රිය අනතුරක්ද ඝාතනයක්ද විශ්ලේෂණ වාර්තා සලකා බැලීමෙන් | දිනමිණ

රිය අනතුරක්ද ඝාතනයක්ද විශ්ලේෂණ වාර්තා සලකා බැලීමෙන්

රෝෂන් තුෂාර

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණය රිය අනතුරකින් සිදුවූවේද යන්න අධිකරණයටද සැක මතුවන බව පෙන්වා දුන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා පැමිණිල්ලේ අවසන් තීන්දුව සියලු විශ්ලේෂණ වාර්තා සලකා බැලීමෙන් පසු කඩිනමින් ඉදිරිපත් කරන බව ඊයේ (10) ප්‍රකාශ කළේය.

තාජුඩීන්ගේ ශරීරයට කීප සැරයක් තදින් පහර දී සිදු කළ තුවාල, හිසේ සිදු වූ මරණීය තුවාලය, අනෙකුත් වාර්තා සලකා බැලීමේදී මුලින් ඉදිරිපත් කළ රිය අනතුරකින් මරණය සිදු වී යැයි ඉදිරිපත් කළ මතය බැහැර වන බවත් නිශාන්ත පීරිස් මහතා පැවසීය.

කෙසේ වෙතත් මරණය සම්බන්ධයෙන් මත එකොළහක් සහ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා දෙකක් ඉදිරිපත් වී ඇති බැවින් අවසාන තීන්දුව ප්‍රකාශ කිරීමට ඒවාද සලකා බැලිය යුතු බැවින් නීතිපතිවරයාගේ උපදෙස් පරිදි ඉදිරි කටයුතු මෙහෙයවන ලෙස රහස් පොලීසියට නියෝග කළේය.

මේ අනුව ඉදිරිපත්ව ඇති මරණ පරීක්ෂණ වාර්තා දෙක සම්බන්ධයෙන් වෛද්‍යවරුන් සාක්ෂියට ‍කැඳවනවාද යන්න පිළිබඳව නීතිපතිවරයාගේ උපදෙස් ලබාගෙන ඒ සඳහා රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයකුගේ සහාය ලබාගන්නා ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දන්වා සිටියේය. මෙම පරීක්ෂණ නඩු විභාගය මේතාක් ප්‍රමාද වීමට අධිකරණ වෛද්‍ය වාර්තා නිසි කලට නොලැබීමද හේතු වූ බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට සිය වාර්තාව ඉදිරිපත් කිරීමට අවුරුදු දෙකහමාරක් ගතවී ඇති බව පෙන්වා දුන්නේය.

වෛද්‍යවරයාට අධිකරණය මගින් සිව් වාතාවක් නොතිසි යවා ඇති බවද ඒ අනුව වෛද්‍යවරයාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් රහස් පොලිසියේ නිසි අවධානය යොමු කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා අවධාරණය කළේය.

තාජුඩීන්ගේ ශරීර කොටස් අතුරුදහන් වීම සම්බන්ධයෙන් වෛද්‍ය ආනන්ද සමරසේකර මහතා හා ඔහුගේ කනිෂ්ඨ සේවකයන් ඉදිරිපත් කරන ප්‍රකාශ සම්බන්ධයෙන් බරපතළ සැකයක් මතුවන බව පෙන්වාදුන් මහේස්ත්‍රාත්වරයා එම ක්‍රියාකලාපය සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස වෛද්‍ය සභාවට නියෝග කරමින් දන්වා සිටියේය.

වෛද්‍ය සභාවේ එම විමර්ශනය සමස්ත වෛද්‍යවරුන්ටද ආදර්ශයක් විය යුතු බව පෙන්වාදුන් මහේස්ත්‍රාත්වරයා වෛද්‍යවරයා සම්බන්ධයෙන් ලංකා දණ්ඩනීති සංග්‍රහය යටතේ පරීක්ෂණයක් කරන ලෙස රහස් පොලිසියට දන්වා සිටියේය.

වෛද්‍යවරුන් යනු රජයේ සේවකයන් බව පෙන්වාදුන් මහේස්ත්‍රාත්වරයා සත්‍ය සොයා ගැනීමට පරීක්ෂණයක් නැවත කිරීම වැදගත්බව රහස් පොලිසියට දන්වා සිටියේය.


නව අදහස දක්වන්න

Or log in with...