රත්නසිරි වික්‍රමනායක චරිතයෙන් නවක දේශපාලනඥයන්ට බොහෝ දේ ඉගෙන ගත හැකියි

 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අවමඟුල් උත්සව යේ දී කියයි

ශ්‍රී ලංකා කෘතහස්ත දේශපාලනයේ නව මඟක් එළිපෙහෙළි කළ රත්නසිරි වික්‍රමනායක මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මුහුණ දුන් අභියෝගාත්මක අවස්ථාවලදී පක්ෂය නඟා සිටුවීමට මහඟු මෙහෙවරක් ඉටු කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කෙළේය.

ජනාධිපතිවරයා එ‍‍සේ සඳහන් කෙළේ හොරණ මහජන ක්‍රීඩාංගණයේදී පෙරේදා (31) සවස පැවැති රත්නසිරි වික්‍රමනායක මහතාගේ අවමංගල්‍ය උත්සවයට එක් වෙමිනි.

හොරණ මහජන ක්‍රීඩාංගණයේදී දහස් සංඛ්‍යාත ජනතාවකගේ සෝ සුසුම් මැද මේ අසහාය දේශපාලනඥයා පෙරේදා සවස දැයෙන් සමුගත්තේය.

රාජ්‍ය ගෞරව සහිතව පැවැති මෙම අවමංගල්‍ය උත්සවය සඳහා ජනාධිපතිවරයා මෙන්ම හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සහ මහින්ද රාජපක්ෂ මහතා ද එක්වී සිටීම විශේෂත්වයක් විය.

ආගමික වතාවත් වලට මුල්තැන දෙමින් ඉතා චාම් අයුරින් මෙම අවමගුල් උළෙල සංවිධාන කැර තිබුණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේද සඳහන් කෙළේය.

ගෙවී ගිය දශක කිහිපයේ මේ රටේ දේශපාලනයේ අවංකව පරිත්‍යාගශීලීව කටයුතු කළ ආදර්ශමත් දේශපාලනඥයෙක් ලෙස රත්නසිරි වික්‍රමනායක මහතා හැඳින්විය හැකියි. එම ආදර්ශමත් දේශපාලනඥයාගේ අභාවය පිළිබඳව කවුරුත් සංවේගයට පත්වී සිටිනවා.

ඒ මහතා පසුගිය දශක කිහිපයේ මේ රටේ ජාතික, ආගමික, සමාජීය සියලු ක්ෂේත්‍රවලට පුළුල් නායකත්වයක් ලබා දුන්නා. එතුමාගේ චරිතය තුළින් වර්තමානයේ නවක දේශපාලනඥයන්ට බොහෝ දේ ඉගෙන ගැනීමට හැකියාව තිබෙනවා.

මටත් එතුමා සමඟ සමීපව ඇසුරු කිරීමේ, කටයුතු කිරීමේ අවස්ථාව ලැබී තිබුණා. එතුමාගෙන් බොහෝ දේ අප ඉගෙන ගත්තා. එතුමා තුළ තිබූ අවංක බව, නිහතමානී බව, කැපවීම, තීන්දු ගැනීමේ තිබෙන සෘජු බව, ගැටලු, ප්‍රශ්න හමුවේ මුහුණ දුන් ආකාරය විශිෂ්ටයි. සාකච්ඡාවලදී කාලය දීර්ඝ ලෙස නොගෙන ඉතාමත් කෙටි කාලයකදී තීන්දු ලබා දීමේ විශිෂ්ට දක්ෂතාවක් එතුමාට තිබුණා.

