අත්හැරීමෙන් ලැබෙන සැනසීම ඉතා උතුම් | දිනමිණ

අත්හැරීමෙන් ලැබෙන සැනසීම ඉතා උතුම්

 

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සහ තමන්කඩුව පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක හරන්ගල ශ්‍රී විමලරතන හිමි

බුදුදහමෙහි ඉගැන්වෙන අත්හැරීමේ ඇති වැදගත්කම පිළිබඳ කරුණු පහදන්නේ කොත්මලේ හරන්ගල කල්‍යාණිවර්ධනාරාමය, කවුඩුල්ල සංසුන්ගම ශ්‍රී ශාක්‍යසිංහාරාමය ප්‍රධාන අනුබද්ධ විහාරයන්හි අධිපති ශ්‍රී සද්ධර්ම වාගීශ්වර ධර්මරක්ෂිත හරන්ගල ශ්‍රී විමලරතනාභිධාන පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සහ තමන්කඩුව පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක ස්වාමින්ද්‍රයාණන් වහන්සේ විසිනි.

* ‘අත්හැරීම’ බෞද්ධ ඉගැන්වීමේ එන ප්‍රධාන ගුණාංගයක් ඒ පිළිබඳව යමක් පැහැදිලි කරනවා නම්,

අපේ ජීවිත තෘෂ්ණාවෙන් බැඳිලා තියෙන්නේ. ඒ තෘෂ්ණාවෙන් නිදහස්වීම අත්හැරීමයි. ලෝභ, ද්වේෂ, මෝහ කියන අකුසල් මුල්තුන අත්හරිනකොට අනිත් සියල්ලම අත්හැරෙනවා. ලෝභකම අත්හරින්න දන්දෙන්න ඕන. ද්වේෂය අත්හරින්න මෛත්‍රී කරන්න ඕන. මෝහය අත්හරින්න ධර්මය පිළිබඳ අවබෝධය ඇති කරන්න ඕන. ධර්මය කියන්නේ ලෝක තත්ත්වයන්. එය අත්හරින කොට අලෝභ, අදෝෂ, අමෝහ කුසල් මුල්බවට පත්වෙනවා. මේ සඳහා යන මාර්ගය තමයි ආර්ය අෂ්ඨාංගික මාර්ගය. ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ගමන් කරනකොට මනස සංවර්ධනය වෙනවා. අත්හැරීම සිද්ධවෙනවා. නිවන අවබෝධ වෙනවා.

* බුදුරජාණන් වහන්සේ අත්හැරීම පිළිබඳ දේශනා කර තිබෙන්නේ කොහොමද?

උන්වහන්සේගේ දේශනාවේ ආරම්භයේ ඉඳලම පැහැදිලි කරන්නේ ඒ කාරණාව තමයි. ධම්මචක්කපවත්තන සූත්‍රයේ පළමුවෙන්ම කියන්නේ අත්තකිලමතානු යෝගය හා කාමසුකල්ලිකානු යෝගය පිළිබඳව. මේ අන්ත දෙකේදීමත් කියන්නේ අත්හරින්න කියන එකයි. මධ්‍යම ප්‍රතිපදාවේ ගමන් කරන්න. එවිට ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ඔස්සේ ගමන් කරන්න පුළුවන්. එසේ ගමන් කරනකොට සත්‍ය අවබෝධ වෙනවා. එතකොට සතර සත්‍ය අවබෝධ කරගත් තැනැත්තෙක් බවට පත්වෙනවා.

“පුත්තා මත්ථි ධනම්මත්ථි - ඉති බාලෝ විහඤ්ඤතී

අත්තා හි අත්තනෝ නත්ථි - කුතෝ පුත්තා කුතෝ ධනං

* “අනේ මට දරුමල්ලො ඉන්නවා. මට සල්ලි බාගෙ තියෙනවා” කියලා ආඥාන පුද්ගලයා ඒ මත්තේම හැපෙනවා. නමුත් තමන්ට තමන්වත් නෑ. එහෙම එකේ දරුමල්ලො කොහෙද? සල්ලි බාගෙ කොහෙද?

ධම්ම පදයේ බාල වග්ගයේ මෙම ගාථා පාඨය සඳහන් වෙනවා. එයින්ද දේශනා කරනු ලබන්නේ තමාට තමන්වත් නැති කල සියල්ල ඇද බැඳ තබාගැනීමෙන් ඇතිවන ඵලය කුමක්ද කියන එකයි. බුදුන් වහන්සේ සියල්ල අත්හරින විදිහ ලෝකයාට ක්‍රියාවෙන්ම ඔප්පු කර පෙන්වා දුන්නා. දිව්‍ය ලෝකයේ ඉඳලා මනුස්ස ලෝකයට ඇවිල්ලා බලය, ධනය, දේපළ, දූදරුවෝ සියල්ල අත්හැරලා උන්වහන්සේ ලෝකයාට පෙන්වා දුන්නා මේ සියල්ල ඇද බැඳ තබාගැනීමෙන් ඵලක් නොවන බව. සියල්ල අත්හැරීම තුළින් ලබන සැපය තරම් උතුම් සැපයක් නොමැති බව.

