පාරම්පරික ලී කැටයම ජාත්‍යන්තරයට ගෙන ගිය ශිරෝමි | දිනමිණ

පාරම්පරික ලී කැටයම ජාත්‍යන්තරයට ගෙන ගිය ශිරෝමි

මදාරා මුද­ලිගේ

‘මම ඉස්සර පොළොන්නරුවෙන් හදපු බඩු අරන් ඇවිත් විහාර මහාදේවි එක ළඟ විකුණුවා. ඒ කාලේ කුලියට ගෙයක් අරන් තමයි හිටියේ.’

එලෙස තම කටහඬ අවදි කළේ, වැලිවිට පදිංචි හතළිස්පස් හැවිරිදි ශිරෝමි ලංකා රණසිංහයි. දුක දිනා ජීවිතය ජයගත් ඇය, අද වන විට පාරම්පරික ලී කැටයම් කලාව ජාත්‍යන්තරයට ගෙනයමින්, ශ්‍රී ලාංකේය නිර්මාණ කලාවෙහි ‍ප්‍රෞඩත්වය පෙන්වන දිරිය ළඳකි.

මම මීට අවුරුදු 25කට කලින් ජාතික ශිල්ප සභාවේ ගෝලයෝ 70කට විතර මේ කැටයම් කලාව ඉගැන්නුවා. දැන් ඒ අය තමන්ගේම ස්වයං රැකියාවල නිරත වෙනවා. සමහරු මටත් වඩා හොඳින් තමන්ගේ ස්වයං රැකියාව කරගෙන යනවා. ඒ ගැන හිතනකොට මට දැනෙන්නේ පුදුම සතුටක්.’

මම මේ දේ පුරුදු වුණේ අපේ පරම්පරාවෙන් ලැබුණු උරුමයක් නිසයි. අම්මලා, තාත්තලා, සහෝදරයෝ හැමෝම බකමූණේ හිටපු හොඳ කැටයම් ශිල්පීන්.’ ඇය තමන්ට උරුම වූ කලාව මඟින් අද වන විට දිවයිනේ ප්‍රකට නමක් දිනාගෙන ඇත. ඇප කැප වීමෙන් වැඩ කිරීම, ඇගේ දින චර්යාවේ නිරතුරුවම ලියැවී ඇති දෙයකි.

‘මට බ්‍රාහ්මණ මුහුණු, අලි, දේව රූප, වෙස් මුහුණු, බුද්ධ රූප යනාදී හැම දේම මම නිර්මාණය කරලා ති‍යෙනවා. බොහෝවිට මේ දේවලට ආශා කරන්නේ, විදේශීය ජාතිකයින්. මම ඔවුන්ටත් මේ කැටයම් කලාව පිළිබඳ දේශන පවත්වනවා’.

තමන් සතු දක්ෂතා මුළු ලොවටම බෙදා දෙමින්, තම ජීවිතය ද කළඑළි කර ගන්නා ඇය, අනෙකුත් කාන්තාවන්ට ද ආදර්ශයකි.

‘අලියෙක් රු. 10,000කටත්, සාමාන්‍ය ප්‍රමාණයේ කැටයම් රු. 3000කට වගේ මුදලකට තමයි මම විකුණන්නේ. මට මේ හැම දේකටම සෙවණැල්ල වගේ ඉන්නේ මගේ පවුලේ අය තමයි. ඒ අයගේ සහය නැතිනම්, මට මේ මොනවත්ම කර ගන්න බැහැ.’

කාන්තාවක් සතු වටිනාම සම්පත වන්නේ තම පවුලයි. ඇය තම පවුලේ වගකීම් නිසියාකාරව ඉටු කරමින්, තම ස්වයං රැකියාවේ ද නියුක්ත වෙමින්, ජීවිතය ජය ගන්නා සුන්දර කාන්තාවකි.

‘ඉස්සර මං මේ කර්මාන්තය පොඩියට පටන් ගත්තට, දැන් නම් කියන්න බැරි තරමටම හොඳ ආදායමක් ලබා ගන්නවා. ඒ ගැන තියෙන්නේ උපරිම තෘප්තියක්. පිටරටවලට මගේ භාණ්ඩ යවන නිසා, විදේශිකයන් අතරත් මගේ නම ප්‍රචලිත නිසා, හරිම සතුටෙන් තමයි ජීවිතය ගත කරන්නේ. මුලදී දරාගත් දුක්කම්කටොලු, පසු කාලයේදී සොඳුරු සිනහවක් බවට පරිවර්තනය වන්නා සේ, ඇගේ ජීවිතය ද වෙනස් වී තිබේ.

‘මගේ කැටයම් නිර්මාණ ශ්‍රී ලංකාවේ පවත්වන සෑම නිර්මාණ ප්‍රදර්ශනයන් සඳහාම රැගෙන යනවා. ඒ වාගේම, රූපවාහිනී වැඩසටහන්වලටත් මම මගේ කැටයම් නිර්මාණ පිළිබඳ මහජනයා දැනුම්වත් කරනවා.’

ඇය, ආත්මාර්ථකාමී බව සිත දරා නොගනිමින්, තමන්ගේ අතමිට සරු කරගන්නා ගමන්ම, තවත් බොහෝ කාන්තාවන් හට ගුරු මෑණි කෙනෙක් වී හමාර ය.

‘මේ කැටයම් කලාව පිළිබඳ දැන ගන්නට, මේ වගේ ස්වයං රැකියාවක් කරන්න ඉන්න කෙනකුට, මේ කලාව නොමිලේ උගන්වන්න මම කැමැතියි. ශක්තියෙන්, ධෛර්යයෙන්, යමක් ධාරණය කර ගන්නවා නම්, ඕනෑම අයෙකුට යම් ස්ථානයකට ලෙහෙසියෙන්ම පැමිණෙන්නට පුළුවන්.’ එලෙස ඇය අවසානයේ දී ප්‍රකාශ කළේ, මුළු මහත් කාන්තාවන්ටම දිරි දෙන්නියක ලෙසිනි.

 

 

අදහස් 1ක් ඇත

me swa silpaya gana api adambara wemu ,,yuropayeda katayam kalawen weladam karanno oba wani aya soyamnuyi inne, mamada lankawata pamina oba hamu wannemi , mamada mage podi business ekata katayam kala bhanda yodawana nisa, obata jaya !

නව අදහස දක්වන්න