තාජුඩීන් :මානව හිමිකම් යන්න සැරසෙති | දිනමිණ

තාජුඩීන් :මානව හිමිකම් යන්න සැරසෙති

රසික ජයකොඩි

හිටපු රගර් ක්‍රීඩක තාජුඩීන‍්ගේ මරණය රිය අනතුරකින් සිදුවූවක් බවට සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් පොලිසියට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට තාජුඩීන්ගේ පවුලේ ඥාතීහු කටයුතු කරමින් සිටිති.

නීතිඥයන් පිරිසක් මේ සතිය තුළ දී ජාතික පොලිස් කොමිසමේ සාමාජිකයන් මුණගැසී මේ පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිත බව තාජුඩීන්ගේ පවුලට සමීප තොරතුරු අනාවරණය කරයි.

මීට වසර තුනකට පෙර තාජුඩීන්ගේ රිය අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ මෙහෙය වූ හිටපු නාරාහේන්පිට පොලිස් ස්ථානාධිපතිවරයා සහ තවත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් කිහිපදෙනකුට එරෙහිව මේ පැමිණිල්ල ගොනු කිරීමට තාජුඩීන්ගේ පවුලේ ඥාතීහු බලාපොරොත්තු වෙති.

මීට අදාළ විමර්ශන කටයුතු වැරදි මාර්ගයකට යොමු කිරීමට උත්සහ කරන ලදැයි කියන හිටපු රජයේ ඉහළ තනතුරු දැරූ අය සමඟ සමීප සබඳතා පැවැත්වූ දැනට විශ්‍රාම ගොස් සිටින ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකුට විරුද්ධව පියවර ගැනීමට බලාපොරොත්තු වේ.

තාජුඩීන්ගේ පවුලේ නීති කටයුතු මෙහෙයවන නීතිඥවරයකු පවසා සිටියේ නාරාහේන්පිට පොලිසිය මෙම මරණය සම්බන්ධයෙන් වැරදි සහගත වාර්තාවක් ඉදිරිපත් කර, රගර් ක්‍රීඩක තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් වැරදි චිත්‍රයක් මවාපෑමට උත්සහ කර ඇති බවය.

පසුගිය සතියේ අධිකරණ නිලධාරී වෛද්‍ය වාර්තා මගින් පෙන්වාදී ඇත්තේ මෙම අනතුර සිදු වූ අවස්ථාවේ තාජුඩීන් වාහනයේ නොසිටි බවයි. මෙවැනි ව්‍යාජ අනතුරක් සැලසුම් කර තාජුඩීන්ගේ සිරුර පසුව වාහනයට දමන්නට ඇතැයි සැක කිරීමට තරම් හේතුසාධක තිබෙන බව එම අධිකරණ වෛද්‍ය වාර්තාවෙන් පෙන්වා දී ඇත.

ඔහුගේ සිරුරේ ඇති තුවාල පිළිබඳව වෛද්‍ය වාර්තාවක් පෙන්වා ඇත්තේ මෙවැනි තුවාල මොට ආයුධයකින් පහරදීමෙන් සිදුවූ තුවාලවලට සමාන බවත් ය.

අදහස් 1ක් ඇත

නව අදහස දක්වන්න