මයේ අම්මේ යමු යංඩ | දිනමිණ

මයේ අම්මේ යමු යංඩ

 මේ නාගොල්ලාගොඩ ධර්මසිරි බෙන්ඩික් කවියාගේ මයෙ අම්මේ යමු යංඩ’ කාව්‍ය සංග්‍රහය පිළිබඳ ඇගයීමකි.

අද අප අත් විඳින ජීවන රටාවේ මූලික සැලැස්ම 18 වන සියවසේ අග භාගයේ යුරෝපයේ බිහි වන විට එහි උද්යෝග පාඨය වුයේ සහෝදරත්වය හා නිදහසය. යහපත් මා මානුෂික හෙටක් යන්නද එහි පොරොන්දු අතර විය. ආර්ථික බැමිවලින් නිදහස් පුරවැසියකු පිළිබඳ පොරොන්දුව ද ලැයිස්තුවේ තිබිණි. එලෙස බලයට පැමිණි නූතනත්වය සිය දෙසිය වන විය පසුකර යන විට එහි මි මුණුපුරකුව උපන් පුරවැසියකුගේ ආර්ථිකය ගැන කවියා මෙසේ පවසයි.

ණය තුරුස් දෙපයින් ලුහුබඳින කල
මුරංගා තුරු වදුලේ සැඟවෙමි
එළු කොටුවෙ හුලිජ්ජට නැහැවෙමි
සීයට දහයේ පොළිය දී සැනහෙමි

තවද බිහි වූ නව ශිෂ්ටාචාරය පොරොන්දු වූ නිදහස උදා කරන ලද්දේ වෙළෙඳාම වෙනුවෙන් පමණි.

හලමි සක්කර
ඇමෝනියා මුට්ටියට
දැන් ඉතින් සුරා සැල විවෘතය
දුවමි හති හලා මඩ කඩිතිවල
ගාටමින් එන තැපැල්කරු දැක දැක
පොලිසිය යැයි රැවුණ
ඔහුගේ පරඬැල් කාකි කලිසමට භ්‍රාන්තව

 

ඔහුට නිදහස් වෙළෙඳාමද එබඳු විය. විකුණන්නවත් වෙන දෙයක් නැති අහල පහළ ඈයෝ ශ්‍රම වෙළෙඳාමේ නියුක්තව සිටි අයුරුද ඔහු දුටුවේය.

උත්පලා බක්කියට ලෙලි දැම්මා
ඒ ලෙලි අරන් සිරිදාස ඇණවලට තිබ්බා
මෝල් හිමි මහතුන් අත, කරට
පවුම් හත අට දැම්මා
සෙනසුරාදාට ඉරිදාට
වැටුප් ලෙස සොච්චමක් දුන්නා

මේ අතර දිනක් වඩාත් ලාබදායි’ වෙළෙඳ ඇණචුමක් ඔහුට ඉදිරිපත් විය.

මේ රබර් ඇට මාලෙට
ස්කෝලෙ නොගිහින් එකතු කරපු ඔට්ටපාලු කිලෝවට
අනේ ඔයාගෙ පෝන් එක මාරු කරමුද?

වෙළෙඳාමද කවියා විෂයෙහි ඉහත දැක්වුණු පරිදි හිඟන නිදහසක් වූයෙන් ඉන් හෙම්බත් වූ ඔහු පොරොන්දු වූ සහෝදරත්වය පිළිබඳ විමසිලිමත් වෙයි.

දෙණිය අසබඩ කනත්තෙහි යනකොට
රෝහිණි හමුවුණා පෙරමඟ
මෝහිණී නොවෙයි ඒ, ඔබ මුලා නොවනුව

කෝ එදා අත දරන් හිටිය මල් පොහොට්ටුව
කිරි පිටි මිල අධික විශාල මහනුවර
අච්චට කරවෙවි මිය ගියෙද කරඹ මල

විමසිලිමත් වූයේ සහෝදරත්වය පිළිබඳව වුවද සහෝදරත්වය පෙනෙන තෙක් මානයක නොවීය. සහෝදරත්වය නොමැති හිස්තැන පිර වී තිබුණේ ජීවත් විය යුත්තේ තමා පමණක් යයි සලකන පුරවැසියන්ගෙනි.

දුන්න නම් ලතෙත් කවරෙක් බත හුලක්
අදත් ජීවත් වෙනවා ඇය මැරි මැරි වුණත්
එදා සිට අද වන තුරුත්
ගමේ අයගේ කුඹුරු පැහෙනවා තවමත්

රෝහිණී මිය ගොස් තිබුණේ සහෝදරත්වය පිළිබඳ සියලු බලාපොරොත්තු සමඟය. සහෝදරත්වයේ බලාපොරොත්තු මිය ගියේය. ආලය පිළිබඳ බලාපොරොත්තු කෙසේ වීද?

