වෝනර්-රෙන්සෝව් ශතක ලබති | දිනමිණ

වෝනර්-රෙන්සෝව් ශතක ලබති

ඩේවිඩ් වෝනර්

ඩේවිඩ් වෝනර් හා මැට් රෙන්සෝව් වාර්තා කළ ශතක හේතුවෙන් සංචාරක පාකිස්තාන ක්‍රිකට් පිල සමග සිඩ්නි හිදී පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කරන ඔස්ට්‍රේලියාව පළමු දිනයට තරගය නතර කරනවිට කඩුලු 3ක් දැවී ලකුණු 365ක් රැස්කරගෙන සිටියේය.

පන්දු 201කින් සිය මංගල ජාත්‍යන්තර ටෙස්ට් ශතකය වාර්තා කළ රෙන්සෝව් දිනය නිමාවනවිට නොදැවී ලකුණු 167ක් රැස්කරගෙන සිටියේ හතරේ පහර 18කින් ඉනිම වර්ණවත් කරගනිමිනි.

වේගවත් ඉනිමක් දියත් කළ ඩේවිඩ් වෝනර් මේ තරගාවලියේ පිට පිට දෙවැනි ශතකය වාර්තා කළේ දිවා විවේකයට පන්දු 4ක් ඉතිරිව තිබියදීය.

එය ටෙස්ට් තරගයක පළමු දිනයේ දිවා විවේකයට පෙර රැස්කළ ලොව 5වැනි ශතකය ලෙස වාර්තා පොතට එක් විය.

මින් පෙර පාකිස්තානයේ මජීඩ් ඛාන් සමගින් ඔස්ට්‍රේලියානුවන් වන චාර්ල්ස් මැකර්ට්නේ, වික්ටර් ට්‍රම්පර් හා ඩොනල්ඩ් බ්‍රැඩ්මන් මෙලෙස ශතක වාර්තා කර තිබිණි.

පන්දු 78කින් 18වැනි ටෙස්ට් ශතකය වාර්තා කළ වෝනර් පළමු කඩුල්ල ලෙස දැවී යන විට හතරේ පහර 17ක් සමගින් ලකුණු 113ක් රැස්කරගෙන තිබුණේ පන්දු 95ක් පමණක් වැය කරමිනි.

උස්මාන් කවාජා ලකුණු 13කට දෙවැනි කඩුල්ල ලෙස දැවී ගිය අතර නායක ස්ටීවන් ස්මිත් තෙවැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් වූයේ ලකුණු 24ක් ලබාසිටියදීය.

අද තරගයේ දෙවැනි දිනයයි.

නව අදහස දක්වන්න