සුපිරි ඇමැති කතා අතර ඩිව් පෙරට තිස්ස පස්සට | දිනමිණ

සුපිරි ඇමැති කතා අතර ඩිව් පෙරට තිස්ස පස්සට

• ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් මැති ඇමතිවරුන්ද මේ පනත ගැන කලබල වී ඇති බව පෙනෙන්ට තිබෙනවා. සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේදි අගමැතිවරයා මේ පනත ගැන පැහැදිලි කළා. විශේෂ බලතල ඇති ඇමැතිධූරයක් පනතින් බිහි නොවන බව අගමැතිවරයා පැහැදිලි කළා.

• ලංකා සම සමාජ පක්ෂය සමඟ ජනාධිපතිතුමා කළ සාකච්ඡාවේදී මහාචාර්ය තිස්ස විතාරණ මහතා කීවේ වෙනත් කතාවක්. ව්‍යවස්ථාවට සහය පළ නොකළ ඔහු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියේ විධායක ජනාධිපති බලතල පාවිච්චි කරමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉවත්කර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් ගොඩනගන ලෙසයි. එයට ජනාධිපතිතුමා ප්‍රතිචාර දැක්වූයේ උපහාස සිනහවකින්.

• පළාත් පාලන මැතිවරණය කල්යෑම පිළිබඳවද ජවිපෙ නායකයින්ගේ අවධානය යොමු වුණා. ”පළාත්පාලන මැතිවරණය ගැන තවමත් ආණ්ඩුව පැහැදිලි දෙයක් කියන්නේ නැහැ. එක එක ඇමතිවරු එක එක කතා කියනවා. මේ ආණ්ඩුවේ හැම වැඩක්ම වාගේ මේ මැතිවරණය ගැනත් ස්ථාවරය පැහැදිලි නැහැ” සුනිල් හඳුන්නෙත්ති කීවා.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ දිනවල ලබන වසරේ ක්‍රියාත්මක කිරීමට නියමිත ආණ්ඩුවේ ආර්ථික උපාය මාර්ග සැලසුම් කරමින් සිටිනවා. හම්බන්තොට වරාය සඳහා චීන ශ්‍රි ලංකා ඒකාබද්ධ සමාගමක් පිහිටුවීමේ ගිවිසුම එහි එක් පියවරක්. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ දෙවැනි පදවි ප්‍රාප්තිය යෙදෙන 2017 ජනවාරි 08 දා එය ආරම්භ වීමට නියමිතයි. ඊට පෙර ජනවාරි 03 දා කුලියාපිටියේදී වොක්ස්වගන් වාහන නිෂ්පාදනාගාරයද ආරම්භ කෙරෙ‍නවා.

ආර්ථික සංවර්ධනය කඩිනම් ‍කිරීම සඳහා විදේශිය ආයෝජකයින්ට පහසුකම් සැලසීම ගැනද අගමැති වික්‍රමසිංහ මහතා සැලසුම් සකස් කරමින් සිටිනවා. විදේශ ආයෝජකයින්ට තිබෙන ප්‍රධාන ප්‍රශ්නයක් වන්නේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට විවිධ ආයතන රාශියකින් අවසර ගැනීමට සිදුවීමත් එහිදි විශාල කාලයක් ගත වීමත්ය. පසුගිය කාලයේදි විදේශ ආයෝජකයින්ට අවසර ලබා දීමේදි අල්ලස් ගැනුණු බව ප්‍රසිද්ධ රහසක්. මිස්ටර් ටෙන් පර්සන්ට් ලෙස හැඳින්වුණු සුපිරි ඇමැතිවරුන් පොහොසත් වුණේ එසේ අල්ලස් ලබා ගැනීමෙන් බව කවුරුත් දන්නා කරුණක්. මෙම ක්‍රමය වෙනස් කර විදේශ ආයෝජකයින්ට අනුමැතිය එක දිනකින් ලබා දීමටත් ඒ සඳහා අදාළ අමාත්‍යාංශ සම්බන්ධීකරණයටත් ආයතනයක් පිහිටුවීමට අගමැතිවරයා උපදෙස් දුන්නා. සංවර්ධන විශේෂ විධිවිධාන පනත ඉදිරිපත් කෙරෙන්නේ ඒ ආකාරයෙන්.

