රු.ලක්ෂ 75කින් නව පාලම් පාරුවක් | දිනමිණ

රු.ලක්ෂ 75කින් නව පාලම් පාරුවක්

 

කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්ක යා කෙරෙන ඉත්තෑපාන හොරවල තොටුපොළ හරහා දිනකට විශාල පිරිසක් ගමන් කරති.වලල්ලාවිට ප්‍රාදේශීය සභාව මඟින් පාලනය වන ඉත්තෑපාන හොරවල තොටුපොළ බෙන්තර ගඟේ වැඩිම පළලකින් යුත් තොටුපොළක් වන අතර එහි යොදවා තිබුණු පාලම් පාරුව ගඟේ පාවී ආ ලී කොටයක ගැටී එහි බඳට හානි සිදුවී වාහන කීපයක් සමඟ පසුගිය ජුනි මස දී ගඟේ ගිලී ගොස් තිබුණි.

මේ හේතුව මත අසීරුවට පත් ජනතාව වෙනුවෙන් ඉත්තෑපාන හොරවල තොටුපොළට රුපියල් ලක්‍ෂ 75 ක් වටිනා නව පාලම් පාරුවක් යෙදවීමට වලල්ලාවිට ප්‍රාදේශීය සභාව කටයුතු යොදා ඇත.

පැරැණි පාලම්පාරුව අනතුරට ලක් වීමෙන් පසුව එම තොටුපොළේ මඟීන් එගොඩකිරීම සිදුවුයේ අනාරක්‍ෂිතපෞද්ගලික ඔරුවක් මඟිනි.මේ පිළිබඳව වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ ලේකම් පාලිත සිසිර කුමාර මහතා මෙසේ පැවසීය.

හොරවල තොටුපොළේ පාලම් පාරුව අනතුරට ලක්වීමෙන් පසුව එම තොටුපොළ හරහා ගමන්ගත් විශාල පිරිසකට අලුත්ගම හරහා වැඩිපුර කිලෝමීටර් 15 ක් පමණ ගමන් කිරීමට සිදු වුණා.ප්‍රාදේශීය සභාවක වගකීම වන්නේ ජනතාවට අවශ්‍ය පහසුකම් සහ සේවා ලබා දීමයි.ඒ අනුව අප පළාත්පාලන සහ පළාත් සභා අමාත්‍යාංශය සමඟ සාකච්ඡ කර නව පාලම් පාරුවකට අවශ්‍ය රුපියල් ලක්‍ෂ 75ක මුදලක් අනුමත කර ගත්තා.ඉන් අනතුරුව කොළඹ ඩොක්යාඩ් සමාගමට නව පාලම් පාරුවක් තැනීමට භාර දුන්නා.පැරැණි පාලම් පාරුව ෆයිබර් වලින් තනා තිබු නිසා අනතුරට ලක් වීම නිසා මෙම නව පාලම් පාරුව වානේ තහඩු යොදා වැඩි ඉඩ ප්‍රමාණයක් සහිතව තැනීමට කටයුතු යොදා තිබෙනවා.

මෙම නව පාලම් පාරුව 2017 නව වසරේ ජනවාරි මුල් සතියේ යෙදවීමට අප කටයුතු යොදා තිබෙනවා.ඉන් පසුව ඉත්තෑපාන හොරවල තොටුපොළ හරහා ගමන් කරන ජනතාවට නැවත ආරක්‍ෂිතව ගමන් කිරීමට හැකිවෙනවා.

සටහන හා ඡායාරූපය
අගලවත්ත පී එම් පත්මසූරිය 

 

නව අදහස දක්වන්න