2017ට යන්ත්‍රයක් | දිනමිණ

2017ට යන්ත්‍රයක්

 ටොම්සන් මහත්තයා ඇම්බන් මහත්තයාත් සමඟ සාලයේ කතා කරමින් සිටින අතර උන්නැහේද එතැනට ආවේය. සුදු කමිසයක් හැඳ, සුදු සරමක් හැඳ වෙනදා නැති පිළිවෙළකට උන්නැහේ සැරසී සිටියේය. සාලයට පැමිණි උන්නැහේ සාක්කුවට අත දමා කඩදාසියක් දෙස බලා නැවත ඔර්ලෝසුව දෙස බැලූවේය.

” තව විනාඩි දෙකක් තියෙනවා...”

” ඇයි? මොකද උන්නැහේ රොකට් එකක් අරින්නද හදන්නේ? ” කියා ඇම්බන් මහත්තයා කොචොක් හිනාවක් දැම්මේය.

උන්නැහේ බොහොම සාමකාමීව ටොම්සන් මහත්තයා දිහාත්, ඇම්බන් මහත්තයා දිහාත් බැලූවේය.

”නෑ... මේ මං මේ යන්ත්‍රයක් ගන්න යන ගමන්.. ඉතින් හොඳ වෙලාවට එළියට බහින්න එපායැ.. තව විනාඩියයි. නැත්තං මරු සිටින වෙලාවට එළියට බැස්සොත් එන්න වෙන්නේ පෙට්ටියේ තමයි..”

ඇම්බන් මහත්තයාත්, ටොම්සන් මහත්තයාත් උනුනුන් මුහුණු බැලූවෝය. ” මොකක්ද උන්නැහේ ඒ කතාව.. මරු නම් හැම වෙලාවෙම ඉන්නවා නේ.. ඕක ගැන හිත හිතා ඉන්න දෙයක් යෑ... එළියට බහින්න හොඳම වෙලාව තමයි.. තමන්ට ඕනැ වෙලාව.. නැද්ද මං අහන්නේ? ” කියා ඇම්බන් මහත්තයා ටොම්සන් මහත්තයා දිහාව බැලූවේය.

”ඒක නම් එහෙම තමයි... ඒ වුණාට ඒක උන්නැහේට වලංගු නෑ... නැද්ද උන්නැහේ.. ඉතින් ඔය මරු නැති වෙලාව බලලම එළියට යන එක හොඳයි... දැන් කවුද ඉතින් ඔය මරු ඉන්න වෙලාව ලියලා දුන්නේ..”

”කවුරුවත් ලියලා දුන්නේ නෑ.. මං තමයි ලියා ගත්තේ.. ඇයි ටොම්සන් මහත්තයා එහෙම කියන්නේ.. ටොම්සන් මහත්තයා හිතනවාද දැන් ඔය රූපවාහිනී ගුවන් විදුලි බොරු කියනවා කියලා. බලන්ඩ එපායැ.. ජැන්ඩි පහට ඇඳ ගෙන මහාචාර්යවරු වගේ උදේට ග්‍රහලෝක ගැන අපට කියා දෙනවා.. දැකලා නැද්ද ඇත්තට...” කියා උන්නැහේ පුදුමයෙන් ඇසුවේය.

” ඒ කියන්නේ ඔය විද්‍යාව පාඩමක් යනවාද උදේට...”

” නැතිව... ඒවා ඔය නවීන විද්‍යාව නෙවෙයි.. අවුරුදු දාස් ගාණක් මහා ඍෂිවරු කියා දීපු ඒවා... ඒවා මේ බොරු නෙවෙයි... මාත් ඉස්සර ඕවා එච්චර විශ්වාස කළේ නෑ. ඒ වුණාට එක දවසක් බලන්ඩකෝ අර රූපවාහිනී නිවේදිකාව ඔය ග්‍රහලෝක මහාචාර්යවරු එක්ක වැඩ සටහන කරන හැටි... හරිම අපූරුයි... ඒ ගොල්ලෝ දැන් දවස් වෙන් කරලා තියෙන්නේ හම්බ වෙන්ඩ තැන්... එතකොට කිරි ගහට ඇන්නා වගේ ඔක්කොම හරි යනවා.. මාත් මේ යන්නේ ඒකයි... 2017ට යන්ත්‍රයක් ගන්න ඕනෑ... මේ ළඟ ටවුමෙත් තියෙනවා යන්ත්‍රයක් ගන්න පුළුවන් තැනක්.. මං මේ ඒකට තමයි යන්නේ .. කැමති නං මාත් එක්ක එන්න..” කියා උන්නැහේ ආරාධනා කළේය.

