65 වැනි වියට පා තැබූ අනුරාධපුර අටමස්ථානාධිපති නාහිමි

 

අනුරාධපුර අටමස්ථානාධිපති, ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිසුමන ධම්මරක්ඛිත සිරිනිවාස නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ හැටපස් (65) වැනි වියට පා තැබීමේ ජන්ම දිනය නිමිත්තෙනි.

1953 ජනවාරි 02 වැනි දින මාතලේ දිසාවේ පල්ලේගම නමැති ගම්පියසේ පල්ලේගම දුක්ගන්නා වලව්වේ කුළුදුල් පිරිමි දරුවා ලෙස උපත ලද සිරිනිවාස නාහිමියන්ගේ පියා දුක්ගන්නා වලව්වේ ටිකිරි බණ්ඩාර නිලමේතුමාය. මව දුක්ගන්නා වලව්වේ අනුලා කුමාරිහාමි මාතාවය. උන්වහන්සේගේ ගිහි නම දුක්ගන්නා වලව්වේ ජයතිලක වේ.

07 වැනි ශ්‍රේණිය දක්වා පාසල් අධ්‍යාපනය ලබා 1968 වසරේ අනුරාධපුර රුවන්වැලි මහා චෛත්‍යාරාමයට පැමිණ මහා සංඝරත්නයේ ඇසුර ලැබ එවක අටමස්ථානාධිපතිව වැඩ විසූ උදුරුව හල්මිල්ලෑව ශ්‍රී රේවත නාහිමියන්ගේ අනුමැතියෙන් පල්ලේගම ධම්මරක්ඛිත නාහිමියන්ගේ පල්ලේගම ඤාණරතන හිමියන්ගේ ආචාර්යත්වයෙන් පල්ලේගම සිරිනිවාස නමින් සසුන්ගත වූහ. භික්ෂු අධ්‍යාපනය සඳහා අනුරාධපුර මහා විහාර පිරිවෙනට ඇතුළත් කිරීමට ධම්මරක්ඛිත ලොකු හාමුදුරුවෝ කටයුතු කළහ.

සිරිනිවාස පොඩි හාමුදුරුවන්ගේ ජීවිතයේ පළමුවැනි සදානුස්මරණීය සිදුවීම වූයේ ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ පළමු රන් වැටේ ප්‍රථම රන්කණුව ස්ථාපනය කිරීමේ අවස්ථාවේ සෙත්පිරිත් සජ්ඣායනා කිරීමේ පුණ්‍යවන්ත වරම උන්වහන්සේට ලැබීමයි. එකළ ජයසිරි මහා බෝසමිඳුන්ගේ තේවාව සිදුකළේද සිරිනිවාස පොඩි හාමුදුරුවන්ය. බෝධියේ තේවාවට ගිය සෑම අවස්ථාවකදීම උන්වහන්සේගේ සිතේ ජයසිරි මහ බෝ හාමුදුරුවන්ට තවත් රන්වැටක් සෑදීමේ සිතිවිල්ල සෙමින් සෙමින් ලියලා වැඩුණේය.

මහා විහාර පරිවේණාධිපති හිමියන් 1970 දී අපවත් වූයෙන් මහා විහාර පිරිවෙනද තාවකාලිකව වැසී ගියේය. 1971 වසරේ දී මාලිගාකන්ද විද්‍යෝදය මහ පිරිවෙනට ඇතුළුවීමට වාසනාව ලැබුණේය. මෙහි අධ්‍යාපනය ලැබීමෙන් පසු සඳලංකාව ශාස්ත්‍රෝදය පිරිවෙනට ඇතුළත් වූහ. මෙහි දී සාමාන්‍ය පෙළ විභාගය ඉතා ඉහළින්ම සමත්විය.

1975 ව‍සරේ වෙසක් මස 06 වැනි දින මහනුවර ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර සීමා මාලකයේ දී හේරත් හල්මිල්ලෑවේ රේවත, පල්ලේගම ධම්මරක්ඛිත, පල්ලේගම ඤාණරතන යන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ ආචාර්යත්වයෙන් උපසම්පදාව ලැබූහ.

