ගිය නොගිය ගමන

 අහස මේ සා අකාරුණික වූයේ කෙලෙසදැයි පොළොව කල්පනා කරන සෙයකි. වප් ඉල් උඳුවප් තෙමස මුළුල්ලේ වහින වැස්සෙන් තෙතබරියම් වන්නට පෙරුම් පිරූ ගහකොළද අසරණව වියළී යමින් තිබේ.

“කෝ අම්මේ නත්තල් කුණාටු?”

නිවුන් පුතුන් අසන්නේ හදිසියේ අද හැලෙන සැණෙකින් තුරල් වන නත්තල් වැහි පමාවීම පිළිබඳව පුදුමයට පත් වෙමිනි.

“එහෙම තමා ළමයිනේ අපි ස්වභාවධර්මයට අකාරුණික වෙන කොට ස්වභාවධර්මය වැඩට කාරුණික වෙන්නෙ නෑනේ.”

මම දිගු කතාවක් කෙටි කර කියමි.

“නිවාඩු කාලෙ ඉවර වෙන්නත් එනවා අම්මා. අපි කොහෙවත්ම ගියේ නෑ.

කාලගුණය අමතක කළ ‍දෙදරුවන් නෝක්කාඩු කියති

“ගමනක් නම් තියෙනවා”

“කොහෙද? කොහෙද?

ඔවුන් මහත් උද්‍යෝගයෙන් ප්‍රශ්න කළහ.

“මහව “ යි මා කීවේ නුවරඑළියේ විනෝද ගමනක් යන්නාක් මෙන් උජාරුවෙනි.

“මහව? ඒ මොකටද මහව යන්නෙ?”

පුංචි පුතා මුහුණ හකුලා ගනිමින් ඇසුවේය.

“මතකද දවසක් මෙහෙ ආපු පොඩිරත්න අඟමලේ මාමා” එයාගෙ පොත් කීපයක් දොරට වඩින උත්සවයක් තියෙනවා.

විනෝද ගමනක් යාමට සිහින මැවූ කොල්ලෝ මා සමඟ මහව යෑමට එකඟ වූයේ ඒ හැටි කැමැත්තකින් නොවේ.

පොඩිරත්න අඟමලේ ලේඛකයාගේ නිර්මාණ විමංසනයට ලක්කරන යුගාලෝකය ශාස්ත්‍රීය ලිපි සංග්‍රහයට මා ලිපියක් ලිව්වේ ඉමහත් සොම්නසිනි. ඒ සඳහා මට ඇරයුම් කළේ යනුෂා ලක්මාලි ලේඛිකාව සහ ශක්තික සත්කුමාර ලේඛකයා විසිනි. ඇතුගල යොවුන් ලේඛක සංසදයේ සභාපති සහ ලේකම් වශයෙන් මහඟු මෙහෙවරක් ඉටු කරන ඔවුන් පොඩිරත්න අඟමලේ ලේඛකයාගේ හැටපස් වන ජන්ම දිනය නිමිති කරගනිමින් සංවිධානය කරන ලේඛක ප්‍රණාම උළෙල සහ පොත් ජනගත කිරීමේ සැඳෑව දෙසැම්බර් විසි හතරවනදා මහව සයිමන් නවගත්තේගම අනුස්මරණ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. ඒ නිමිති කොට ගෙන මට ලැබුණ ආරාධනා පත්‍රයද අතිශයින් නිර්මාණාත්මකය. “පොඩි අයියගෙ ලොකු වැඩ කළලින් නැගී විල සරසන පොඩිරත්න අඟමලේ

ඒ ආකර්ෂණීය ආරාධනා පත්‍රය මට මේ ගමන යන්නට බල කළේය‍‍.අතීතයේ දවසක මා වෙනුවෙන් සිය වටිනා කාලයෙන් දෙදිනක්ම කැප කළ පොඩි අයියා බැහැ දකින්නට යා යුතු බව දරුවන්ගේ පියාද තරයේ කියා සිටියේය. ඒ දෙදිනේ ඔවුන් කොපමණ සමීප වී දැයි කිවහොත් අපේ ගෘහමූලිකයා පොඩිරත්න අඟමලේ ලේඛකයා පිළිබඳව අතොරක් නැතිව වර්ණනා කළේය.

