අලුත් ව්‍යවස්ථාවට යෝජනා

 බණ්ඩි රාල ගෙදරට ගොඩවුණේ හොඳටම හවස්වෙලා. ඒ වෙද්දි මායියා ඉස්තෝප්පුවට වෙලා ටී.වී. එකේ ප්‍රවෘත්ති බලනවා. ලෝකයේ උසම නත්තල් ගහ බලන්න ආව පිරිස් සුරංගනා කතා කියනවා.

‘ඇත්තටම අපට හරිම ආඩම්බරයි, ලෝක වාර්තාවක් පිහිටුවන්නට ලැබීම ගැන. මේක හරිම ලස්සනයි. දැන් ඕන කෙනකුට මේක බලලා සතුටු වෙන්න පුළුවන්’ නත්තල් ගහ බලලා ගෙදර යන ගමන් මයික්‍රෆෝනයකට අදහස් ප්‍රකාශ කළ කෙනෙක් එහෙම කීවා. ඒක බැලුව මායියා ගෙට ගොඩවෙද්දිම බණ්ඩි රාලගෙ ඇඟට ගොඩවුණා.

“මොනවද අනේ ඔයා ලෝකෙ තියෙන ලොකු ලොකු මතවාද අරව මේව ගැන ලොකු ලොකු කතා කියනවා. ලෝකෙ උස්ම නත්තල් ගහ බලන්න මාව එක්කරගෙන ගියේ නෑ.”

“ඒකෙ ඇති දෙයක් නෑ” බණ්ඩි රාල ගාණකට නොගෙන කීවා.

“ඇති දෙයක් නැත්නම් මෙච්චර ටී.වී එකේ ඒක පෙන්නයියැ? අනික මිනිස්සු මෙච්චර උනන්දුවෙන් ඔය ගැන කතා කරයියැ?” මායියා වැඩේ අතාරින පාටක් නෑ.

“නෑ.නෑ මං ඔයාගෙන් එක ප්‍රශ්නයක් අහන්නම්. ඇයි ඔය ලෝකෙ ලොකු ලොකු දේවල් හදන්න උනන්දුවෙන අපේ අය ලෝකෙ හොඳම දෙයක් හදාගන්න එච්චර උනන්දුවක් දක්වන්නෙ නැත්තෙ.?”

“මොකක්ද දැන් ඔයා කියන හොඳම දේ?” මායියා අහනවා.

“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්. ඉතිං අපට බැරි ඇයි ලෝකෙ හොඳම ව්‍යවස්ථාවක් හදාගන්න” බණ්ඩි රාල තමන්ට ඕන තැනකට සංවාදය අරන් එන්න හැදුවා.

“අනේ මේ. ඔය මොන ව්‍යවස්ථාවක්වත් හදන්න අපි උදව් වුණා කියලයැ. මොකද මේ සැරේ විතරක් බොරුවට දඟලන්නේ?” මායියා එහෙම කියාගෙන කුස්සිය පැත්තට ගියා.

එක අතකට මායියා කියන දේ බොරු නොවන බව බණ්ඩි රාල තනියම කල්පනා කරන්න ගත්තා. නිදහස ලැබුණා යයි කියන නිදහස් ශ්‍රී ලංකාවේ පළමුවැනි ව්‍යවස්ථාව කියන්නෙත් අයිවර් ජෙනිංන්ග්ස් උන්නැහේ හදලා අපට පටවපු එකක්. පළමුවැනි ජනරජ ව්‍යවස්ථාව කියන්නෙ කොල්වින් ආර් උන්නැහේ හදලා දුන්නු එකක්. දෙවැනි ජනරජ ව්‍යවස්ථාව 78 දී ගේන්නෙත් අර මහාචාර්යවරුන් දෙන්නෙක් එකතු‍වෙලා හදලා ජේ.ආර් උතුමා විතරක් බලලා මේකට යටත් වෙයල්ලා කියලා දුන්නු එකක්. එහෙව් එකේ ලංකා ඉතිහාසයේ පළමුවැනි වතාවට ‘අලුත් ව්‍යවස්ථාවක් හදන්න උඹලගෙ අදහස් හා යෝජනා දීපල්ලා’ කීවමවත් ඒකට හොඳයි කියලා මහන්සිවෙලා යෝජනාවක් ලියලා දෙන්න එකෙක්වත් නෑ. ලැබුවා යැයි කියන නිදහසෙන් අවුරුදු 70ට ළං වෙලත් තාම හදන්න උත්සාහ කරන ව්‍යවස්ථාවේ ලොකුම ප්‍රශ්නෙ ‘ඒකීයද? එක්සත්ද’ කියන වචන දෙක. ලෝකය අපි පහු කරගෙන කොච්චර ඉස්සරහට ගියත් අපි කැරකෙන්නේ එකම තැනකයි. බණ්ඩි රාල හිතුවේ ‍ලොකු ලොකු කතා කීවට තමන්වත් ඒ වැ‍ඩේට කිසිම මැදිහත්වීමක් කරලා නෑ නේද කියලයි.