”කමක් නෑ.. අපිත් යමු ටොම්සන් මහත්තයා... උන්නැහේ ඔය යන්ත්‍රයකටවත් යට වුණොත් කාට කියන්නද? මං ඊයේ පෙරේදා පත්තරේක දැක්කා පාර තලන ගල්මෝලකට යට වෙලා කෙනෙක් මැරුණ විත්තියක්.. එහෙව් කාලයක් මේක... ” කියමින් ඇම්බන් මහත්තයාත් නැඟිට්ටේය.

”ඒක තමයි.. ඇම්බන් මහත්තයා... ගල් මෝලක් කියන්නේ වේගෙන් යන එකක්ද? ඉතින් ඒ වගේ එකකට යට වෙනවා කියන්නේම ග්‍රහ අපලයක් තමයි.. ඒකට කල් ඇතිව ඔය යන්ත්‍රයක් හෙම දා ගෙන හිටියා නම් කිසි ප්‍රශ්නයක් නෑ.. මේ ලෝකේ සියල්ලම පාලනය කරන්නේ ඔය ග්‍රහයෝ තමයි.. ඉතින් අපි ඒ ශාස්ත්‍රයට ගරු කරන්න ඕනෑ...”

තිදෙනාම පාරට බැස ගමන් කරන්නට වූහ.

” මං නං කියන්නේ ටොම්සන් මහත්තයා.. මේ ඔය ග්‍රහ ලෝක සාස්තරේ පාසල් විෂය මාලාවට ඇතුළු කරන්න ඕනෑ... එතකොට මේ රටටත් හරි යනවා.. නැද්ද මං කියන්නේ...” කියා ඇම්බන් මහත්තයා කොචොක් හිනාවක් නගමින් කීවේය.

”ඒක නං එහෙම තමයි.. ඒ වුණාට ඔය පාසල් විෂය මාලා හදන මහත්තුරුන්ට නෝනලාට ඒවා තෙරෙන්නේ නෑ නේ.. දන්නවා නම් අඩු ගණනේ ඔය පුරවැසි අධ්‍යාපනය වගේ එකකටවත් දානවා නේ.. මේවා ගැන පුරවැසියා ඉගෙන ගන්න ඕනෑ... කෝ ඉතින් එහෙම වෙලා නෑ නේ...”

”දැන් ඔය උන්නැහේ කීවේ පුරවැසියා ඉගෙන ගන්න ඕනෑ... කොල කෑලි බලා ගෙන එළියට බහින්නද? තමන්ට ඕනැ වෙලාවට එළියට බහින්නද? ”

” ආපෝ.. ඇම්බන් මහත්තයා.. එහෙම ඕනැ ඕනැ වෙලාවට එළියට බැහැලා තමයි. අපට මේ වැරදිලා තියෙන්නේ.. දැන් බලන්ඩ ආණ්ඩුවේ විභාගේ වුණත් ඔය හැම අවුරුද්දෙම උදේ අටයි තිහට පටන් අරන් හරි යනවද? ඒකට හො’ද නැකතක් බලලා පටන් ගන්න එපායැ... එතකොට නේ විභාගේ ලියන ළමයින්ට වුණත් ඒක හරි යන්නේ... දැන් මුකුත් නෑ.. ඉතින් නිකම් මේ ඔර්ලෝසු වෙලාවට උදේ අටයි තිහට හරි නවයට හරි පටන් ගන්නවා.. ලියන ළමයින්ටවත් කිසිම වගතුවක් නෑ .. හරි නැකතකින් විභාගේ පටන් ගන්නවා නම් ඔය ඔක්කොම පාස් වෙයි..”