1977 වසරේ නොවැම්බර් මස 20 වැනි දින අටමස්ථානාධිපතිව වැඩ විසූ උදුරුව හල්මිල්ලෑවේ ශ්‍රී රේවත නාහිමියන් අපවත් වූයෙන් අටමස්ථානාධිපති ධුරයට පත්වූයේ පල්ලේගම ඤාණරතන හිමියන්ය.

පසුව අභිනව අටමස්ථානාධිපති ඤාණරතන නාහිමියන්ගේ කාරුණික ඉල්ලීම පරිදි රුවන්වැලි මහා සෑයේ වැඩබලන විහාරාධිකාරී හිමියන් වශයෙන් මාස තුනක් පමණ බොහෝ කැපකිරීමෙන් කටයුතු කිරීමට සිරිනිවාස හිමියන්ට සිදුවූහ.

මේ අතරතුර හුණුපිටියේ ගංගාරාමයට වැඩම කළ සිරිනිවාස හිමියන් එහි සිට උසස් පෙළ පන්තිවලට සහභාගි වෙමින් ඉගෙනීමේ කටයුතු නැවත ආරම්භ කළේය. මෙහි අධ්‍යාපන කටයුතු කරන අතරතුර දී අටමස්ථානාධිපති ඤාණරතන නාහිමියන්ගේ ඉල්ලීමකට අනුව බෝමළුව පන්සලට නිත්‍ය වාසය සඳහා වැඩම කළහ.

බෝමළුව පන්සලට පැමිණීමත් සමඟම දිනපතා උදේ සවස ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වන්දනා කිරීමේ දුර්ලභ වාසනාව හිමිවිය. උන්වහන්සේ කැලණිය විශ්වවිද්‍යාලයට 1984 දී ඇතුළුවූහ. 1988 උන්වහන්සේ කැලණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේ දී උපාධිය ලබාගත්හ.

පසුව අටමස්ථානාධිපති නාහිමියන්ගේ ඉල්ලීමකට අනුව මිරිසවැටිය චෛත්‍යාරාමයේ විහාරාධිකාරී ලෙස උන්වහන්සේ පත්කෙරිණි. 1989 වසරේ දී මිරිසවැටියේ වස්වැසීමට උන්වහන්සේ තීරණය කළහ. වස් පින්කමද ඉතා සාර්ථකව සිදුකළ බැවින් උන්වහන්සේ කාගේත් ගෞරවාදරයට පත්වූහ.

1990 දී ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුර බෝධීන් වහන්සේ නමක් තායිලන්තයේ තෙන්නායිහි විහාරයකට වැඩම කරවීමට කටයුතු සංවිධානය කෙරුණේය. ඒ ගමන සඳහා අටමස්ථානාධිපති නාහිමියන් තෝරාගත්තේ සිරිනිවාස හිමියන්ය.

1993 පොසොන් පුන් පොහොය වනවිට මිරිසවැටිය චෛත්‍යයේ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන්ව කොත නිරාවරණය කිරීමේ පුණ්‍ය මහෝත්සවය සූදානම් වෙමින් තිබුණේය. එවකට ජනාධිපති ආර්. ප්‍රේමදාස මැතිතුමා අතින් කොත්වහන්සේ නිරාවරණය කිරීමට නියමිත විය. එහෙත් කිසිවකුත් නොසිතූ නොපැතූ ලෙස මැයි 01 දා ත්‍රස්තවාදීන්ගේ බෝම්බ ප්‍රහාරයකින් ප්‍රේමදාස ජනාධිපතිතුමා දිවංගත විය. මිරිසවැටිය චෛත්‍යයේ කොත නිරාවරණය කිරීමේ භාග්‍ය හිමිවූයේ ඉන්පසු ජනාධිපති පදවියට පත්වූ ඩී. බී. විජේතුංග මැතිතුමාටය. 1993 ජූනි මස 04 වැනි දින උදෑසන 8.12ට කොත නිරාවරණය කෙරුණි.

