නව ව්‍යවස්ථාව ගැන ශ්‍රීලනිප ස්ථාවරය ලබන සතියේ | දිනමිණ

නව ව්‍යවස්ථාව ගැන ශ්‍රීලනිප ස්ථාවරය ලබන සතියේ

රෝෂන් තුෂාර

 

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනය පිළිබඳ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය ලබන සතියේ දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන මෙහෙයුම් කමිටුවට දැනුම් දීමට නියමිතය.

ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා, ආපදා කළමනාකරණ ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා, මහාමාර්ග රාජ්‍ය ඇමැති ඩිලාන් පෙරේරා ඇතුළු මහත්වරුන්ගෙන් සමන්විත විශේෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කමිටුව විසින් සාකච්ඡාකර පක්ෂයේ ස්ථාවරය දැනුම් දීමට නියමිතය.

 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව ලබන 5 - 6 දෙදින රැස්වීමට නියමිත අතර නිදහස් පක්ෂයේ ස්ථාවරය පක්ෂ නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ ද අවසන් වශයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව ලබාදෙන බව ආපදා කළමනාකරණ ඇමැති අනුර ප්‍රියදර්ශන මහතා පැවැසීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලය මඟින් පත්කරන ලද මෙහෙයුම් කමිටුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සභාපතිත්වයෙන් සැප්තැම්බර් 21 දින රැස්වූ අතර එහිදී මැතිවරණ ක්‍රමය, බලය බෙදාහැරීම හා විධායකය (ජනපති බලතල) පිළිබඳ සාකච්ඡා කළේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය මැතිවරණ ප්‍රකාශයේ දී ලබාදුන් පොරොන්දු ඉටු කිරීමට හා රට ඉල්ලන ව්‍යවස්ථා සම්පාදනය ලබා දීමට හැකි අන්තිම අවස්ථාව මෙය බව රාජ්‍ය ඇමැති ඩිලාන් පෙරේරා මහතා පැවසීය.

පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයක් බවට පත්ව ඇති මොහොතක, ප්‍රධාන පක්ෂ දෙක එක්වී ඇති මොහොතක හා ව්‍යවස්ථා සම්පාදනයකට අවශ්‍ය තුනෙන් දෙකක බලයක් ඇති අවස්ථාවක රටට ගැලපෙන ව්‍යවස්ථා සම්පාදනය කළ යුතු බවද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

මේ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස අවශ්‍ය සංශෝධන එක්කරමින් පක්ෂයේ ස්ථාවරය ප්‍රකාශ කරන බව ඩිලාන් පෙරේරා මහතා පැවැසීය.

අගමැතිවරයාගේ සභාපතිත්වයෙන් යුත් මෙහෙයුම් කමිටුව ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල, ඇමැති නිමල් සිරිපාල ද සිල්වා, ඇතුළු සාමාජිකයන් 21 දෙනකුගෙන් සමන්විතය.

ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලය අනු කමිටු හයකින් සමන්විත අතර එම අනු කමිටු හයෙහි වාර්තා මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත. මූලික අයිතිවාසිකම්, අධිකරණ, නීතිය හා සාමය, රාජ්‍ය මූල්‍ය රාජ්‍ය සේවය හා මධ්‍යම හා පළාත් පාලන යන එම අනු කමිටු වාර්තා පිළිබඳ පාර්ලිමේන්තු විවාදය ලබන 9 දින ආරම්භ වීමට නියමිතය. 

නව අදහස දක්වන්න