ශිෂ්‍යත්වය ඉහළින් සමත් හැඩිගම සිසු සිසුවියන්ට උපහාර තිළිණ | දිනමිණ

ශිෂ්‍යත්වය ඉහළින් සමත් හැඩිගම සිසු සිසුවියන්ට උපහාර තිළිණ

 

පාසල් කාලය තුළදී සිසුන් කළ යුතු ප්‍රමුඛ දේ වන්නේ තමන්ගේ ජීවිතය සාර්ථක කරගැනීම සඳහා අධ්‍යාපනය ලබා ගැනීම බව කැස්බෑව ප්‍රාදේශීය මහ ලේකම් එල්.ඒ. කලුකපුආරච්චි මහතා පැවසීය.

ඒ මහතා මේ බව සඳහන් කළේ පිළියන්දල හැඩිගම ප්‍රදේශයේ තෝරා ගත් අඩු ආදායම්ලාභී පවුල්වල දුවා දරුවන්ට නොමිලේ පාසල් අභ්‍යාස පොත් බෙදාදීම හා 2016 වසරේ ශිෂ්‍යත්ව විභාගය සමත් සිසු සිසුවියන්ට උපහාර දැක්වීම වෙනුවෙන් හැඩිගම ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේදී පසුගියදා පැවැති උත්සවයේදීය.

පිළියන්දල හැඩිගම ග්‍රාම සංවර්ධන සමිතිය, මිතුරු කැල හා ඒකාබද්ධව මෙම උත්සවය සංවිධාන කර තිබුණි.

හැඩිගම ශ්‍රී සුදර්ශන කනිෂ්ට විද්‍යාලයේ 2016 වසරේ ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 182 ක් ලබාගත් ඩබ්ලිව්.පී. හේෂාන් ඉමන්ත සිසුවාට හා අඩු ආදායම්ලාභී විශ්වවිද්‍යාලයීය අධ්‍යාපනය ලබන සිසුවියකට ශිෂ්‍යත්වයක් පිරිනැමීම සිදුකෙරුණු අතර උත්සවය අවසානයේ රණවිරු අභිමන් උපහාර ධර්මදේශනයක්ද පැවැත්විණි.

කලුකපුආරච්චි මහතා තවදුරටත් මෙසේද පැවසීය.

නොමිලේ ලබාදෙන අධ්‍යාපනය දරුවන් අනිවාර්යයෙන්ම ලබාගත යුතුමයි. ඔබලා හොඳින් ඉගෙනගතහොත් එය ඔබලාගේ මවුපියන්ගේ වාගේම අප සැමගේත් රටේත් වාසනාවක්.

එළැඹෙන 2017 වසරට පාසල් දරුවන්ට අවශ්‍ය පොත් පත් ටික නොමිලේ ලබාදීම ප්‍රජා සත්කාරයක් වාගේම ඉතා උතුම් වටිනා පින්කමක්. ග්‍රාම සංවර්ධන සමිතියකින් සාමාන්‍යයෙන් සිදුවන්නේ ගමේ සංවර්ධන කටයුතුයි. නමුත් ග්‍රාම සංවර්ධන සමිතියකින් කළයුතු ප්‍රධාන කාර්ය වන්නේ මෙම කර්තව්‍යයයි. හැඩිගම ග්‍රාම සංවර්ධන සමිතිය වාර්ෂිකව මෙය ඉටුකරන්නේ අනාගතයට ආයෝජනයක් ලබාදීමටයි.

හැඩිගම ශ්‍රී සුදර්ශනාරාමාධිපති පිළියන්දල මධ්‍ය විධ්‍යාලයේ හිටපු සහකාර විදුහල්පති ශාස්ත්‍රපති පණ්ඩිත නාකියාදෙනියේ පේමරතන හිමියෝ අනුශාසනාවක් කළහ.

හැඩිගම ශ්‍රී සුදර්ශන කනිෂ්ඨ විද්‍යාලයේ ආචාර්ය හැඩිගම ශ්‍රී සුදර්ශනාරාම වාසී ශාස්ත්‍රපති මාපලගම සරණංකර හිමි, විහ්‍රාමික යුදහමුදා මේජර් ජෙනරාල් රේණක උඩවත්ත හැඩිගම ශ්‍රී සුදර්ශන කනිෂ්ඨ විදයාලයේ විදුහල්පතිනි වයි.ජී. කාන්ති කැස්බෑව ග්‍රාම සංවර්ධන නිලධාරිනී දීපිකා නිශාන්ති, හැඩිගම ග්‍රාම සංවර්ධන සමිතියේ සභාපති ජයතිස්ස කල්දේරා ලේකම් රංජිත් පල්ලෙවෙල භාණ්ඩාගාරික ලලිත් ප්‍රේමනාත් මහත්ම මහත්මීහුද මේ අවස්ථාවට සහභාගි වූහ.

සටහන හා ඡායාරූප
කැස්බෑව සංචාරක ධර්මසිරි සුරවීර 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...