නාමල් රාජපක්ෂ ඇතුළු සැක හයකට නඩු | දිනමිණ

නාමල් රාජපක්ෂ ඇතුළු සැක හයකට නඩු

කුමුදු හෙට්ටිආරච්චි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස සිය නිල බලය අයුතු ලෙස යොදවා රුපියල් මිලියන 45ක මුදලක් උපයා ගැනීම සම්බන්ධයෙන් වන සිද්ධීන් දෙකකට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් හය දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ නඩු පැවරීමට යයි.

මේ පැමිණිලි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා හමුවේ ඊයේ (08) කැඳවූ අවස්ථාවේ සැකකරුවන් සම්බන්ධව නීතිපතිවරයාගේ ස්ථාවරය අධිකරණයට දැනුම්දීම සඳහා දිනයක් ලබාදෙන ලෙසට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අතිරේක මහේස්ත්‍රාත්වරයාගෙන් ඊයේ (08) ඉල්ලා සිටියේය. අධිකරණය හමුවේ ඊයේ (08) පෙනී සිටි සිද්ධීන් දෙකට සම්බන්ධ සැකකරුවන් වන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, සුදර්ශන බණ්ඩාර ගනේගොඩ, නිත්‍යා සමරනායක හා සුජානි බෝගොල්ලාගම යන සැකකරුවන් හා සැකකාරියන් සිව්දෙනා ඔවුනට නියම කරන ලද පෙර ඇප මතම මුදා හැරීමට අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. අධිකරණය මඟහැර සිටින ඉන්දික කරුණාජීව හා ඉරේෂාද සිල්වා යන අය අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කරන ලෙසට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කළ ඉල්ලීම දිවුරුම් ප්‍රකාශයක් මගින් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට අතිරේක මහේස්ත්‍රාත්වරයා ඊයේ (08) අවවාද කළේය.

නීතිපතිවරයාගේ ස්ථාවරය දැනුම්දීම සඳහා මෙම පැමිණිලි දෙක යළි ලබන පෙබරවාරි මස 09 වැනිදා යළි කැඳවීමට ද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා ඊයේ (08) නියෝග කළේය.


නව අදහස දක්වන්න