පාසල් මට්ටමේ සිටම ජාත්‍යන්තරයට යාමට හපන් ක්‍රීඩකයන් බිහි කිරීම මේ නව ක්‍රියාවේ අරමුණයි” ජයවීර මහතා පවසා සිටියේය.

ශ්‍රී ලංකා පාසල් රගර් සෙවන්ස් කණ්ඩායම් දෙකක් මේ වසරේදී ජාත්‍යන්තර පිටියේ විශිෂ්ට දස්කම් ප්‍රදර්ශනය කරමින් ශූරතා දෙකක් හිමිකර ගැනීමට සමත් විය. වයස අවුරුදු 20න් පහළ ජාතික පාසල් කණ්ඩායම ආසියානු තරුණ රගර් සෙවන්ස් තරගාවලියේ සමස්ත ශූරතා කුසලානය දිනා ගත් අතර කනිෂ්ඨ කණ්ඩායම අවුරුදු 18න් පහළ ආසියානු රගර් සෙවන්ස් තරගාවලියේ ශූරයෝ වූහ.

දක්ෂතා දක්වන පාසල් රගර් ක්‍රීඩකයන්ට විශේෂ ලකුණු එක්වනු ඇතැයිද එය ඔවුන් සරසවියට යාමට දරන ප්‍රයත්නයේදී මහත් ශක්තියක් වනු ඇතැයිද සුනිල් ජයවීර මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

මේ අතර ලබන වසරේ සිට අධ්‍යාපන අමාත්‍යංශය මෙහෙයවන සියලුම තරගාවලියන්හි වයස් ඛාණ්ඩවල වෙනසක් සිදු කිරීමටද තීරණය වී තිබේ.

මේ අනුව පාසල් මලල ක්‍රීඩා හා කණ්ඩායම් ක්‍රීඩා තරග පැවැත්වෙනු ඇත්තේ වයස අවුරුදු 12න් පහළ, 14න් පහළ, 16න් පහළ, 18න් පහළ හා 20න් පහළ වශයෙනි. ජාත්‍යන්තරයේ තරග පැවැත්වෙන්නේ මේ වයස් සීමාවන්වල නිසා මේ වෙනස සිදු කිරීමට තීරණය වී ඇත. මෙතෙක් මේ තරග පැවැති වයස් ඛාණ්ඩයන් වූයේ අවුරුදු 13න් පහළ, 15න් පහළ, 17න් පහළ, 19න් පහළ හා 21න් පහළ ලෙසිනි. 

 

නව අදහස දක්වන්න