මෙම පනත ගැන ඒකාබද්ධ විපක්ෂය පහුගිය සතියේ කෑගැසීමට පටන් ගත්තා. බන්ධුල ගුණවර්ධන ඇමතිවරයා පැවසුවේ මෙය ජනාධිපතිවරයාටත් වඩා බලවත් ඇම­ැතිධූරයක් නිර්මාණය කිරීමක් බවයි. ‍මෙයින් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර ගැටුමක් ඇති කිරීමටත් ඔවුන් අදහස් කළා විය යුතුයි.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේද ඇතැම් මැති ඇමතිවරුන්ද මේ පනත ගැන කලබල වී ඇති බව පෙනෙන්ට තිබෙනවා. සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේදි අගමැතිවරයා මේ පනත ගැන පැහැදිලි කළා. විශේෂ බලතල ඇති ඇමැතිධූරයක් පනතින් බිහි නොවන බව අගමැතිවරයා පැහැදිලි කළා.සිදු කෙරෙන්නේ සියලු අමාත්‍යාංශත් පළාත් සභාත් සම්බන්ධීකරණය කෙරෙන එක ආයතනයක් ගොඩ නැගීම බවත් අගමැතිවරයා පෙන්වා දුන්නා. මෙය චීනයේ ක්‍රියාත්මක වන වන් ස්ටොප් ෂොප් වැනි ආයතනයක්. මෙරටට විදේශ ආයෝජන ලබා ගැනීමට එබඳු ආයතනයක් අවශ්‍ය බව අමාත්‍ය මණ්ඩලයේ බොහෝ දෙනා පිළිගත්තා.

පළාත් සභවල බලතල පවරා ගන්නා බවට තවත් චෝදනාවක් පනතට එල්ල වී තිබෙනවා. මහ ඇමතිවරුන් ඒ ගැන කලබල වී සිටින නිසා අද අරලිය ගහ මන්දිරයේදි ඔවුන් හමුවී කරුණු පැහැදිළි කිරීමටත් අගමැතිවරයා ක්‍රියා කරනවා.

සෑම වසරකදීම ඉන්දියාවේ තිරුපති කෝවිලට ගොස් වැඳ පුදා ආශිර්වාද ලබා ගැනිම අගමැති වික්‍රමසිංහ මහතාගේ සිරිතක්. ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතා බිරිය මහාචාර්ය මෛත්‍රි වික්‍රමසිංහ මහත්මිය සමග බදාදා රාත්‍රියේ චෙන්නායි බලා පිටත්ව ගොස් ඊයේ රාත්‍රියේ මෙරටට යළි පැමිණීමට නියමිතව තිබුණා. ලබන වසරේ ක්‍රියාත්මක කිරීමට යන දැවැන්ත සංවර්ධන වැ‍ඩ පිළිවෙලට ආශිර්වාද ලබා ගැනීමද මෙම ගමනේ අරමුණක්.

ප්‍රේමදාස ඇමැතිවරයා මේ සතිය ආරම්භ කළේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සමඟ ඉහළම පෙළේ උත්සව දෙකකට සහභාගී වෙමින්. පළමු උත්සවය යෙදී තිබුණේ සඳුදා බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී. ඒ ජනාධිපතිවරයා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාකරියේ 2016 ජාතික ඉදිකිරීම් සම්මාන උළෙලයි. ඉකුත් වසරේද මෙම සම්මාන උළෙලට ජනාධිපතිවරයා සහභාගි වුණා. සජිත්, නියෝජ්‍ය ඇමැති ඉන්දික සමඟ ජනාධිපතිවරයා පිළිගෙන සෝපානයෙන් ඉහළ මාලය වෙත කැටුව යද්දී ඉන්දික කීවේ “සර් අපෙ ඇමතිතුමා හොඳ වැඩකට අත ගහලා, නිවාස විසිපහේ උදා ගම්මාන 14ක් ඉදිකරන්න ඉදිකිරීම් සමාගම් 11ක්, අද ලක්ෂ 1,050ක් පරිත්‍යාග කරනවා” කියාය. ජනාධිපතිවරයා කීවේ “එයා දක්ෂයා තාත්තගෙම පුතා” කියාය. අනතුරුව ජනාධිපතිවරයා කීවේ” ඔය දෙන්නා එකමුතුවෙලා මෙතන කරන වැඩ ගැන මට හරි ආඩම්බරයි, කියාය‍.

අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණ පරිශ්‍රයේ පසුවදා සංවිධානය කර තිබුණේ දීර්ඝ කාලයක් මුළුල්ලේ කොළඹ දිස්ත්‍රික්කයේ රජයේ නිවාසවල ජීවත් වූ හා රජයේ ඉඩම්වල අනවසරයෙන් පදිංචි වී සිටි පවුල් 2,667කට අදාළ දේපොළ සඳහා නීත්‍යානුකූල ඔප්පු හිමිකම් සහතික හා බදු ඔප්පු පිරිනැමීමේ උත්සවයයි. අගමැතිවරයා ඉකුත් මැතිවරණ සමයේ දුන් ප්‍රතිඥාවක් ඉටු කිරීම සඳහා මෙම උත්සවය විචිත්‍රවත්ව සංවිධානය කර තිබුණා. එහිදී අගමැතිවරයා කථා කරමින් කීවේ දිවංගත රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා ආරම්භ කළ දැවැන්ත නිවාස වැඩපිළිවෙළ අවුරුදු 20කට පස්සේ නැවත ක්‍රියාත්මක කරන සජිත් ප්‍රේමදාස මැතිතුමා රට වටේ ගිහින් ග්‍රාමීය නිවාස හදන්නටත්, නාගරික ජනතාවගේ නිවාස සිහිනය සැබෑ කිරීම සඳහා ඔප්පු ලබා දෙන්නටත් විශාල උත්සාහයක් ගන්නවා. එතුමා කරන ඒ කටයුතු මා අගය කරනවා” කියාය. අගමැතිවරයා සිය කථාව කරමින් සිටින අතරතුරදී පසුබිමේ සවිකර තිබුණු දැවැන්ත ඩිජිටල් තිර දෙකේ දිස්වුණු විවිධ ප්‍රක්ෂේපණ දෝෂ ගැන සජිත්ට එක්වරම ඇතිවූයේ කෝපයක්. සජිත් වහාම සිය නිලධාරීන් ගෙන්වා එවැනි දෝෂ හටගත්තේ කෙසේදැයි විමසුවා. කැමරා කෝණ පරීක්ෂා කර තහවුරු කිරීමෙන් පසුව පෙනීගියේ කිසිවෙකු විසින් නොදන්වා අගමැතිවරයාගේ කථිකාසනය පිහිටි ස්ථානය වෙනස් කිරීම නිසා මේ අවුල හටගෙන තිබූ බවයි. කෙසේ වෙතත් දෝෂය ඉතා ඉක්මනින් නිවැරැදි කළා.

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලය පසුගිය 21වෙනිදා පැලවත්ත ප‍්‍රධාන කාර්යාලයේදී රැස්වුණා. මෙහිදී විශේෂයෙන් අවධානය යොමු වූයේ වත්මන් ආණ්ඩුවේ ආර්ථික උපාය මාර්ග පිළිබඳ සහ පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය පිළිබඳවය.

”මේ ආණ්ඩුව ආර්ථික අර්බුදයෙන් ගැලවෙන්න කියලා කරන්නේ රටේ සම්පත් විකුණන එක. විකුණන ලිස්ට් එකෙන් උඩට ඇවිත් තියෙන්නේ හම්බන්තොට වරාය. අලූත් අවුරුද්දේ ජනවාරි මාසයේ හත්වෙනිදා ඒකට ගිවිසුම් අත්සන් කරන්නයි යන්නේ.” ටිල්වින් සිල්වා සාකච්ඡාව ආරම්භ කළා. ”.මේවාට ගිවිසුම් අත්සන් කරන්න යනවා කියනවා. අඩුම තරමේ රටේ පාර්ලිමේන්තුවවත් ඒ ගිවිසුම් ගැන දන්නේ නෑ. ජනතා නියෝජිතයෝ විදියට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ගිවිසුමේ තියෙන්නේ මොනවද කියලා දැනගන්න අයිතියක් තියෙනවා.” පක්ෂ නායක අනුර දිසානායක කීවා. ”ඔව්, මේ ආණ්ඩුව ආවෙත් යහපාලන බෝඞ් එකට මුවාවෙලා. පහුගිය ආණ්ඩුව ජනතාවට කොළේ වහලා ගැහුවා. මේ ආණ්ඩුව විනිවිදභාවයෙන් වැඩකරන්වා කිව්වා. තොරතුරු දැනගැනීමේ අයිතිය ගැන පම්පෝරි ගැහුවා. දැන් මේ ආණ්ඩුවත් හොර ගිවිසුම් ගහලා විකුණනවා”එහෙම කීවෙ විජිත හේරත් ”ජනතාවගේ සම්පත් ගැන ආණ්ඩුව කරන්න යන දේ ජනතාව දැනගන්න ඕනෑ. ඒ නිසා ගිවිසුමේ කරුණු ජනතාවට දැනගන්න ප්‍ර‍රසිද්ධ කරන්න කියලා අපි ආණ්ඩුවට බල කරන්න ඕනෑ. ඒකේ පළවෙනි වගකීම තියෙන්නේ රටේ ප්‍රරධානියා විදියට ජනාධිපතිවරයාට. ඒ නිසා ජනාධිපතිවරයාට මේ සම්බන්ධයෙන් දැනුවත් කරන්න ලිපියක් යවමු” බිමල් රත්නායක යෝජනා කළා. ”ඒ වගේම අපි මේකට එරෙහිව ලොකු විරෝධයක් රටේ හදන්න ඕනෑ. අත්පත්‍ර්‍රිකා බෙදලා ජනතාව දැනුවත් කරන්න ඕනෑ. ඒ වගේම ජාතික මට්ටමේ උද්ඝෝෂණයක් සංවිධානය කරන්න ඕනෑ. අපි ජනවාරි පටන් ගන්නකොට මුළු රටම උණුසුම් කරන්න ඕනෑ.” අනුර දිසානායක අදහස් ප්‍රකාශ කළා.

