මහින්දට නීතිමය පියවර ගන්නවා | දිනමිණ

මහින්දට නීතිමය පියවර ගන්නවා

උපාලි කරුණාරත්න

බොදුබල සේනා සංවිධානය අපහාසයට ලක් කරන ආකාරයේ ප්‍රකාශයක් කලැයි චෝදනා කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයක් ගන්නා බව එහි ප්‍රධාන විධායක ආචාර්ය ඩිලන්ත විතානගේ මහතා ප්‍රකාශ කරයි. ‍‍

විතානගේ මහතා එසේ ප්‍රකාශ කළේ ඊයේ( 02) කොළඹ කිරුළපන දී පැවැති මාධ්‍ය හමුවක් අමතමිණි.

බොදුබල සේනා සංවිධානයට එල්ල කල චෝදනා සම්බන්ධයෙන් සත්‍ය අසත්‍යතාව හෙළිකර ගැනීමට හිටපු ජනාධිපතිවරයා වටේ සිටින කේවට්ටයින්ට ඕනෑම රූපවාහිනී නාලිකාවක් තුළින් වාදයකට පැමිණෙන ලෙසද දිලන්ත විතානගේ මහතා අභියෝග කර සිටී. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සහ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා සමග බොදුබල සේනා සංවිධානය සාකච්ඡා පැවැත්වූයේ හොර රහසේ නොවන බවද කීය.

රා‍ජපක්ෂ පාලන සමයේ විල්පත්තුවේ ඇතිවි තිබෙන ගැටළුවට විසදුම් සෙවීමට මැදිහත්වීම නිසා හිටපු ජනාධිපතිවරයාගෙන් සහ බැසිල් රාජපක්ෂ හිටපු ඇමැතිවරයාගෙන් තර්ජන එල්ලවූ බවද බොදුබල සේනා සංවිධාන වැනි සංවිධාන පාලනය කරන අන්දම දන්නා බව මහින්ද මහතා පැවසීම බරපතල ප්‍රකාශයක් යයිද කීය.රිෂාඩ් බදුර්දීන් ඇමැතිවරයා දේශපාලනයේදී හිටපු ජනාධිපතිවරයාට සහ බැසිල් රාජපක්ෂ මහතාට ඉතා කැමැත්තක් දක්වන බව කී විතානගේ මහතා ඔහු ඇතුළු මුස්ලිම් ඇමැතිවරුන් ඉදිරියේදී විවිධ දේශපාලන තින්දු තීරණ ගත හැකි යයි පැවසීය.

බොදුබල සේනා සංවිධානය එක්සත් ජාතික පක්ෂයේ, නෝර්වේ, ගෝඨාභය රාජපක්ෂ මහතාගේ, පාඨලී ඇමැතිවරයාගේ කොන්ත්‍රාත් බාරගෙන නොමැති බවද කී දිලන්ත විතානගේ මහතා ෆැෂන් බග් ආයතනයට පහරදීම, අලුත්ගම කෝලාහලයට තම සංවිධානයේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් ඒ වා පිටුපස සිටිනුයේ රාජපක්ෂ මහතාට සම්බන්ධ පිරිස් බවත් චෝදනා කළේය. මහින්ද රාජපක්ෂ මහතාව විවේචනය කිරීම පිළිබඳව ඊයේ දිනයේ හිතවත් මාධ්‍යවේදියකු අනතුරු ඇඟවූ බවද කී ප්‍රධාන විධායකවරයා පාඨලි චම්පික රනවක මහතා ඉදිරියේදී ජනාධිපති වන බවට ගලගොඩඅත්තේ ඤානසාර හිමියන් ප්‍රකාශ කළේ යයි නගන චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන බවද කීය.

යුද්ධය ජයග්‍රහණය කිරීමට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ක්‍රියාකළ ආකාරය බොදුබල සේනා සංවිධානය අගය කරනවා යයිද පැවසූ විතානගේ මහතා ඔහු ප්‍රිය මනාප චරිතයක් බවත් තමන්වෙත වැරදි තොරතුරු ලබා දෙන්නන්ගෙන් මහින්ද රජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පරිස්සම් විය යුතු යයිද පැවසීය.

නව අදහස දක්වන්න