* ඔබ වහන්සේ ලෞකික සැප සම්පත් සියලු දේ අත්හැර පැවිදි දිවියේ ලබා ඇත්තේ කුමන ඵලයක්ද?

මගේ වයස දැන් අවුරුදු 80ක් වෙනවා. අවුරුදු 60ක් වස් වසලා තියෙනවා. ශාසනික සේවාවන් උසස් අන්දමින් සිදුකරලා තියෙනවා. මම ජාතියට ආගමට යුතුකම් නොපිරිහෙළා ඉටුකළා. ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා සෑහෙන ප්‍රමාණයක් ගොඩනගා, පන්සල් විශාල ප්‍රමාණයක් ඇති කරලා ජාතික ආගමික වශයෙන් විශාල සේවාවක් සිදුකර මා බාරයේ තිබෙන ජාතික ආගමික පූජනීය ගරු ලඝු වස්තු සියල්ල සම්බුද්ධ ශාසනයට පූජා කරලා ඒවායේ පාලනය ගෙන යන්න දක්ෂ, දැන උගත් භික්ෂුන් වහන්සේලා පත්කරලා උන්වහන්සේලාට බාරදුන්නා. ඒ ‍බෞද්ධ උරුමය සන්නස්ගත කරලා ඒ සියලු වගකීම් එම විහාරස්ථානවල වැඩ වාසය කරන ගෝල ශිෂ්‍යාදීන්ට පවරා දුන්නා. මල්වතු මහා විහාරයෙන් මට පිරිනමන ලද පොළොන්නරුව දිස්ත්‍රික්කය හා තමන්කඩුව පළාත ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය මා නැවත මල්වතු මහා විහාරයට බාර කළා. ‍ෙම් සියලු දේවල් අත්හැරීම තුළින් මා ලබා ඇත්තේ නිරාමිස සැනසිල්ලක්.

* බෞද්ධ භික්ෂුන් වහන්සේලා මෙම අත්හැරීම කෙසේද සිදුකරන්නේ දැයි පැහැදිලි කළොත්?

අල්පේච්ඡ ජීවිතයක් ගත කරන්න ඕන. පරපටිබද්ධා මේ ජීවිකාති මේ ජීවිතය අනුන්ට උපකාර පිණිස අනුන් මත යැපෙන්නකි. අපි බුදුන්ගාවදි බැ‍ඳෙන්නෙ මේ වගන්තිය උඩ. නමුත් එහෙම බැඳිලා සියලුම වස්තුව එකතු කර ගන්නවා. සියලුම ධනස්කන්ධය පුරවාගෙන අත්හල යුතු සියල්ල ළංකර ගන්නවා. එවිට බුදුන්වහන්සේ දේශනා කළ මැදුම් පිළිවෙතේ ගමන් කරන්න නොහැකි වෙනවා. වර්තමානයේ බෞද්ධ භික්ෂුව දේශපාලන තන්ත්‍රයට පොලඹවා ගන්නා බවක් පෙනෙනවා. එහෙම නොවී හිටියනම් හොඳයි. ඕනම දෙයකට බැඳීම නරකයි. පාරාජිකා ශික්ෂාපද රැකගන්නෙ නැත්නම් අපි ජීවිතයේ පරාජය වෙත ගමන් කරනවා. පාරාජිකාහතරම බිඳිලා හොර රහසේ ජීවත්වෙනවා නම් එවැනි භික්ෂුව ගිහියටත් එහා ගිය ලෞකික සැපයට ගිජුවෙනවා.

* ගිහියන්ට මෙම අත්හැරීම සිදුකරන්න අමාරුයි. ඔවුන්ට දෙන උපදේශය කුමක්ද හාමුදුරුවනේ?

ඔවුන්ට බැඳීම් වැඩියි. ඔවුන්ට එය පුරුදු පුහුණු කරන්න සෑහෙන වෙහෙසක් ගන්න සිදුවෙනවා. දේවල් රැස්කරන්න උත්සාහ කරන තරමට දුක වැඩියි. බැඳීම් වැඩි වෙනවා. එයින් තෘෂ්ණාව වැඩි වෙනවා. තෘෂ්ණාව ඉවත් කළොත් තමයි ජීවිතය සරලව ගෙවන්න පුළුවන් වෙන්නේ. ජීවිතය ජයගන්න පුළුවන් වෙන්නේ. ජීවිතය නිදහස් කරගන්න නම් තෘෂ්ණාව ඉවත් කරන්න ඕන. තෘෂ්ණාව ඉවත් කරන්න නම් ඒ කෙරෙහි තිබෙන ආශාව ඉවත්කරන්න ඕන. සියල්ලම මමය, මාගේය කියලා ඇද බැඳ තබාගන්න එපා. මේ ලෝකයේ අපට අයිති කිසිමදෙයක් නෑ. මේ සියල්ල අත්හැරලා යනවා කියන දේ තේරුම් අරගෙන ජීවත්වෙන්න ඕන.

සංවාද සටහන - කුසලා සජීවනී
සහකාර අධ්‍යක්ෂ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය

නව අදහස දක්වන්න