මේ අතර පළාත් පාලන මැතිවරණය කල්යෑම පිළිබඳවද ජවිපෙ නායකයින්ගේ අවධානය යොමු විය. ”පළාත්පාලන මැතිවරණය ගැන තවමත් ආණ්ඩුව පැහැදිලි දෙයක් කියන්නේ නැහැ. එක එක ඇමතිවරු එක එක කතා කියනවා. මේ ආණ්ඩුවේ හැම වැඩක්ම වාගේ මේ මැතිවරණය ගැනත් ස්ථාවරය පැහැදිලි නැහැ” සුනිල් හඳුන්නෙත්ති කීවා. පනතේ අඩුපාඩු හදන්න ඕනෑ. අඩුපාඩු හදන්නත් ලොකු කාලයක් යනවා. අඩුම තරමේ මාස දෙක තුනක්වත්.”එහෙම කීවෙ ලාල්කාන්ත . නව ව්‍යවස්ථාවත් එක්ක සියලූ මැතිවරණ වෙනුවෙන් පොදු ක්‍ර්‍රමයක් සකස් කරන්න කියලා අපි ආණ්ඩුවට බලපෑම් කරන්න ඕනෑ” දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව පක්ෂ නායක අනුර දිසානායක කීවේ සියලු‍ දෙනාගේ අදහස් සැලකිල්ලට ගනිමින්.

එක්සත් සමාජවාදී පෙරමුණ ලෙස පෙනී සිටින වමේ පක්ෂ අතර බරපතළ මත ගැටුමක් පසුගිය දිනවල ප්‍රකාශයට පත්වුණා. එය සිදුවූයේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකසා සම්මත කිරීමේ ආණ්ඩුවේ උත්සාහයට ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සම්පූර්ණ සහය පළකිරීමත් සමඟයි. පෙරමුණේ සිටින අනෙක් පක්ෂ දෙක වන මහාචාර්ය තිස්ස විතාරණගේ නායකත්වයෙන් යුතු ලංකා සමසමාජ පක්ෂයත් වාසුදේව නානායක්කාර මහතාගේ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණත් සිටින්නේ වෙනත් මතයකයි. ඔවුන් කියන්නේ අ ගමැති රනිල්ගේ ආණ්ඩුව පෙරළීම සඳහා ව්‍යවස්ථාවට විරුද්ධව කටයුතු කළ යුතු බවයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ පසුගියදා පැවති සාකච්ඡාවේදී කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර මහතා දිර්ඝ වශයෙන් කරුණු දක්වමින් නව ව්‍යවස්ථාවක අවශ්‍යතාවයත්, ජනවාර්ගික ප්‍රශ්නය විසඳීමට බලය බෙදීමේ අවශ්‍යතාවයත් පෙන්වා දුන්නා.

ලංකා සම සමාජ පක්ෂය සමඟ ජනාධිපතිතුමා කළ සාකච්ඡාවේදී මහාචාර්ය තිස්ස විතාරණ මහතා කීවේ වෙනත් කතාවක්. ව්‍යවස්ථාවට සහය පළ නොකළ ඔහු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියේ විධායක ජනාධිපති බලතල පාවිච්චි කරමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉවත්කර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් ගොඩනගන ලෙසයි. එයට ජනාධිපතිතුමාගේ ප්‍රතිචාරය දැක්වූයේ උපහාස සිනහවකින්.

