රිවස්ටන් කඳු තරණ මැරතන් ජය යුද හමුදාවේ චාමරට | දිනමිණ

රිවස්ටන් කඳු තරණ මැරතන් ජය යුද හමුදාවේ චාමරට

අසෝක හිඳගොඩ මාතලේ දිසා විශේෂ

මාතලේ දිසා මලල ක්‍රීඩා සංගමය වාර්ෂිකව සංවිධාන කළ 16 වැනි සමස්ත ලංකා විවෘත රිවස්ටන් කඳු තරණ මාර්ග ධාවන තරගයේ ශූරයා ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවේ චාමර ප්‍රියංකර අලහකෝන් සම්මාන ලැබීය. මීට සමගාමීව පැවැති මාතලේ දිසා පාසල් තරගයේ ජය මාතලේ සහිරා ජාතික පාසලේ එම්.එස්.මොහොමඩ් සාමිල් සතුවිය. කි.මි. 18ක් දුරැති මේ තරගය රත්තොට කුරුවාව පාලම අසලින් ආරම්භ වී රිවස්ටන් මාර්ගය ඔස්සේ රිවස්ටන් කන්ද දක්වා ගොස් නිමාවට පත්විය.

තරගයේ ජය සංකේත ප්‍රදානය ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සභාපති සුගත් තිලකරත්න මහතා අතින් සිදු කෙරිණි. මේ අවස්ථාවට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ කමිටු සාමාජික බර්නාඩ් පෙරේරා, මාතලේ දිසා මලල ක්‍රීඩා සංගමයේ ලේකම් රංජිත් අලුවිහාරේ, භාණ්ඩාගාරික කෙනඩි වීරසිංහ යන මහත්වරුද එක්වුහ.

මෙහිදී අදහස් දැක්වු ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සභාපති සුගත් තිලකරත්න මහතා, “රිවස්ටන් කඳු තරණය අපේ රටේ මලල ක්‍රීඩකයන්ට පෙර පුහුණු කාලයට ඉතා වැදගත් අවස්ථාවක් ලෙස මා දකිනවා. මේ තරගය වසර ගණනාවක්ම අඛණ්ඩව පවත්වාගෙන ඒම ගැන මාතලේ දිසා මලල ක්‍රීඩා සංගමයට ස්තුතිවන්ත වෙනවා යැයි පැවැසීය.

මේ තරගයේ ජයග්‍රාහකයන්ට මූල්‍ය ත්‍යාග ප්‍රදානය සඳහා ව්‍යාපාරික සමන් අලුවිහාරේ, උපුල් පෙරේරා සහ මාතලේ දිසා මලල ක්‍රීඩා සංගමයේ සභාපති රුවන් පල්ලියගුරු යන මහත්වරු අනුග්‍රහය දක්වා තිබුණි.

තරග ප්‍රතිඵල විවෘත පිරිමි

1.චාමර ප්‍රියංකර අලහකෝන් (යුද), 2.පී.ජී. සුජිත් කුමාර (ඇපලෝ ක්‍රී.ස. ගම්පොළ), 3.එම්.ජී.අනුර බණ්ඩාර (සිංහ ක්‍රී.ස - හඟුරන්කෙත), 4.එච්.බි.සංජිව දිල්ෂාන් (යුද), 5.ජේ.පී.එස්.දුමින්ද (යුද), 6.එම්.ඩී. සංජිව (යුද), 7.කේ.ඩි.එස්.කුමාර (යුද)

පාසල් බාලක

1.එම්.එස්.මොහොමඩ් සාමිල් (සහිරා ජා.පා. - මාතලේ), 2.ජී.එම්. සදරුවන් අසංක බණ්ඩාර (කයිකාවල ම.ම.වි), 3, එල් පාර්තීබන් (අජ්මීර් විදුහල - උකුවෙල) 


නව අදහස දක්වන්න

Or log in with...