“පුදුම සුන්දර මනුස්සයෙක් හරිම නිර්ව්‍යාජයි‍.පහසුවෙන් කිසිවකුගේ හොඳක් නොදකින ගෙදර මනුස්සයාගේ ඒ කතාවෙන්ම අපේ පොඩි අයියා කවරාකාරදැයි වටහාගත හැකිය.

අන්තිමේදී අපි මහව බලා පිටත් වීමු. මැණිකෙ පුංචි අම්මාද ගමනට එක්වූයේ පොතක් දොරට වැඩුමක් කිසි කලෙකත් දැක නොතිබූ නිසා අපමණ ආශාවෙනි. දෙදරුවන් සුදු මාමාගේ මෝටර් රථයට නැංගේ සාහිත්‍ය උත්සවවලදී ඈනුම් යන බවට මැසිවිලි නඟමිනි. රට තොට හා මංමාවත් පිළිබඳව හසල දැනුමක් ඇත්තාවූ මගේ සැමියා නඩේ ගුරා විය. සාහිත්‍යමය කටයුත්තක් උදෙසා ඔහු මා සමඟ එක්වන මුල්ම අවස්ථාවයි මේ. එද සාහිත්‍ය පිළිබඳව හදිසියේ හටගත් ඇල්මක් නිසා නොවේ. පොඩි අයියා කෙරෙහි හද උතුරවන ළෙන් ගතුකම නිසාමය. මා එහෙත් ඔහු තෝරාගත් කෙටි මඟ කෙතෙක් දුෂ්කර වී දැයි කිවතොත් නිවුන් පුතුන් මගේ කනට කොඳුරා කීවේ කූඹින් මීට වඩා හයියෙන් යන බවයි. හේන් කුඹුරු හා ලඳු කැලෑ විසින් මතු කළ සුන්දරවය විඳින්නට මම අපොහොසත් වීමි. නියමිත වේලාවට මහවට සේන්දු විය නොහැකි බව නිසැකය.

වළ ගොඩැලි ගහණ මාර්ග යේ විශාල වළක් වාහනය නතර කළා පමණක් නොව කිසියම් ආබාධයක්ද ඇති කරන්නට සමත් විය. කෙටි මං නොසොයා ප්‍රධාන මාර්ගයේ ගමන් කළේ නම් මඳක් ප්‍රමාද වී හෝ මහව යන්න තිබුණා යි මැණිකෙ පුංචි අම්මා රහසින් කොඳුළාය. ගොළුවන් බිහිරන් මෙන් පසු වූ අපි ආපසු ගෙදර යන්නට හිත හදා ගත්තෙමු.

අඳුර වැටෙනතුරු ආපසු එන්නට නොහැකි වන බව කියා තිබුණෙන් ගෙට ගොඩවූ සැණින් කොල්ලෝ මහ හ‍ඬින් හිනැහී “මහව ගිහිල්ලත් ආවාද ?” යි ප්‍රශ්න කළහ.

ශෝකයෙන්ද කෝපයෙන්ද මිරිකෙමින් වුව මම හැඬුම් මැඩ ගතිමි. පැය ග ණනාවක් තිස්සේ සිර කරගෙන හුන් සිනාව පුපුරා ගියෙන් මැණිකෙ පුංචි අම්මා පුටුවක් මත ඇද වැටුනාය.

“අම්මා හරි මෝඩයි

පොඩි පුතා එක එල්ලේම චෝදනා කළේය.

ජීවිත කාලයක් ජීවත් වෙලත් අම්මා තාම තාත්තාව අඳුනන්නෙ නෑ.”

