ජනවාරි පළමුවැනිදා

 සංහිඳ පාමුල මෙවර සටහන ඔබ අතට පත්වන විට 2017 නව වසර උදා වී හමාර ය. උදා වූ නව වසරේ නැවුම් හිරු රැස්, නැවුම් පවන් විඳිමින්, නැවුම් අපේක්ෂාවන් පිළිබඳ සුබදායී ආකල්ප සමුදායකින් සිත පුරවා ගෙන ඔබ සිටිනු නියත ය. එහෙත් මේ සටහන ලියැවෙන විට 2017 උදා වී නැත. සටහන ලියන විට, මහලුව ජර පත් 2016 අවුරුද්ද සිය දුබල නෙත් කෙවෙනි විදා හරිමින් අවුරුද්දක් වූ සිය දිවි සැරියේ අවසන් දවස් දෙස බලා සිටියි.

මට මගේ පාසල් සමයේ පළ වූ ‘නවයුගය’ පුවත්පතක මුල් පිටුව සිහිපත් වෙයි. (එකල නවයුගය මාසයේ 12 වෙනිදාට සහ 26 වෙනිදාට පළ විය. එය මා ආශාවෙන් කියවූ පුවත්පතකි.) පුවත්පතේ මුල් පිටුවේ මහලුව, ජරපත්ව හැරමිටි වාරුවෙන් ඉවතට යන ගෙවුණු වර්ෂයත්, ජවසම්පන්න තරුණයකු සේ ඉදිරියට එන නව වර්ෂයත් අවුරුදු උදාව වෙනුවෙන් සිත්තම් කොට තිබිණි. (සිත්තරා මතකයේ හැටියට ගෞතමදාස විය යුතු ය. නිශ්චිතව සඳහන් කරන්නට තරම් මතකය සවිමත් නැත.)

තවත් අවුරුද්දක නවයුගයෙහි අවුරුදු උදාව වෙනුවෙන් කවියක් පළ වී තිබිණි. ඒ 1979 ගෙවී 1980 උදාවන අවස්ථාව බව මගේ මතකයයි. එය අවුරුද්දක් මතු නොව දශකයක් උදාවන අවස්ථාවකි. දශකයක් උදා වීම අවුරුද්දක් උදා වීමට වඩා වැදගත් ය. මන්ද? දශකයක් උදා වන්නේ අවුරුදු දහයකට වරක් පමණක් හෙයිනි. මා ඉහතින් සඳහන් කළ කව ලියා තිබුණේ ‘දයාසේන ගුණසිංහ’ කවියා ය. ‘දශකයක් උදා විය... දශකයක් වියෝ විය’ යන වචන තිබුණා මතක ය. එහෙත් වචන හරිහැටි පෙළගස්වන්නට තරම් මතකය සවිමත් නැත.

කාලය ගෙවී යන විට දශකයක් ගෙවී දශකයක් නොව සියවසක් ගෙවී සියවසක් උදාවන අවස්ථාවේ ජීවත් වීමේ භාග්‍යය අපට ලැබිණි. ඒ 1999 ගෙවී 2000 උදාවන අවස්ථාවේ ය. සියවසක් ගෙවී සියවසක් උදාවන අවස්ථාව හැමෝට ම ලැබෙන්නක් නොවේ. ඒ දුර්ලභ අවස්ථාව මින් පෙර ලැබී තිබුණේ 1900 උදාවන විට ජීවත් වූවනට ය. එහෙත් අප ගෙවමින් සිටින්නේ ශත වර්ෂයක් නොව දහස් වර්ෂයක් බව 1999 දී සමාජයට මතක් විය. ඒ නම් ඉතා දුර්ලභ අවස්ථාවකි. මින් පෙර ඒ අවස්ථාව ලැබී තිබුණේ 999 සිට 1000 වර්ෂය දක්වා සිටියවුන්ට ය. අපේ රටේ අයට නම් එකල ක්‍රිස්තු වර්ෂය පිළිබඳ එතරම් හැඟීමක් තිබෙන්නට නැත. අනෙක් අතට ඉතිහාස පොත පෙරළන විට ඒ අරාජක කාලයකි. රජවරුන් විසින් සිය බලය තහවුරු කර ගන්නටත්, අනෙකාගෙන් රට උදුරා ගන්නටත් ඉන්දියාවෙන් ගෙන්වන කුලී හේවයන්ට පඩි ගෙවීමෙන් භාණ්ඩාගාරය බංකොලොත් වී තිබිණි. අසරණ වූ පස්වන මහින්ද (මිහිඳු) රජුට පලා යන්නට වී තිබිණි. ඉතින් එවන් කාලයකට කුමන දහස් වර්ෂ ද? එබැවින් ලංකාවේ මුල් ම දහස් වර්ෂය සැමරීමේ භාග්‍ය ලැබුණේ 1999 අවසන් වන විට ජීවත් වූ අප වැන්නන්ට ය.