” හරි ඉතින්.. දැන් ඔය උන්නැහේ යන්ත්‍රයක් ගන්නේ කොහෙන්ද? මං දැකලා නං තියෙනවා... ටවුමේ එක කඩයක්.. ඒකේ බෝඩ් ලෑල්ලකත් ලියලා තිබුණා... නිවෙස්වලට උවමනා විවිධ යනත්‍ර විකිණීමට තිබේ කියලා... සමහර විට උන්නැහේ හොයන්නේ ඒක වෙන්ඩ ඇති... අර තියෙන්නේ ඒ කඩේ තමයි...”

කියා ඇම්බන් මහත්තයා අත දිගු කළේය.

”සමහර විට ඒක වෙන්ඩ ඇති.. මාත් මේ පළමු වතාවට තමයි යන්නේ.. මොකද අඩු ගණනේ 2017 ඉඳලා හරි කරන වැඩක් හරි යන්න එපායැ...ඒකය. එහෙනං අපි ඒකට යමු...”

තිදෙනාම යන්ත්‍ර විකුණන කඩයට ගොඩ වුණහ.

” මේ මහත්තුරුන්ට මොනවද ඕනෑ... අපේ ගාව තියෙන්නේ ඔක්කොම ගෙවල්වලට ඕනැ කරන යන්ත්‍ර තමයි.. මොකක්ද ඕනෑ...” කියා මුදලාලි ඇසුවේය. මුදලාලිද ඇඳ සිටියේ සුදු සරමක් හා කමිසයක් නිසා උන්නැහේට ඒක හරියටම ගැළපුණේය.

” මට ඕනෑ... මුදලාලි මහත්තයා.. මේ 2017ට හරි යන යන්ත්‍රයක්..” කියා උන්නැහේ කීවේය.

” හරි.. මහත්තයා.. 2017ට විතරක් නෙවෙයි.. තව අවුරුදු දහයකට වුණත් හරි යනවා.. මොන වගේ වැඩකටද ඕනැ කරන්නේ.. මොකද අපි ළඟ තියෙන යන්ත්‍ර එක එක වැඩවලට හදපුවා.. දැන් බලමු මේක අඹරන්න හදලා තියෙන්නේ.. මේක මිරිකන්න හදලා තියෙන්නේ.. මේක කුඩු හදන්න හදලා තියෙන්නේ.. මේක ඉස්ම ගන්න හදලා තියෙන්නේ.. මේක කලවම් කරන්න හදලා තියෙන්නේ...දැන් මොන වගේ වැඩකටද මේ මහත්තයා යන්ත්‍රයක් හොයන්නේ...”

” අනේ මුදලාලි.. ඔය කුඩු කරන, අඹරන, මිරිකන යන්ත්‍ර නෙවෙයි.. මට මේ බෙල්ලේ එල්ලා ගන්න යන්ත්‍රයක් හොයන්නේ... ” කියා උන්නැහේ කීවේය.

” ඒකට නං වෙන තැනකට යන්ඩ වෙයි.. අපේ ළඟ තියෙන එක යන්ත්‍රයක්වත් බෙල්ලේ එල්ලා ගෙන යන්ඩ බෑ.. ඒවා හදලා තියෙන්නේ මේසේ උඩ තියන්ඩ... ඔය මහත්තුරු වෙන තැනක් බලන්ඩ.. හැබැයි මං නං හිතන්නේ නෑ මේ ටවුමේ කොතනක හරි තියෙනවා කියලා.. බෙල්ලේ එල්ලා ගෙන යන යන්ත්‍ර.” කියා මුදලාලි කීවේය.

උන්නැහේ ටොම්සන් මහත්තයාත්, ඇම්බන් මහත්තයාත් ඇද ගෙන කඩයෙන් එළියට බැස්සේය.

“එහෙම නෙමේ, උන්නැහේ තාම කසාදයක් බැඳගෙන නෑනේ.” කියා ටොම්සන් මහත්තයා කීවේය.

“ඔව් ඔව් එක් නං තාම බැරි වුණා තමයි”

“එහෙම නම් කරන්න තියෙන්නේ 2017 දී හොඳ නැකතක් බලලා කසාදයක් බැඳ ගන්න එක. එතකොට උන්නැහේට හොඳ සුබපල දෙන යන්ත්‍රයක් කරේ එල්ලා ගත්තා වගේ තමයි.”

බන්දුල පී දයාරත්න
[email protected]

නව අදහස දක්වන්න