උගුර කට වියලී ගොස් තිබුණෙන් මම නිහඬවම පසුවීමි. පොඩි අයියාට මුහුණ දෙන්නේ කෙලෙසදැයි මම හිසට වධදෙමින් කල්පනා කළෙමි.

“මෙච්චර කාලයක් අම්මා අම්මගෙ ගමං බිමං තනියම ගියා නෙ. මොන එකකටද තාත්තව එකතු කරගත්තේ මේ ගමනට?

“එයාට එයාටත් යන්න ඕන කීවානේ පොඩි අයියගේ වැඩක් හින්දා?” යි මම ආයාසයෙන් කොඳුළෙමි.

“ඒ යාළු මිත්‍රකම් පස්සෙ පවත්වා ගන්න තිබ්බනේ. මේක එහෙම නෙමේනේ. අම්මගෙ වැඩේට දවස් දෙකක් මහන්සි වුණ මනුස්සයා වෙනුවෙන් පැය දෙකක් වෙන් කර ගන්න අම්මට බැරි වුණා.”

“ඉතින් මම ගියානේ”

“ගියා මඟට වෙලාවට එතනට යන්න බැරි වුණාට පස්සෙ කොච්චර හේතු කාරණා කීවත් වැඩක් වෙනවද ? ඒ මනුස්සයගෙ හිත්වේදනාව කළ කිරීම නැති වෙනවද?

මගේ දෑසට කඳුළු නැඟිණි.

“තාත්තා යන්නෙ ඔය කැලෑ පාරවල්වල තමා. කිසිම දෙයක් සාකච්ඡා කරන්නත් බෑනෙ. ඇඟට කඩා පනිනවනේ.‍ එහෙම මනුස්සයෙක් එක්ක මොනම වැඩක්වත් කරන්න බැරි බව අම්මා තේරුම්ගන්න ඕන.

“ඔව්..මගේ වැරැද්ද‍‍ මම කොහොමද ආයෙ පොඩි අයිය ට කතා කරන්නෙ? අයියෝ මම මොනතරම් ආසාවෙන්ද මේ ගමන යන්න ඇඟිලි ගැන ගැන හිටියෙ

මම හැඬුම්බර හඬින් කීවෙමි.

“එකම මෝඩකම ආයෙ ආයෙ කරනවා. සතාගෙ හැටි තේරුම් ගත්තට පස්සෙ තමන්ගෙ වැඩ තමන්ට පුළුවන් විදියට කරගන්න ඕන. අම්මා කොළඹත් යන්නෙ තාත්තගෙ කිසිම සහයෝගයක් නැතිව කොළඹත් යන එක්කෙනාට මහවට යා ගන්න බැරි වුණා. ලජ්ජා වෙන්න එපැයි.

මම දෑතින් මුහුණ වසා ගතිමි.

“මදැයි ඉඳලා ඉඳලා ජෝඩු දාගෙන යන්න හැදුවා.”

මද්දුගේ ඇනුම්’ පදයෙන් මහා සිනා හඬක් නැගිණ.

මාත් දෙතුන් පාරක් කීවා ඒ පාර ‍ෙහාඳ නෑ කියලා. කොහෙද කිත්සිරි පුතා කීවනේ සුපිරි පාරක්ය. ඉක්මනට යන්න පුළුවන්ය කියලා.”

මැණිකෙ පුංචි අම්මාද කතාවට මැදිහත් වූවාය.

“අපරාදේ මට කවදාවත් මේක අමතක කරන්න බැරිවෙයි. පොඩි අයියත් මා එක්ක තරහ වෙයි.

නිවුන් පුතුන් මට තුරුළු වූහ.

අපි පොඩි මාමාට කියන්නම්’ අම්මේ අම්මත් එක්ක තරහ වෙන්න එපා කියලා. අපි ඉතිං ‍මහවට කිට්ටු වෙනකම් ගියානේ.

ශාන්ති දිසානායක
srmsenapura@gmail.com


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...