මන්ත්‍රීවරයෙක්, නියෝජ්‍ය ඇමැතිවරයෙක්, ඇමැතිවරයෙක්, අගමැතිවරයෙක්, විපක්ෂනායකවරයෙක් සහ පක්ෂයේ මහලේකම්වරයෙක් ලෙස එතුමා තනතුරු රාශියක් දරා තිබෙනවා. දේශපාලන ව්‍යාපාර තුළ එතුමා තම වත්කම් සහ දේපළ සියල්ල සමාජයට රටට පරිත්‍යාග කළා. අවංක දේශපාලනඥයෙක් ලෙස තම ආදර්ශය සියලු දෙනා වෙත ලබා දී තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ කාලයේ, අසූව දශකයේ මුල්භාගයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බරපතළ දේශපාලන අර්බුදයකට මුහුණ දුන්නා. නමුත් එම අර්බුදවලදී පක්ෂයේ ලේකම්වරයා ලෙස ඉතාමත් දැඩි ලෙස පක්ෂය ආරක්ෂා කිරීමට එතුමා කැපවී කටයුතු කළා. අගමැති ලෙසත් ඇමැතිවරයකු ලෙසත් කටයුතු කරන කාලයේදී සිය ආයතනවල තිබූ කාර්යක්ෂමතාව ඉලක්ක සහගත ප්‍රතිඵල සඳහා ඔහු විශිෂ්ට ලෙස කටයුතු කළ කෙනෙක්.

කළුතර දිස්ත්‍රික්කයටත්, ජාතික දේශපාලනයටත් ප්‍රගතිශීලී වාමාංශික දේශපාලනයටත් කැපී පෙනෙන විශිෂ්ට දේශපාලනඥයෙක්, විශිෂ්ට චරිතයක් එතුමා. එතුමාගේ අභාවය පිළිබඳ අප සියලු දෙනා සංවේගයට පත්වී සිටිනවා. ශ්‍රී ලංකා ජනරජය ලෙසත් සමස්ත ජනතාව ලෙසත් අභාවය පිළිබඳ දැඩි ලෙස ශෝකය සංවේගය ප්‍රකාශ කරනවා. එතුමාට නිවන් සුව අත්වේවායි ප්‍රාර්ථනා කරනවා.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එවා තිබූ ශෝක ප්‍රකාශය ක්‍රිස්තියානි ආගමික කටයුතු හා සංචාරක කටයුතු ඇමැති ජෝන් අමරතුංග මහතා ඉදිරිපත් කෙළේය. එම ශෝක පණිවුඩයේ මෙසේද සඳහන් වී තිබිණි.

ප්‍රජාතන්ත්‍රවාදයට ගරුකළ පාර්ලිමේන්තු සම්ප්‍රදාය සුරැකි පරිණත දේශපාලනඥයකු ලෙස අභාවප්‍රාප්ත හිටපු අගමැති රත්නසිරි වික්‍රමනායක මහතා හැඳින්විය හැකියි. ඔහුගේ ජීවිතයේ ප්‍රතිපත්ති ගරුක බව විශේෂයෙන් කැපී පෙනෙන ලක්ෂණයක්.

මිය යන අවස්ථාව වන විටත් වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක වරයකු ලෙස කටයුතු කළා. හොරණ ප්‍රදේශයේ දියුණුව වෙනුවෙන් මහත් කැපවීමෙන් කටයුතු කළ ප්‍රදේශයේ ජනතාවගේ ගෞරවය දිනාගත් ජන නායකයකු බව මේ මොහොතේ ගෞරව පූර්වකව සිහිපත් කරමි.