සෑහෙන වෙලාවක් කල්පනා කරලාම හිතට ‍ගතට වෙහෙසක් දැනුණු බණ්ඩි රාලට වාඩිවෙලා හුන් හාන්සි පුටුවේම නින්ද ගියා. මේ දවස්වල විශ්වවිද්‍යාලයේ වාර අවසන් විභාග නිසා පොඩි එකා කල් තියාම ගෙදර ආවා. අප්පච්චි ඉස්තෝප්පුවේ හාන්සි පුටුවේ දිගාවෙලා හිටපු විදිහට පොඩි එකාට බයක් වගේ දැනුණා.

“අම්මා, අප්පච්චිට මොකුත් අසනීප ගතියක් තිබුණද?” පොඩි එකා කුස්සියට එබිලා අම්මාගෙන් ඇහුවා.

“අපොයි නෑ. ඇයි?” අම්මා ඇහුවා.

මායියා ආයෙම ඉස්තෝප්පුවට දුවගෙන එද්දිත් බණ්ඩි රාලට ඇහැරුණේ නෑ.

“හැමදාමත් තිබුණු ලෙ‍ඩේ. ව්‍යවස්ථාව හොඳ නැතිලු?” මායියාගේ කටේ සද්දෙට බණ්ඩි රාල යාම්තමට ඇහැ ඇරලා බැලුවා. පොඩි එකා එතනින් ලෙස්සලා යන්න හැදුවත් බැරි වුණා.

“පුතා ලංකාවේ ශිෂ්‍ය ව්‍යාපාරය හැටියට ඔයාලා අලුත් ව්‍යවස්ථාවට යෝජනා දුන්නද?”

“තාම නෑ අප්පච්චි. ඒ ගැන අපි සාකච්ඡා කරනවා”

“වැඩක් නෑ. දැන් උඹලා ශිෂ්‍ය ව්‍යාපාරය හැටියට නිවරැදි මැදිහත්වීමක් කරා නම් තාමත් අපට ‘එ්කීයද? එක්සත්ද?’ කියන වචන දෙක එක්ක පැටලි පැටලි ඉන්න ඕන වෙන්නෙ නෑ. කෝ කොහෙද උද්ඝෝෂණ විතරයි. කිසි දෙයක් ලංකාවේ සමාජයට දැනිලා නෑ” බණ්ඩි රාල තම පුත්‍රයා දෙස බලා චෝදනා මුඛයෙන් කතා කළා.

“අපි කරපුව දැනෙන්න ඕන නෑ. අප්පච්චිලා කරපුව දැනුණ නම් ඒ මදැයි. අපිට කරන්න දෙයක් ඉතුරු කරලම නෑ නොවැ” පොඩි එකා රිදෙන්න නෝන්ඩියක් දැම්මා.

බණ්ඩි රාල කතාවක් නැතිවම බිම බලාගෙන හාන්සි පුටුවෙන් නැඟිට්ටා. හෙමින් හෙමින් කුස්සිය දිහාට ගියා.

“ආන්. මේසෙ උඩ කොස් තම්බලා බෙදලා ඇති. ගිහින් කාලා නිදාගත්ත නම්” මායියාගේ කට හඬද බණ්ඩි රාලට කාංසාවක් ගෙනාවා.

බණ්ඩි රාල 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...