සිසුවියකට අතවර කිරීමට තැත් කළ සෙබළෙක් අත්අඩංගුවට | දිනමිණ

සිසුවියකට අතවර කිරීමට තැත් කළ සෙබළෙක් අත්අඩංගුවට

දකුණු පළාත් සංචාරක එස්.දියගහගේ

උපකාරක පන්තියකට යමින් සිටි සිසුවියකට බස් රථයක් තුළදී සහ මහමඟදී ලිංගික අතවර කිරිමට උත්සාහ කළ හමුදා සෙබළකු අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි.

මේ සිසුවිය නිවසේ සිට පැමිණ බස් රථයකින් ගාල්ල බලා එමින් සිටින විට බස් රථය තුළ සිටි පුද්ගලයකු සිසුවිය අසලට පැමිණ ඇගේ ඉණ අත ගෑමට පටන් ගෙන තිබේ. එම අවස්ථාවේ ඊට විරෝධය පල කළ සිසුවිය බස් රථයෙන් බැස පා ගමනින් උපකාරක පන්තිය දෙසට ගමන් කර ඇත. එම අවස්ථාවේ ඇයගේ පසු පසින්එම පුද්ගලයා නැවත පැමිණි මහ මගදිද ඇගේ සිරුර ස්පර්ශ කිරිමට පටන් ගෙන තිබේ. එවිට සිසුවිය මේ සිද්ධිය ජංගම දුරකතනයෙන් තම උපකාරක පන්ති ගුරුවරයාට දන්වා ඇත.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ උපකාරක පන්ති ගුරුවරයා තවත් සිසුන් කීප දෙනෙකු සමඟ සිසුවිය එන මාර්ගයේ ඉදිරියට ගොස් තිබේ. එවිට සිසුවියට අතවර කළ පුද්ගලයා අතේ තිබූ බෑගයද විසි කර දමා පලා ගොස් ඇත.

විසි කළ අත්බෑගයද අහුලා ගත් උපකාරක පන්ති ගුරුවරයා සිසුවිය සමග පොලිසියට ගොස් මේ සිද්ධිය පැමිණිලි කර ඇත. එහිදී උපකාරක පන්ති ගුරුවරයා දුන් බෑගය පරික්ෂා කළ පොලිසිය බෑගය තුළ තිබූ යුද හමුදා සෙබළ අංකයක් ඔස්සේ පරික්ෂණ පවත්වා සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු යුද හමුදාවේ සෙබළකු බව අනාවරණය කර ගෙන තිබේ.ගාල්ල මුලස්ථාන පොලිස් පරික්ෂක කේ ඒ උදයකුමාර මහතාගේ උපදෙස් පරිදි ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනි මංගලිකා සුරිආරච්චි උප පොලිස් පරික්ෂක ජයරත්න සැරයන් සමරනායක (25312) යන මහත්ම මහත්මිහූ විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

නව අදහස දක්වන්න