රසායනාගාර සේවා වැඩි දියුණුවට කෝටි 150ක් | දිනමිණ

රසායනාගාර සේවා වැඩි දියුණුවට කෝටි 150ක්

සන්ධ්‍යා කරුණාරත්න

රට පුරා රජයේ රෝහල්වල රසායනාගාර සේවා වැඩිදියුණු කිරීම සඳහා පසුගිය වසර දෙකේදී රජය රුපියල් කෝටි 150ක මුදලක් වැය කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.

ඩෙංගු රෝගීන්ට සිදු කරන රුධිර පරීක්ෂණ ඇතුළු සියලු රසායනාගාර පරීක්ෂණ මේ වන විට වැඩිදියුණු කර ඇති බවත් ඩෙංගු රෝගීන්ට ප්‍රතිකාර ලබාදීම සඳහා රෝහල්වල අධි සත්කාර ඒකක වැඩිදියුණු කිරීමට රජය රුපියල් මිලියන 600ක මුදලක් වැය කර ඇති බවත් ඒ මහතා පැවසීය.

වසංගත රෝග විද්‍යා අංශයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ඒ මහතා මේ බව ඊයේ (30) ප්‍රකාශ කළේය. පසුගිය මාස 12 තුළදී ඩෙංගු මදුරු මර්දනය සඳහා රට පුරා පරිශ්‍ර මිලියන දෙකක් පරීක්ෂාවට ලක් කළ බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය ඇතුළු ජනාධිපති කාර්ය සාධන බළකාය එක්ව මේ පරීක්ෂා කිරීම් සිදු කළ බවත් ඒ මහතා පැවසීය.

මේ වසර තුළදී ඩෙංගු රෝගීන් වැඩිපුර වාර්තා විය හැකි කාල සොයා බලා ජාතික මදුරු මර්දන සති දෙකක් ප්‍රකාශයට පත් කළේ යැයි ද මදුරු මර්දනය සඳහා ධූමායනය ඇතුළු ආරක්ෂක පියවර අනුගමනය කිරීම සිදු කරන්නේ යැයි ද ඔහු කීය.

තමා ජීවත්වන අවට පරිසරය මදුරුවන් බෝ නොවන ලෙස පිරිසිදුව තබා ගැනීම, උණ රෝගයෙන් පෙළෙන්නේ නම් දින දෙකක් තුළ රුධිර පරීක්ෂණයක් සිදු කර හැකි ඉක්මණින් ප්‍රතිකාර ගැනීමට යොමු වීම, උණ රෝගයට පැරසිටමෝල් හැර වෙනත් අත්බේත් වර්ග භාවිතා නොකිරීම යනාදිය කෙරෙහි අවධානය යොමු කිරීමෙන් ඩෙංගු සංකූලතා ඇති වීම වළක්වා ගත හැකිය.

ඊසාන දිග වර්ෂාවත් සමඟ ඉදිරි කාලයේදි ඩෙංගු වැඩිවීමේ අවදානමක් පවතින අතර ඉදිරි සති දෙක තුළදී මදුරු මර්දන වැඩසටහන් තවදුරටත් ශක්තිමත් කිරීමට පියවර ගන්නා බව ද වෛද්‍ය මහීපාල මහතා පැවසීය.

මේ වන විට දිස්ත්‍රික් දහයක ඩෙංගු අවදානම පවතින අතර කොළඹ, ගම්පහ, ගාල්ල, කල්මුණේ වැඩි අවදානමක් පවතින්නේ යැයි ද ඔහු කීය.

රට පුරා ඩෙංගු රෝගීන් 50,000කට අධික පිරිසක් වාර්තා වී ඇති බවත් මරණ 83 ක් සිදුව ඇති බවත් වසංගත රෝග විද්‍යා අංශය පෙන්වා දෙයි. 

නව අදහස දක්වන්න