නබිනායක ඉගැන්වීම් - අසීමිත මානව දයාවයි | දිනමිණ


 

නබිනායක ඉගැන්වීම් - අසීමිත මානව දයාවයි

 

ශුද්ධ වූ නබි නායකතුමාගේ ඉගැන්වීම් විශ්ව ප්‍රජාව වෙත ගලා යනුයේ අසීමිත මානව ප්‍රේමයේ සුවඳ විහිදුවාලමින් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි.

සමස්ත ලෝකවාසී මුස්ලිම් ප්‍රජාව අතිමහත් බැතියෙන් සමරන මිලාදුන් නබි උත්සවයට ශ්‍රී ලංකාවාසී ජනතාවගේ සහ තමාගේ සුබ පැතුම් එක් කරමින් ජනාධිපතිතුමා එසේ කියා සිටී.

ජනාධිපතිතුමාගේ සුබ පැතුම් පණිවුඩයේ මෙසේද සඳහන් වේ.මානව ශිෂ්ටාචාරයේ අධ්‍යාත්මික පරිණාමය ඇරඹෙන්නේ ආගම් පහළ වීමත් සමගමය. එතැන් සිට මානවයා හික්මීමකින් හෙබි, පිළිවෙතින් සරු, විනයගරුක දිවිපෙවෙතකට අනුගත වූයේය.

සියලු ආගම් ශාස්තෘවරුන්ගේ දැක්ම සමාජ යහපතම අරමුණු කර ගත්තකි. සාමය සහ සහජීවනය මෙන්ම මිනිසා අතර වන මානුෂීය බැඳීම්වල වටිනාකම් අගයන ශුද්ධ වූ නබිනායකතුමාගේ ඉගැන්වීම් විශ්ව ප්‍රජාව වෙත ගලා යනුයේ අසීමිත මානව ප්‍රේමයේ සුවඳ විහිදුවාලමිනි.

‍මක්කම ආක්‍රමණය කෙරුණු අවස්ථාවේ බලයෙන් අනූනව හුන් උන්වහන්සේ දේශනා කළේ “මිනිසකු තවත් මිනිසකුට වඩා උසස් යැයි සිතීම මෙන්ම මිනිසුන් දෙදෙනකු අතර ඇති වෛරයද මම හෙළා දකිමි” යනුවෙනි. ඒ තුළම උන්වහන්සේගේ මහා මානව දැක්ම කැටපත්ව තිබේ.

විශ්වීය සහෝදරත්වයේ ධජය ලෙළදෙන නබි නායකතුමාගේ දැක්ම, සමාජ සහජීවනය සහ මනුෂ්‍යත්වයේ උණුසුම් සබැඳියාව ඉහළින් අගයන අද දවසට ද අත්‍යන්තයෙන්ම අදාළ වන සර්වකාලීන දහමකි.

ශුද්ධ වූ නබි නායකතුමාගේ ජන්ම ලාභය දේශ සීමා අතික්‍රමණය කරමින් විශ්ව ප්‍රජාව වෙත පොදු සුබ පැතුමක් බවට පත්වන්නේ එහෙයිනි. අද දින සමස්ත ලෝකවාසී මුස්ලිම් ප්‍රජාව අතිමහත් බැතියෙන් සමරන මිලාදුන් නබි උත්සවයට ශ්‍රී ලංකාවාසී ජනතාවගේ සහ මාගේ සුබ පැතුම් පිරිනමමි. 

 

නව අදහස දක්වන්න