ඖෂධ 23ක් මතට විකුණන ජාවාරමක් | දිනමිණ

ඖෂධ 23ක් මතට විකුණන ජාවාරමක්

විජයානි එදිරිසිංහ

සියලු ඖෂධ දරුණු රෝගවලට දෙන ඒවා

දරුණු ගණයේ රෝග වැළඳී ඇති රෝගීන්ට ලබාදෙන සුවිශේෂී ඖෂධ වර්ග 23ක් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මත්පෙති වශයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් හරහා අලෙවිකරන බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය සහ ‍ඖෂධ නියාමන අධිකාරිය මඟින් හෙළිකරගෙන තිබේ. ‍

මෙම ජාවාරම ජාත්‍යන්තරය හා සම්බන්ධ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ජාලයක් ලෙස ක්‍රියාත්මක වන බවද හඳුනාගෙන තිබේ. එම ජාවාරම කළ පුද්ගලයන් ගණනාවක් ද අත්අඩංගුවට ගෙන ඇත.

මේ හේතුව නිසා මෙම ඖෂධ රෝගීන්ට අවශ්‍ය ප්‍රමාණයට පමණක් රජයේ ඖෂධ වෛද්‍ය සැපයුම් අංශයෙන් ගෙන්වීම සිදුකරයි.

රජයේ රෝහල්වලට අමතරව පෞද්ගලික රෝහල්වලට ද එම ඖෂධ ලබාදීම රජයේ වෛද්‍ය සැපයුම් අංශය මඟින් ක්‍රියාත්මක වෙයි. එම ඖෂධ ලබාදීම හා ඒවා රෝගීන්ට ලබා දුන්නේද නැද්ද යන්න සම්බන්ධව ‍ඖෂධ නියාමන අධිකාරිය මඟින් මසකට දෙවරක් නිරීක්ෂණ වාර්තාවක් ලබා ගන්නා බව ඖෂධ නියාමන අධිකාරියේ ආහාර හා ‍ඖෂධ ප්‍රධාන පරීක්ෂක අමිත් පෙරේරා මහතා කීය.

මෙම ඖෂධ ලබා දෙන්නේ දරුණු ගණයේ පිළිකා රෝගයෙන් පෙළෙන ශල්‍යකර්මවලට ලක්වූ රෝගීන් වැනි රෝගීන්ගේ වේදනා නාශකයක් වශයෙනි.

මෙම ඖෂධ මෙරට නිෂ්පාදනය නොකරේ. විදෙස් රටවල මේවා නිෂ්පාදනය කර විවිධ ආකාරයේ හොර මාර්ග ඔස්සේ මෙරටට ගෙනැවිත් මත්ද්‍රව්‍යයක් ලෙස නියමිත මාත්‍රාවට වඩා වැඩි ප්‍රමාණවලින් අලෙවි කරන බවද හෙළිවී ඇත.

විශේෂයෙන් B වර්ගයේ ඖෂධ සහ III කාණ්ඩයට අයත් වන මෙම ඖෂධ බටහිර ඖෂධ ලෙසද හඳුන්වනු ලබයි.

විශේෂයෙන් ට්‍රැමඩෝල් නමැති ඖෂධ වර්ගය ඇල්ට්‍රසෝලා, CNS නමැති ස්නායු පද්ධතිය හා සම්බන්ධ රෝගවලට දෙන ඖෂධ, දරුණු මානසික ආබාධ සඳහා ලබාදෙන ඖෂධ වැනි ඖෂධ වර්ග 23ක් ‍මෙසේ අවභාවිතය වී ඇත.

තවද කැස්සට ලබාදෙන පැනි වර්ගයක් මත්ද්‍රව්‍යයක් ලෙස වැඩිපුර බීම නිසා මේ වනවිට හත්දෙනෙක් මිය ගොස් ඇති බව අධිකරණ වෛද්‍ය වාර්තාවලින් අනාවරණය වී තිබේ.

විදෙස් රටක නිෂ්පාදනය කරන එම ඖෂධ තැපැල් මාර්ගයෙන් ගෙන්වීම බහුලව සිදුකෙරෙන බවත් මෑතක දී පෙති හැත්තෑ දහසක් හමු වූ බවත් අජිත් පෙරේරා මහතා අනාවරණය කළේය.

රජය වෛද්‍ය සැපයුම් අංශය හරහාද එම ඖෂධ ගෙන්වන්නේ ඉතා සීමිත ප්‍රමාණයකි.

විදෙස් රටවල හොරට නිෂ්පාදනය කරන මෙම ඖෂධ මත්ද්‍රව්‍යවලට වඩා අඩු මිලට අලෙවි කරන බවද සොයාගෙන තිබේ.

මෙම ඖෂධ වර්ග මත්ද්‍රව්‍ය ලෙස භාවිතා කරන්නන් ඉතා ටික කාලයකදී ඔවුන්ගේ ශරීරයේ අභ්‍යන්තර කොටස් දරුණු ආබාධවලට ලක්වන බවත් එවැනි රෝග හඳුනාගැනීම පවා අපහසු බවත් සොයාගෙන ඇත. 

නව අදහස දක්වන්න