කතානායක කරු ජයසූරිය මහතා -

මෙම උත්සවයේදී විශිෂ්ට චරිතාපදානයක් ගැන කියවුණා. මම සඳහන් කරන්නේ අවුරුදු 50ක් තුළ වූ අත්දැකීම් සැලකිල්ලට ගනිමින්. වික්‍රමනායක මහතා සෘජුව අදහස් ප්‍රකාශ කළ විශිෂ්ට පුද්ගලයෙක්. අවුරුදු 50ක දේශපාලන තුළ මන්ත්‍රීවරයකු නියෝජ්‍ය ඇමැතිවරයකු, ඇමැතිවරයකු, පළාත් සභා ඇමැතිවරයකු මෙන්ම තෙවරක්ම අගමැති ධුරය හෙබවූවා. පමණක් නොව වැඩබලන රාජ්‍ය නායකයකු වශයෙන්ද ඒ මහතා පත්වුණා. තරුණ දේශපාලනඥයන්ට අවශ්‍ය මාර්ග උපදේශකත්වය ලබා දුන්නා. පිරිසිදු දෑතක් තබාගෙන අප සැමගෙන් සමුගත්තා. පියාගේ අඩිපාරේ ගමන්කරන පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතාට තාත්තාගේ පිරිසිදු දේශපාලන පරිණතභාවය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා -

හිටපු අගමැති රත්නසිරි වික්‍රමනායක මහතා ගැන මේ රටේ ජනතාවට අමුතුවෙන් කියා දිය යුතුනැහැ. සෘජු ප්‍රතිපත්තිවලින් හෙබි එඩිතර නායකයෙක්. නියම වෙලාවට ව‍ැඩකරන නිතරම ජනතාවගේ පැත්තේ සිට නිවැරැදි තීන්දු ගත් ජනතා නායකයෙක්. ඔහුට කරන්නට අවශ්‍ය දේ නිරවුල්ව වටහාගෙන නිවැරදිව අවබෝධයෙන් තීන්දු ගන්නවා.1960 මාර්තු මැතිවරණයේදී මහජන එක්සත් පෙරමුණ නියෝජනය කරමින් වික්‍රමනායක මහතා පාර්ලිමේන්තු දේශපාලනයට පිවිසුනා. 1970 දී මමත් ඒ මහතාත් මැතිනියගේ ආණ්ඩුවේ සිටියා. එදා පටන් අප දෙදෙනා අතර ඉතා සමීප සම්බන්ධකමක් තිබුණා. යුද්ධය නිමා කරන්නට අගමැති වශයෙන් ඒ මහතාගෙන් ලැබුණු සහාය හා මඟපෙන්වීම සුවිශාලයි. තරුණ මන්ත්‍රීවරුන්ට අවශ්‍ය නිවැරැදි අවබෝධය ලබා දුන්නා. එතුමන් සඳහටම වෙන්වුවත් ඒ මහතාගේ කීර්ති නාමය මේ රටේ ජනතාවගේ හදවත් තුළ සදහටම නිදන්ගත වෙනවා.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය -

රත්නසිරි වික්‍රමනායක මහතා අපේ රටේ සිටි දුර්ලභ ගණයේ නායකයෙක්. තමන්ගේ ඉඩම් කඩම් රටට භාර දී අවසානයේ ඉතා දුප්පත් ලෙස ජීවත් වූ ඉතා ස්වල්ප දෙනාගෙන් එක් අයෙක් තමයි වික්‍රමනායක මහතා. ඉතාම කැපවීමෙන් සහ වගකීමෙන් දේශපාලනයේදී කටයුතු කළා. සෘජු ලෙස අභියෝගාත්මක ලෙස තීන්දු තීරණ ගත් කෙනෙක්. මගේ දේශපාලන ජීවිතයේදී මට හමුවූ දුර්ලභ එමෙන්ම සුවිශේෂ චරිතයක්.

‍ එක්තරා අවස්ථාවකදී මම ඉදිරිපත් කරපු යෝජනාවකදී ඒ මහතා කීවේ සමහර දේවල් ගැන මට එකඟවෙන්න බැහැ. නමුත් මම ප්‍රසිද්ධියේ කතා කරන්නේ නැහැ. මට ස‍පෝට් කරන්න යැයි කියන්න එපා. ඒ ආකාරයට තමන්ගේ ස්ථාවරය ප්‍රකාශ කරන දේශපාලනඥයන් ඉතා විරලයි. නිවන් දකින්නට පෙර තව එක් වතාවක් වත් අප අතරට පිවිසෙන්න යැයි ආරාධනා කරනවා.

ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි අනුනායක හිමි-

මෙම කනගාටුදායක අවස්ථාවට බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි, මුස්ලිම් ආගමික නායකයන් එක්වුණා. රයිගම් කෝරළයේ ජනකාන්ත ජනනායකයකුගේ අවමංගල උත්සවයකටයි අපි සහභාගි වන්නේ. ශ්‍රී ලංකාවේ 11 වැනි අගමැති ධුරයට පත් රත්නසිරි වික්‍රමනායක මහතා ජාතික, ආගමික, සංස්කෘතික හා සමාජීය වශයෙන් කරන ලද විශිෂ්ට සේවය ජාත්‍යන්තර මට්ටමෙන් අපේ රට ලබාදුන් අති මහත් කීර්තිය මෙපමණයැයි සීමා කරන්නට බැහැ. නිදහසින් පසු දෙවැනි දසකයේ උදාවීමත් සමඟ බිහි වූ අගමැති බණ්ඩාරනායක මහතාගේ පක්ෂයෙන්, සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනියගේ නායකත්වයෙන් 1960 දශකයේ දේශපාලනයට එතුමා පිවිසියා. සිංහල භාෂාවත් බෞද්ධ ආගමත් රැකගැනීම උදෙසා විශිෂ්ට මෙහෙවරක නියුක්ත වූ රයිගම් හේවාගම් සල්පිටි කෝරළවලට නායකත්වය දුන් උදාර පුරුෂයෙක්.

විපක්ෂනායක ආර්. සම්බන්ධන් මහතා ඉංග්‍රීසි භාෂාවෙන් සභාව අමතමින් ශෝකය ප්‍රකාශ කෙළේය.

ස්තුති කතාව පැවැත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා-

ඔබත් මමත් දන්නා රත්නසිරි වික්‍රමනායක මහතා වසර 57ක් දේශපාලනයේ සිටියා. අද ඔබගෙන් අපගෙන් රත්නසිරි මහතා සමුගන්නේ උතුම්දෙයක් ඉතිරිකරලා. ඒ ඉතිරි කරපු දේ ඉදිරියට ගෙනයන්නට අපි ඇප කැප වෙමු. අපේ තාත්තා දිගට කතාකරපු කෙනෙක් නෙවෙයි. උත්සව දිගට පවත්වපු කෙනෙක් නෙමෙයි. නමුත් ඒ උත්සව සහ කතා ඉතා පරිපූර්ණයි. රටේ බරපතළ ප්‍රශ්න තිබුණ අවස්ථාවක, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයාත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයාත් හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියත් එකම වේදිකාවට ගෙනාවා.

අමරපුර නිකාය වෙනුවෙන් කොටුගොඩ ධම්මාවාස නාහිමි, ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකාය වෙනුවෙන් අනුනායක ලේඛකාධිකාරී මාතලේ ධම්මකුසල නාහිමියන් අනුශාසනා පැවැත්වූහ. හින්දු, ක්‍රිස්තියානි, මුස්ලිම් ආගම් නියෝජනය කරමින් ශෝකය පළ කළහ.

පිළිගැනීමේ කතාව ස්වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන මහතා සිදු කළේය. පානදුර තොටමුණ රයිගම් සල්පිටි කෝරළේ අධිකරණ සංඝනායක තලගල සුමනරතන නාහිමියන් මතක වස්ත්‍ර පූජාව සිදුකළ. හිටපු අගමැති දි.මු. ජයරත්න මහතා ප්‍රමුඛ මැති ඇමැතිවරු විපක්ෂ මන්ත්‍රීවරු විශාල පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ. 

නිරූෂි විමලවීර, හොරණ සමූහ, ඉංගිරිය සමූහ, බුලත්සිංහල විශේෂ, පෝරුව දණ්ඩ සමූහ, සහ හොරණ විශේෂ, හොරණ මධ්‍යම විශේෂ


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
16 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...