වංශවත් මවුපිය යුවළකගේ
හෝ හෝ ගගා පෙන දමන් වෛරයට
ලප් ඩප් ගාන හද ස්වර දැනේවීද
කරකාර බඳින්නට බැරිව ගිය
පින්සාර මනමාල පෙම්වතී
මේ තරම් තිත්තයිද කඳුරු ඇට දයාවිය
නොවළහා කියන් මට නෙතු හැර..

 

ප්‍රේමය ද අහිමි වූව ද එය ඔහු වෙනුවෙන් යමක් ඉතිරි කර ගොස් තිබුණි. ඒ විරහ වේදනාවයි. ඇතැම් සැන්දෑවක උස් වැව මිනී පිටියට ගිය ඔහු මිනී වළ මත පහනක් දල්වා මෙසේ ගී ගැයීය.

කණක මිණ! කනට ළංවී කියන්න.
මිනී වළ උඩ ඉකිලන
මේ වැටි පහන් දැල්ලට වැඩිය
පුරා හඳ කැත බව ....

එහෙත් ඔහු අන්තිමේදී හිත හදා ගත්තේය. ශිෂ්ටාචාරය ඔහුට දෙන ලද්දේ මානුෂික හෙටක් පිළිබඳව කඩවුණ පොරොන්දු නමුත් ඔහු තම මිය ගිය ප්‍රේමයට කඩ නොවන පොරොන්දුවක් දෙන ලද්දේය.

ඉතින් සෙව්වන්දි යන්නම් යන්න
මේ ගඟ බඩින් මෑත්ව
සත්තයි මම අයෙ එන්නෙ නෑ
හීනෙං ඕලු මල් කඩන්න

ශිෂ්ටාචාරය ඔස්සේ ඇවිද යන කල දිනක් ඔහුට හමු වු මස් මඩුව යන ස්ථානයක් පිළිබඳ සටහනක්ද ඔහුගේ මතකයන් අතර වෙයි.

ඇත් දළ පැහැති දත් ඇඳි
කටර් අඩුවෙන් ගලවත්
බ්ලේඩ් තලයෙන් බඩ කපා
ලුණු වතුර වත් කරති
ඇස්වල ඇසිඩ් ගල්වති
මස්වලට කරන්ට් අල්ලති

කාලයාගේ ඇවෑමෙන් අම්මාද නිදහස් වෙළෙඳාමට එළඹී තිබුණාය. ඉන් ඇගේ දරුවන් ලැබූ ප්‍රතිලාභ මෙසේ විය.

වැහැරි තන් තාත්තා නොවන අය ඉඹින කොට
වේසියෙක්නෙ යකෝ’ මුළු ගමම කියන කොට
චන්දරේ අපිට තව මරණයක් මොකටද?

නිදහස් වෙළෙඳාමේ ස්වර්ණමය ප්‍රතිලාභ වෙනත් පිරිසක් සඳහා පමණක් වෙන් වී තිබුණු බවක් පෙනී ගියේය. සහෝදරත්වය බොරුවකට සීමාවිය. ආලය ඛේදවාචකයක් විය. එලෙස ඔහු ශිෂ්ටාචාරයෙන් කිසිවක් නොලද්දේ වුවද ප්‍රවේණියෙන් ලද දෙයක් විය. ඒ අම්මාගේ ආදරයයි. ඔහුට තවත් මරණයක් උවමනා නොවූ බව සැබෑය. එහෙත් ඔහු කවදාත් ලැබුයේ උවමනා දේ නොවේ.

වාර්නිෂ් තලිය නලියන
සුන්දර නමුත් ලාබ කළ බාල පෙට්ටිය
ඒ මත හුස්ම දන් දුන්න
අමිල වූ මහලු මවු නිධානය ...

ශිෂ්ටාචාරයෙන් ඔහුට හිමි වූයේ අහිමි වීම් පමණි.

ඒ අතර ප්‍රවේණියෙන් ලදදේද අන්තිමේදී ඔහුට අහිමි වී තිබිණි.

එය නික්ම යන වේලාව විය. ඔහු අම්මාගේ මිනී පෙට්ටිය කරට ගෙන පිටුපා යමින් ... මයෙ අම්මේ යමු යංඩ ‍යනුවෙන් ශිෂ්ටාචාරයට කියන ලද ඇනුම් පදය ගැඹුරු ධ්වනියක් නංවමින් දෝංකාර දෙන්නට විය. එහෙත් ශිෂ්ටාචාරය යන්ත්‍රික ශිෂ්ටාචාරයේ මෘදුකාංග එම ධ්වනිය හඳුනා ගැනීමට සමත් ද?

චන්ද්‍රසේන බදුගම

නව අදහස දක්වන්න