සිරිනිවාස හිමියන් වැඩ වසන පන්සලේ තත්ත්වය දුටු විජේතුංග ජනාධිපතිතුමාගේ සිත මහත් සේ කම්පාවට පත්විය. එතුමා මේ යතිවරයාණන්ට සංඝාවාසයක් තනාදීමට තම කැමැත්තෙන්ම ඉදිරිපත් වී වැඩ ආරම්භ කළේය.

මේ අතරවාරයේ දී 1994 වසරේ අභයගිරිය චෛත්‍යාරාමයේ වැඩ විසූ පෙරිමියන්කුලමේ උපතිස්ස ලොකු හාමුදුරුවෝ අපවත් වී වදාළහ. පසුව අටමස්ථානාධිපති ඤාණරතන නාහිමියන්ගේ බලවත් ඉල්ලීමකට අනුව සිරිනිවාස හිමියන්ට අභයගිරිය චෛත්‍යාරාමයට වැඩම කිරීමට සිදුවූහ. මෙහි දී සිරිනිවාස හිමියන් අභයගිරිය පන්සලේ පැවැති ජල ප්‍රශ්නය පළමුවෙන්ම විසඳූහ.

සිරිනිවාස හිමියන්ට අභයගිරියේ වැඩ සිටීමට සිදුවූයේ වසරක් පමණී. 1995 වසරේ දී රුවන්වැලි මහා සෑයේ විහාරාධිකාරීව වැඩ විසූ ඇතිනිමලේ ගුණරතන ලොකු හාමුදුරුවෝ අපවත් වී වදාළහ. මින්පසු අටමස්ථානාධිපති නාහිමියන් විසින් සිරිනිවාස හිමියන් රුවන්වැලි මහා චෛත්‍යයා රාමාධිකාරිධුරයට පත්කරන ලදහ.

1995 වසරේ දී මල්වතු මහා විහාර පාර්ශ්වයේ කාරක සංඝ සභාව විසින් සිරිනිවාස හිමියන් උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක පදවියට පත්කෙරුණේ මහත් ගෞරව බහුමානයෙනි. ඒ ගෞරවනීය පදවිය ලැබීමත් සමඟම පල්ලේගම සිරිනිවාස හිමියෝ පල්ලේගම සිරිසුමන ධම්මරක්ඛිත සිරිනිවාස නාහිමි නම් වූහ.

සිරිනිවාස නාහිමියන් රුවන්වැලි මහාසෑයට පැමිණීමෙන් පසු රෝගාතුර වූ පල්ලේගම ඤාණරතන අටමස්ථානාධිපති නාහිමියෝ අපවත් වී වදාළහ.

ඤාණරතන නාහිමියන්ගේ අපවත්වීමෙන් පසු අටමස්ථානාධිපති ධුරයට ඊළඟ සුදුස්සා වූයේ සිරිනිවාස නාහිමියන්ය. අටමස්ථාන කාරක සභාවේ අවසන් තීරයෙන් පසු අටමස්ථානාධිපති ඉතිහාසයේ එම උත්තරීතර පදවියට පත්වුණු ළාබාලම භික්ෂුන් වහන්සේ බවට සිරිනිවාස නාහිමියන් පත්වී සිටියහ. ඒ වනවිට උන්වහන්සේ 44 වැනි වියෙහි පසුවූහ.

අටමස්ථානාධිපති, ආචාර්ය පල්ලේගම හේමරතන නාහිමියන්ට උතුම් ජය ශ්‍රී මහා බෝසමිඳුන්ගේ පිහිට හා ආරක්ෂාව ලැබ ඉදිරියේ දී ශාසනය වෙනුවෙන් තව තවත් මෙහෙවරයන් ඉටුකිරීමට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමු.

 

සටහන හා ඡායාරූපය -
සේනපුර ඩී. නිශ්ශංක -අනුරාධපුර නැ‍ඟෙනහිර සමූහ 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...