‘සහස්‍රකය’ ඊට සිංහලෙන් නමක් ලැබිණි. වැරදියි...! පඬිවරු තර්ක කළහ. ‘සිංහල වියරණ නියරට අනුව සහස්‍රකය සදොස් ය.’ එය ‘සහස්‍රය’ විය යුතු ය. ගුරුවරු වචනය සැණින් සටහන් කර ගත්හ. අදාළ අවුරුද්දේ සිංහල ප්‍රශ්න පත්‍රයට ලැබෙන්නට ඉඩ තිබේ. කදිම ඉලක්ක ප්‍රශ්නයකි.

වෙළෙන්ඳෝ තරගෙට සහස්‍රකය මාකට් කරන්නට වූහ. සහස්‍රකය වෙනුවෙන් නන් විද දෑ වෙළෙඳපොළට පැමිණියේ ය. විලාසිතාකාරිනියක් වන්නට නම් සහස්‍රකය උදා වන විට ඒ වෙනුවෙන් තැනුණු දෑ පැලඳිය යුතු ය. බොහෝ දේ වෙළෙඳපොළට ගලා ආවේ ය. නිෂ්පාදනයේ නමට මුලින් ‘මිලෙනියම්’ යන විශේෂණ පදය එකතු විය. මේ අතර සමහර ස්ථාවර ඉඳිකිරීම් උදෙසා ද මුලින් අර මුවින් මුවට ගලා ගිය රසවත් විශේෂණ පදය එකතු විය.

1999 දෙසැම්බර් 31 මධ්‍යම රාත්‍රි 12 න් පසු පසුදා එනම් 2000 ජනවාරි 01 දා මධ්‍යම රාත්‍රිය දක්වා උපත ලබන දරුවෝ ‘මිලෙනියම් බේබිලා වෙත්.’ දරුවන් ලැබෙන්නට ආසන්න මවුවරුන්ට දොළක් උපන්නේ ය. මිලෙනියම් බේබි වන්නට නම් ඉහතින් සඳහන් වෙලාව ඇතුළත දරුවා බිහි විය යුතු ය. මේ වෙලාවට ම සිය දරුවා සිසේරියන් සැත්කමක් මගින් බිහි කරවන්නට ඇති හැකි මවුපියෝ පෝලිම් සැදුණ හ. ප්‍රසව හා නාරි වෛද්‍යවරුන්ට කවදාටත් වඩා එදා වැඩ වැඩි විය. මේ ජනවාරි 1 වෙනිදා 17 වන උපන් දිනය සමරන තරුණ තරුණියෝ එදා මිලෙනියම් බේබිලා සේ ඉපදුණු අය වෙත්.

අවසානයේ ශේෂ වූ කිසිවෙක් නැත. සමාජය තවත් මුදල් කන්දක් නාස්ති කළා පමණි. පරිසරය තව තවත් හැඩි කළා පමණි. ඕසෝන් ස්තරයට ඊට හානිකර දෑ මුදා හැරියා පමණි. වෙළෙඳ ප්‍රජාවට නම් සහස්‍රකයේ නාමයෙන් ලාබ තීරුව ඉහළ දමා ගත හැකි වන්නට ඇත.

දින, මාස, වර්ෂ සකස් වී ඇත්තේ කිසියම් සම්මත තැනකින් එය ඇරඹෙන හෙයිනි. කිතු උපත නැතිව වෙනත් තැනකින් වර්ෂ ගණනය ආරම්භ කළා නම් දශකය, ශතකය, සහස්‍රකය ඈ සියල්ල මීට වඩා වෙනස් දිනවලට යෙදෙනු ඇත. ජනවාරි 1 වැනිදාව සාමාන්‍ය දිනයක් සේ කල්පනා කිරීම වඩා බුද්ධි ගෝචර ය.

මහානාම දුනුමාල
mahanamadunumala@gmail.com


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...