සීමා නිර්ණය වාර්තාව ඇමැති ප්‍රතික්ෂේප කරයි | දිනමිණ

සීමා නිර්ණය වාර්තාව ඇමැති ප්‍රතික්ෂේප කරයි

උදුලා පීරිස්

සීමා නිර්ණය කමිටුව විසින් ඊයේ (2)පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා වෙත සීමා නිර්ණය වාර්තාව භාරදුන්න ද ඔහු විසින් එය ප්‍රතික්ෂේප කළේය.

අශෝක පීරිස් මහතාගේ සභාපතිත්වයෙන් යුත් මහාචාර්ය ඒ.එස්.එම්. මිස්බාර් (එජාප), නීතිඥ සාලිය මැතිව් (ශ්‍රීලනිප), නීතිඥ උපුල් තෙවරප්පෙරුම (ජවිපෙ), මහාචාර්ය පී. බාලසුන්දරම් පිල්ලේ (දෙමළ සන්ධානය) යන පස්දෙනකුගෙන් සමන්විත සීමා නිර්ණය කමිටුවේ ඒ.එස්.එම් මිස්බාර් හා සාලිය මැතිව් යන කමිටු සාමාජිකයන් දෙදෙනාගේ අත්සන් සීමා නිර්ණය වාර්තාවේ නොමැතිවීම හේතුවෙන් අදාළ වාර්තාව භාරගැනීම විෂය භාර අමාත්‍ය මුස්තාෆා මහතා විසින් ප්‍රතික්ෂේප කරන ලදි. එසේම අදාළ වාර්තාව නෛතික රාමුවක් තුළ සම්පූර්ණ කර භාරදෙන ලෙස අමාත්‍යවරයා සීමා නිර්ණය කමිටු සභාපතිවරයාට දන්වන ලදී.

මෙහි දී අමාත්‍ය මුස්තාෆා මහතා මෙසේද කීය.

මුලින්ම කිව යුතුයි මම කටයුතු කරන්නේ 2012 අංක 22 දරන පළාත් සභා හා පළාත් පාලන පනතට අනුවයි. පසුගිය ආණ්ඩුව කාලේ සීමා නිර්ණය වාර්තාව හැදුවේ ප්‍රබල ඇමැතිවරයකුගේ අනුදැනුම ඇතව. ඒ සඳහා අත්සන් යෙදුවේ ද එම ඇමැතිවරයාමයි. මෙවර පළාත් පාලන අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් මා පත්කළ පසු රටට, ජනතාවට හා ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කිරීම සඳහා සීමා නිර්ණය වාර්තාව සැකසීම සඳහා පක්ෂ හතරක් එකතුවෙන් කමිටුවක් පත්කළේ අගමැතිවරයායි. මේ නිසා මේ කමිටුව කිසිදු පක්ෂයකට පක්ෂග්‍රාහීව කටයුතු කරන්නේ නැතිබව මට විශ්වාසයි.

පසුගිය දිනක මම මක්කම වන්දනාවේ ගියා නමුත් අද සීමා නිර්ණය වාර්තාව භාරදීමට නියමිත දිනය නිසා මම මගේ පියා ඇතුළු පවුලේ ඥාතීන් විදේශයේ සිටියදී මා තනිවම ශ්‍රී ලංකාවට ආවා. ඒ මගේ වගකීම ඉටු කිරීම සඳහායි. අද සීමා නිර්ණය වාර්තාව භාරදුන්නොත් අපි එම වාර්තාව හෙට ගැසට් කරන්න සූදානම්. නමුත් අද මාවෙත ලබාදීමට අශෝක පීරිස් මහතා විසින් ගෙන එනු ලැබූ සීමා නිර්ණ වාර්තාව අසම්පූර්ණයි. එම නිසා මේ වාර්තාව භාරගැනීමේ හැකියාවක් නැහැ. අපි බලාපොරොත්තු වන සීමානිර්ණය වාර්තාව සම්පූර්ණ වාර්තාවක් විය යුතුයි. මේ නිසා එවැනි සම්පූර්ණ වාර්තාවක් අදාළ කමිටුවෙන් ලැබෙනු ඇතැයි මා විශ්වාස කරනවා. එසේම දෙවන කොටස ලෙස ඡන්ද කොට්ඨාස සීමා දැක්වෙන අයුරින් විග්‍රහ විය යුතු අතර එය භාෂා තුනෙන්ම තිබිය යුතුයි.

සීමා නිර්ණ කමිටුවේ සභාපති අශෝක පීරිස් මහතා-

පසුගිය සිකුරාදා දින සීමා නිර්ණ කමිටුවේ සාමාජිකයන් පස් දෙනාම කතා වුණා සියල්ල සම්පූර්ණ කර සීමා නිර්ණය වාර්තාව අද ඇමැතිට භාර දෙනව කියල. නමුත් සාමාජිකයන් දෙදෙනකු වාර්තාව කියවා අවසන් නොමැති නිසා ඔවුන් අදාළ වාර්තාවට අත්සන් කිරීම ප්‍රතික්ෂේප කළා. මේ නිසා

සීමා නිර්ණය වාර්තාව අද දිනයේ භාර ගැනීම අමාත්‍ය මුස්තාෆා මහතා විසින් ප්‍රතික්ෂේප කළා. මේ වාර්තාව සම්පූර්ණ කර ඉදිරියේ දී භාර දෙන ලෙස මා ප්‍රකාශ කරනවා.

නව අදහස දක්වන්න