තමා හොඳම සාකච්ඡාව කළේ කොමියුනිස්ට් පක්ෂයේ ඩියු සමඟ බවත්, අසාර්ථකම සාකච්ඡාව සමසමාජ පක්ෂය සමඟ කළ සාකච්ඡාව බවත් ජනාධිපතිතුමා පසුව කියා තිබුණා.

දෙමළ ජාතික සන්ධානය ද ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩලය හමුවී සාකච්ඡාවක් කළා. එයට කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ සාමාජිකයන් සහභාගී වූ අතර දෙමළ ජාතික සන්ධානය වෙනුවෙන් එහි නායක ආර්. සම්පන්දන් මහතා හා එම්. ඒ. සුමන්දිරන් මහතා සහභාගී වුණා. දෙමළ ජනයාගේ ප්‍රශ්න විසඳන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමේ හා එවැන්නක් සම්මත කරගැනීමේ ප්‍රශ්න ගැන එහිදී සාකච්ඡා කළා. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීමේ ක්‍රියාවලියේදී තම තමන්ගේ පක්ෂ ඉටුකරන කාර්යභාරය ගැන එහිදී කතාබහට ලක්වුණා.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කිසිවකු නොසිතන වර්ගයේ වැඩකට අතගසා සිටිනවා. එය නම් රුසියානු විප්ලවය සැමරීමේ වැඩ සටහනක් රුසියාවේ සාර් රජු බලයෙන් පහකළ පෙබරවාරි විප්ලවයටත්, බොල්ෂෙවික් පක්ෂය බලය ලබාගත් ඔක්තෝබර් විප්ලවයටත් ලබන වසර වනවිට වසර සියයක් පිරෙනවා. එම විප්ලවවල පසුකාලීන සිදුවීම් ගැන කුමන විවේචන තිබුණත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිතන්නේ රුසියාවේ රදල වාදය බිඳ දමා ප්‍රජාතන්ත්‍රවාදයට පදනම දැමීමත්, සියලු ජාතීන්ගේ නිදහස සඳහාත් රුසියානු විප්ලව විශාල වශයෙන් දායක වූ බවයි. එම සිදුවීම්වල ඓතිහාසික වැදගත්කම මතුකරගැනීම අගමැති රනිල්ගේ වුවමනාවයි.

එලෙස රුසියානු විප්ලව සැමරීමේ වැඩසටහන ගැන සාකච්ඡා කිරීමට මූලික සාකච්ඡාවක් පසුගිය සිකුරාදා සවස අරලියගහ මැදුරේදී පැවැත්වුණා. නව සමසමාජ පක්ෂයේ නායක වික්‍රමබාහු කරුණාරත්න සහ රනිත් කුමාරසිංහත්, ලංකා සමසමාජ පක්ෂයේ බහුතර කණ්ඩායමේ ලාල් විජේනායක, ජයම්පති වික්‍රමරත්න, මහින්ද රත්නායක මහත්වරුන්, දෙමළ ජාතික සන්ධානයේ එම්. ඒ. සුමන්දිරන් මහතාත්, කලාකරුවන් වශයෙන් ධර්මසිරි බණ්ඩාරනායක හා චන්ද්‍රගුප්ත තේනුවරත් මෙම සාකච්ඡාවට සහභාගිවී සිටියා.

මෙම සාකච්ඡාව සඳහා අගමැතිතුමා ජනතා විමුක්ති පෙරමුණ හා ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයට ද ආරාධනා කොට තිබුණා. පක්ෂ දෙකම දන්වා තිබුණේ ඔක්තෝබර් විප්ලවය සැමරීමට එම පක්ෂවල වෙනම වැඩසටහන් ඇති නිසා මෙම වැඩසටහනට සහභාගී නොවන බවයි. රුසියානු විප්ලවය සැමරී‍ෙම් පුළුල් වැඩසටහනක් පෙබරවාරි මස සිට ඔක්තෝබරය දක්වා ක්‍රියාත්මක කිරීමට එහිදී එකඟතාවයක් ඇතිවුණා.

එයට විදෙස් රටවල වාමාංශික පක්ෂවල සහය ලබාදීමට ද අගමැතිතුමා කැමැත්ත පළකළා. වැඩ පිළිවෙළ මෙහෙයවීමට කමිටුවක් පත්කරගත්තා. ලබන ජනවාරි හතරවැනිදා පුළුල් කැඳවීමක් කිරීම සඳහා ලේකම්වරයකු ලෙස මහින්ද රත්නායක මහතා පත්කර ගත්තා. 

නව අදහස දක්වන්න