පුංචි ව්‍යාපාරවලට අත දුන් වසරක් | දිනමිණ

පුංචි ව්‍යාපාරවලට අත දුන් වසරක්

ජයසිරි මුණසිංහ

 

කොළඹ දිස්ත්‍රික් වාණිජ මණ්ඩලයේ සභාපති ආචාර්ය අමිල කංකානම්ගේ

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට දිරියෙන් ජාත්‍යන්තරය ජයගන්නට උදවු කළ සාර්ථක වසරක් ලෙස 2016 හැඳින්විය හැකි බව කොළඹ දිස්ත්‍රික් වාණිජ මණ්ඩලයේ සභාපති ආචාර්ය අමිල කංකානම්ගේ මහතා ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකාවෙන් විදේශ වෙත පිටත් වූ වෙළෙඳ දූත කණ්ඩායම්වලට සාර්ථක ප්‍රතිඵල අත්කර දුන් දූත සංචාරය හයක් මේ වසරේ ක්‍රියාත්මක කළ බව කී ආචාර්ය අමිල කංකානම්ගේ මහතා, ඉන් මෙරට ව්‍යාපාරිකයන් නව වෙළෙඳපොළ සංස්ථා, ආයෝජන අවස්ථා වැඩි කර ගැනීමට හැකි වූ බව ද කීය.

ඕස්ට්‍රේලියාව, හොංකොං, සිංගප්පූරුව, තායිවානය, ඉන්දියාව වැනි රටවල දූත සංචාර හා වෙළෙඳ ප්‍රවර්ධන වැඩසටහන් පැවැත් වූ බව කී සභාපතිවරයා, ඉන් ජය ගැනීමට අපේ ව්‍යාපාරිකයන්ට හැකි වූ බව ද කීය.

ශ්‍රී ලංකාවේ තරුණ ව්‍යවසායකයන්ට ලෝක වෙළෙඳපොළ ජය ගැනීමට උදවු කිරීමට අමතරව, සමාජ සත්කාර සේවා ලෙස විශාල සේවයක් ගත වූ මාස 12 තුළ සිදුකළ බව ද කී සභාපතිවරයා ශ්‍රී ලංකා රතුකුරුස සංගමය හා එක්ව හදිසි ආපදා තත්ත්වයන්ට මුහුණ දුන් පිරිසට සහන ලබාදීමට කටයුතු කළ බව ද කීය. හදිසි ආපදා තත්ත්වයන්ට පත්වන ජනතාවට සේවා සැපයීමට කැපවන ජනමාධ්‍යවේදීන්ට සිය සේවා පහසු කිරීමට ඉඩකඩ ලබාදීම උදෙසා ජාතික මට්ටමේ සම්මන්ත්‍රණයක් කොළඹ පැවැත්වුණි. ජනාධිපති ලේකම් කාර්යාලය, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශ, පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශය, ආපදා කළමනාකරණ අමාත්‍යාංශය, රාජ්‍ය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පත්‍ර කලා සංගමය මේ වැඩපිළිවෙළ එකම වේදිකාවක සිට ක්‍රියාවට නැංවිණි.

ආසියානු කලාපීය තරුණ හොඳම ව්‍යවසායකයා තේරීමෙන් මේ වන විට හොඳම තුන්දෙනා අතරට තේරීමට තමාට හැකි වූ බව ද කංකානම්ගේ මහතා කීය. එය පෞද්ගලිකත්වයට වඩා රටට ලැබුණු හොඳ අවස්ථාවක් බව ඔහු සිහිපත් කළේය.

තජිකිස්ථානයේ ජනාධිපති එමෝමලි රහ්මන් මහතා ඉකුත් දා මෙරට සිදුකළ රාජ්‍ය තාන්ත්‍රික සංචාරය ඇතුළත දී දෙරටේ වාණිජ මණ්ඩල අතර සුහඳතාව, සේවා පුළුල් කිරීමට, ද්විපාර්ශ්වික ගිවිසුමක් අත්සන් කළේය. එරට වාණිජ හා කර්මාන්ත අමාත්‍යාංශය හා ශ්‍රී ලංකාවේ උපාය මාර්ගික සංවර්ධන හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශය, කර්මාන්ත අංශය මෙය සාර්ථක කිරීමට උදවු කරන බව ද සභාපතිවරයා කීය. අපේ වාණිජ මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය තරුණ වෘත්තීයවේදීන්ගෙන් සහ ව්‍යවසායකයන්ගෙන් සැදුම්ලත් එකක් බව කී සභාපතිවරයා ඔවුන්ගේ දැනුම, අත්දැකීම්, පළපුරුද්ද, නව ලොව තාක්ෂණික හා කළමනාකරණ ක්‍රමවේද මතින් මෙරට ව්‍යවසායකයන් ඉදිරි ව‍සරේ දීත් ඔසවා තැබීමට යොදා ගන්නා බවට තමාට සහතික යැයි ද කීය. 

නව අදහස දක්වන්න