ඩෙංගු දඩය 25000 කරන්න අමාත්‍යාංශයේ අවධානය | දිනමිණ

ඩෙංගු දඩය 25000 කරන්න අමාත්‍යාංශයේ අවධානය

 

ඩෙංගු රෝග ව්‍යාප්තියට රුකුල් දෙන අයුරින් පරිසරය පවත්වා ගෙන යන අයට එරෙහිව රුපියල් විසිපන් දහසක (25000) දඩයක් නියම කිරීම කෙරෙහි සෞඛ්‍යය අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ. මේ සම්බන්ධව නීතිපති උපදෙස් පතා තිබෙන බව සෞඛ්‍යය හා පෝෂණ කටයුතු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

මෙයට අමතරව ඩෙංගු රෝගය බෝකරන මදුරුවන් සිටින බවට අනුමාන කළහැකි ඕනෑම ගෙවත්තක් හෝ ව්‍යාපාරික ස්ථානයක් අවශ්‍යය ඕනෑම අවස්ථාවක පරීක්ෂා කිරීමේ බලය සෞඛ්‍ය බලධාරීන්ට ලබාදීම කෙරෙහි ද අමාත්‍යාංශය අවධනය යොමුකර තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් ද නීතිපති උපදෙස් පතා තිබෙන බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ගැනී‍මෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පෙරේදා (31) හෙතෙම මේ බව කීය.

ඩෙංගු රෝග මර්දනය වෛද්‍යවරුන්ට හා සෞඛ්‍යය අමාත්‍යාංශයට පමණක් තනිව කළ නොහැකි බවත් ඊට මහජන සහය ද උපරිමයෙන් හිමිවිය යුතු බවත් කී සේනාරත්න මහතා තම ගෙවත්තේ මදුරුවන් බෝවිය හැකි ස්ථාන ඇත්නම් එම ස්ථාන විනාශ කර දමමින් ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කිරීමට ජනතාව පැත්තෙන් විශාල කාර්යභාරයක් කළ හැකිව තිබෙන බව ද අවධාරණය කළේය.

ඩෙංගු රෝගය පාලනය කිරීමේ ක්‍රියාවලියේ දී ඇතිව තිබෙන ප්‍රධානතම ගැටලුව පළාත් පාලන ආයතන මන්ත්‍රීවරු නොමැති වීම බවත් ඔවුන් හිටියා නම් වඩා සංවේදීව ජනතාව සමඟ සිටිමින් අදාළ කාර්යය සාර්ථකව ඉටු කරන බවත් ඒ මහතා කීවේය. පළාත් පාලන ආයතනවල නිලධාරිනියක් හෝ කිහිප දෙනකු සිටියත් මෙම වැඩපිළිවෙළ සාර්ථකව සිදු කිරීමට ඔවුන් ගෙන් ප්‍රමාණවත් දායකත්වයක් අපේක්ෂා කළ නොහැකි බව ද හෙතෙම කීය. 

අසේල කුරුළුවංශ හා තිලක් පුෂ්පකුමාර

නව අදහස දක්වන්න