රතුපස්වල වෙඩි තැබීමේ සිද්ධියේ අවි අධිකරණයට | දිනමිණ

රතුපස්වල වෙඩි තැබීමේ සිද්ධියේ අවි අධිකරණයට

පිරිසිදු පානිය ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ වැලිවේරිය රතුපස්වල ගම්වාසීන්ට වෙඩි තැබු අවස්ථාවේ රාජකාරියේ නිරතව සිටි යුද හමුදා නිලධාරින් 40 දෙනෙක් ළඟ තිබු ටී 56 අවි 40 ක් අපරාධ දෙපාර්තමේන්තුව බාරයට ගෙන ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට බාරදෙනු ලැබීය. එම අවි 40 රජයේ රස පරික්ෂක වෙත යවා වාර්තාවක් ලබා දෙන ලෙස ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් කාවින්දා නානයක්කාර මෙනවිය ඊයේ (15) නියෝග කළාය.

රතුපස්වල පිරිසිදු පානීය ජලය ඉල්ලූ ජනතාවට 2013 අගෝස්තු පළමු වැනිදා යුද හමුදාවෙන් කළ වෙඩි තැබීමෙන් පාසල් සිසුහු දෙදෙනෙක් ඇතුළු තිදෙනෙක් මිය ගොස් තවත් විශාල පිරිසක් තුවාල ලැබූහ.

උද්ඝොෂණය අතරතුර මිය ගිය තිදෙනාගෙන් දෙදෙනකුගේ හිසට වෙඩි වැදී තිබුණු බවට වෛද්‍යවර්තා අනුව තහවුරු වී ඇතැයි ද, අනෙක් පුද්ගලයා පහරකෑමට ලක්ව තිබු බවට තොරතුරු අනාවරණය වී ඇතැයි ද රහස් පොලිසිය මීට පෙර අධිකරණයට දන්වා තිබුණි.

පිරිසිදු පානීය ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ වැලිවේරිය රතුපස්වල ගම්වාසීන්ට යුද හමුදාවෙන් වෙඩි තැබූ අවස්ථාවේ එම උද්ඝෝෂණය පාලනය කිරීමට යුද හමුදාව ගෙන ආ ගිනි අවි 107ක් මේ වන තුරු යුද හමුදාව පොලිසියට බාර දී නැතැයි රහස් පොලිසිය පසුගිය ජුනි මස 24 දා ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා තිබුණි.

රතුපස්වල ගම්වාසීන්ට යුද හමුදාවෙන් වෙඩි තැබු අවස්ථාවේ එම උද්ඝෝෂණය පාලනය කිරිමට ගෙන ආ යුද හමුදා නිලධාරින් 40 දෙනෙක් ළඟ තිබු ටී 56 අවි 40 ක් අපරාධ දෙපාර්තමේන්තුව බාරයට ගෙන ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ (15) බාර දුන්නේය. 

නව අදහස දක්වන්න